නිල සංචාරයක් සඳහා රෝමයට ගිය අවස්ථාවේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිට ‘පාර්ලේ මෙලඩි‘ නමැති ඉන්දීය ටොෆි පැකට්ටුවක් තෑගි කළ අතර, මේ වනවිට එම ටොෆි වර්ගය ඉන්දියාවේ ‘උණු කැවුම් මෙන්’ අලෙවි වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෝදි සහ මෙලානි හමුවුණු අවස්ථාවේදී, මෙලානි, මෝදි සමග සිටින සෙල්ෆි ඡායාරූප රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කළාය. මෝදි අගමැති තුමන්ගෙන් තමන්ට ඉන්දියාවේ සුප්‍රසිද්ධ ‘පාර්ලේ මෙලඩි’ ටොෆි පැකට්ටුවක් තෑගි ලැබුණු බව කියමින්ද ඇය සෙල්ෆි ඡායාරූපයක් ගෙන පසුව එය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළේ අතේ ඇති ටොෆි පැකට්ටුව ද පෙනෙන්න සලස්වමිනි. ‘පාර්ලේ මෙලඩි’ ඉතාම රසවත් බව ද මෙලෝනි සටහනක් පළ කරමින් පවසා ඇත.

‘පාර්ලේ මෙලඩි’ ටොපි එක රැයින් ජනප්‍රිය වූ අතර බොහෝ දෙනා ඔන්ලයින් ක්‍රමයට ටොෆි පැකට්ටු මිලදී ගෙන ඇත. ඉන්දීය මාධ්‍ය  වාර්තා කළේ ඉන්දියාවේ ප්‍රධාන නගර රැසක මෙලඩි ටොෆි තොග අවසන් බවය. ‘පාර්ලේ මෙලඩි’ ටොෆි ජනප්‍රිය වෙද්දී, පාර්ලේ ප්‍රඩක්ට්ස් නමැති ආහාර නිෂ්පාදන සමාගෙම් කොටස් වැඩි වැඩියෙන් අලෙවි වීමට  ද පටන්ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. 

‘පාර්ලේ මෙලඩි’ ටොෆි ඇතුළු ජනප්‍රිය ආහාර නිෂ්පාදන සිදු කරනු ලබන්නේ ‘පාර්ලේ ප්‍රඩක්ට්ස්’ නමැති සමාගම විසිනි.  කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති පාර්ලේ ප්‍රඩක්ට්ස් සහ ‘පාර්ලේ ඉන්ඩස්ට්‍රීස්’ සමාගම අතරේ හෝ මෙම ටොෆි අතරේ හෝ කිසිදු ව්‍යාපාරික සම්බන්ධයක් නැත. එසේ වුවත්, සමාන නමක් ඇති බැවින්,  මෙලෙස වැරදීමකින් එම සමාගමේ කොටස් මිලදී ගැනීමට පෙළඹී ඇති බව සඳහන් වේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සහ ඉතාලි අග්‍රාමාත්‍ය මෙලෝනි, අතරේ අංශ ගණනාවක් සම්බන්ධයෙන් එකගතා ඇති කර ගැනීම සිදුවිය. වෙළඳ, ආරක්ෂක, තාක්ෂණ, සම්බන්ධතා සහ සාගර ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි ගිවිසුම් රැසකට ද අස්සන් කෙරුණි. ඉන්දීය හෙද හෙදියන්ට ඉතාලියට සංක්‍රමණය වීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද එකගත්වයක් ඇති කර ගැනීම සිදුවිය.

ඊට අමතරව, මෝදි, සහ මෙලෝනි, රෝමයේ දෙස් විදෙස් සංචාරක ආකර්ශනයක් ද වන සුප්‍රකට කොලෝසියමේ සංචාරයක ද නිරත වූහ.

මෝදි, යුරෝපා රටවල් රැසක සංචාරය කරමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගත්තේය. එම විදෙස් සංචාරයේ අවසන් අදියර ඉතාලියයි. අග්‍රාමාත්‍ය මෝදි, රෝමයට පැමිණියේ ඉකුත් 19 වැනිදාය.