(නිමල කොඩිතුවක්කු)

ජනතාවාදී වැඩපිළිවලක් නොමැති වත්මන් ආණ්ඩුව ඉදිරි මහමැතිවරණය තෙක් ජනතාවට බොරු පොරොන්දු දෙමින් කැරට් අල පෙන්නමින්  සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

දැනටමත් කොළඹ වටිනාම ඉඩම් විකුණමින් සිටින වත්මන් ආණ්ඩුව ඉදිරි මහමැතිවරණයෙන් පසු රටම උකස් කරනු ඇතැයිද මහලේකම්වරයා  සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (14) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.

        “රන්ජන් රාමනායක මහතාගේ හඬපට මේ දිනවල ජනප්‍රියම මාතෘකාව බවට පත්ව තිබෙනවා. කවුරු හරි වැරුද්දක් කරලා තියෙනවනම් අධිකරණ පද්ධතියට බලපෑම් කරලා තියෙනවනම්  තරා තිරම නොබලා අවශ්‍ය දඩුවම් ලබා දෙන්න කියලා  අපි කියනවා.

අද ආණ්ඩු පක්ෂයට කියාගන්න දෙයක් නැතිව මේ හඬ පට යොදාගනිම්න්  ජනතාව මෝහනය කරන්න උත්සාහ  ගනිමින් සිටිනවා.  දැන් බඩුමිල අහස උසට නැගලා. රජයේ සේවකයන්ගේ දීමනා කප්පාදු කරලා. අමාත්‍යාංහවලට මුදල් නැහැ.

අපේ රජය  කරගෙන ආපු ව්‍යාපෘති අද නතර වෙලා තියෙනවා.  ගම්පෙරළිය නතර වෙලා තියෙනවා.  ළඟම පාසැල  හොඳම පාසැල ව්‍යාපෘති අතර මග නතර වෙලා. ගොඩනැගිලි තුන්සිය හාරසිය ඉදිකිරීම් නිමකිරීමට ආසන්නයේ නතර කර තිබෙනවා.

මේ ව්‍යාපෘතතිය කරගෙන යන්නවත්  ආණ්ඩුවට මුදල් නැහැ. අධ්‍යාපනය වෙනුවෙන්  අපි ගත්ත සාධනීය පියවරයන් සියල්ල  අද අකරමන්‍ය වෙලා තියෙනවා. මේ සිස්ටම් එකම අද බිඳ වැටිලා තියෙනවා.

මේ ආණ්ඩුව ජනතාවට දෙනවා කිව්ව සහන දෙන්න කියලා අපි කියනවා.  කෝ සහන මල්ල , කෝ අඩු  කරනවා කියපු  බඩු මිල කියලා අපි අහනවා. විදුලි මිල අඩු කරනවා කිව්වා,  ජල බිල අඩු කරනවා කිව්වා, වතුකරයේ ජනතාවට රුපියල්  දාහක දීමනාවක් දෙනවා කිව්වා, ගුරු වැටුප් විෂමතාවය නැති කරනවා කිව්වා. මේ එකක්වත් කරගන්න බැරුව මේ ආණ්ඩුව ලත වෙනවා.

අද ආර්ථිකය බරපතල  තත්වයට පත්වෙමින් තිබෙනවා. දැන් කියනවා තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් දෙනවලු ඡන්දෙ වෙනකම් මේ කැරට් අල පෙන්න පෙන්න ඉඳීවී.

මැතිවරනයක් පෙනී පෙනී මේ ආණ්ඩුව පලිගැනීම් කරමින් මේ විදියට කටයුතු කරනවනම්  මහමැතිවරණයෙන් පස්සෙ කොහොම හැසිරෙයිද කියලා ජනතාවට අද තේරුම් ගන්න පුළුවන්.

එදා අපිට විවිධ චෝදනා කරමින් සිටි මේ අය අද ආණ්ඩුවට  ආවට පස්සේ කොළඹ තියෙන වටිනාම ඉඩම්  විකුණමින් සිටිනවා. මැතිවරණයෙන් මේ අය ජයග්‍රහණය කලොත් රටට මොකක් වෙයිද කියලා අද ජනතාවට හිතා ගන්න  පුළුවන්.

එක්සත් ජාතික පක්ෂයට ව්‍යවස්ථාවක් තියෙනවා.  අපිට විවිධ අදහස් මතවාද තියෙනවා.  කරූ ජයසූරිය, රනිල් වික්‍රමසිංහ  සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් යන මේ තිදෙනාම එකට එකතු වෙලා යන්න ඕන කියලා පිරිසක් ඉන්නවා. 

තව පිරිසක් කියනවා සජිත් ප්‍රේමදාස මහතාට  නායකත්වය දෙන්න ඕන කියලා. මේ ඔක්කොම අදහස් අවසානයේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මන්ත්‍රීවරුනුත් එක්ක අපි අවසාන තීන්දුවක් ගන්නවා.

ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්දා මේ ගැන සාකච්ඡා කරලා අවසන් තීන්දුවක් ගැනීමට හැකිවෙතැයි කියා මා විශ්වාස කරනවා. ඊළඟ මහමැතිවරණය ජයග්‍රහණය කරන විදියට අපේ ප්‍රශ්න අපි විසඳගන්නවා.

පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා  දේශපාලනයෙන්  ඉවත්වීමට ඕනෑම වේලාවක සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.  පක්ෂයේ අනාගතය ගැන  හිතලා මේ ඔක්කොම එකතුකරගෙන  වැඩපිළිවලක් හදලා ඕනම වේලාවක ඉවත්වෙන්න සූදානම් බව ඔහු ප්‍රකාශ කළා.

කරූ ජයසූරිය මහතාටත් පක්ෂයේ නිසි තැනක් හිමි විය යුතු බවට  නායක ස්වාමින් වහන්සේලා  ලිඛිතව සහ වාචිකව මහලේකම්වරයා විදියට මට දැනුම් දීලා තියෙනවා. අපේ බෞද්ධ බලවේගයන්, තරුණ කණ්ඩායම්, මධ්‍යම පන්තිය, සුලු ජන ඡන්ද ආකර්ශණය  කරගෙන ඉස්සරහට අඩුපාඩු හදාගෙන ඉදිරියට යායුතුයි.

ඉදිරි මහමැතිවරණයේදී  එක්සත් ජාතික  පක්ෂය නමින් හෝ සියලු දෙනාගේ  එකඟතාවය මත ගනු ලබන තීන්දුවක් මත තරඟ කරනවා.  කෘත්‍යාදිකාරී මණ්ඩලය තවම ඒ ගැන තීනන්දුවක් ගෙන නැහැ.

මහමැතිවරණයට සූදානමක් ඇතිව අපි තරඟ කළ යුතුයි.  පසුගිය ජනාධිපතිවරණයට සන්ධානයකින් තරඟ කිරීමට තීරණය කරලා අගෝස්තු 05 එය අත්සන් කිරීමට  කටයුතු සූදානම් කරලා තිබුණා. ස්වාමීන් වහන්සේ 1500 කුත්  එදාට එන්න හිටියා.

මේ සන්ධානයට වෙනම කණ්ඩායමක් විදියට එන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගණන්වාක් අපි එක්ක සාකච්ඡා කරලා  තිබුණා. තවත්  බලවේග ගණනාවක්  අපිත් එක්ක සාකච්ඡා කරමින් සිටියා.

ඒ වෙලාවේ එක කණ්ඩායමක් කිව්වා සන්ධානයක් නෙමෙයි ඉස්සෙල්ලා පක්ෂයෙන්  අපේක්ෂකයෙක් දාන්න ඕන කියලා  ඒ ඇතිවෙච්ච ගැටුම නිසා තමයි අපිට කල් ගියේ. නැත්නම් අගෝස්තු 05 වැනිදා  අපි සන්ධානය හදලා තිබුනනම් අපිට ශ්‍රීලනිපය ඇතුලු තවත් කන්ඩායම්  එකතු කරන්න තිබුණා.  අපේ එකමුතුකම නැති නිසා තවත් කණ්ඩායම් අපෙන් ඈත් වුණා.

එහෙම නැත්නම් අපිට මේ ජනාධිපතිවරණය  ජයග්‍රහණය කරන්න තිබුණා කියලා මම විශ්වාස  කරනවා. මේ කණ්ඩායම්  ඔක්කොම එකතුවුණානම් මැද ඡන්ද, තරුණ  ඡන්ද අපිට එන්න තිබුණා.

දැන් එක එක්කෙනා ජනාධිපතිවරණය පරාජයට  විවිධ හේතු කියනවා. ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයි කියනවානේ ඒ නිසා  මේ ගැන කරන ප්‍රකාශ අපි පිලිගන්නේ නැහැ.

මේ ආණ්ඩුවට විරුද්ධ බලවේග ඔක්කොම එකතු කරගෙන අපි සියලු  දෙනා එකමුතුව කටයුතු කරනවනම් මේ වනනවිට අපේ ආණ්ඩුවක්  තියෙනවා. ඒකෙ දෙකක් නැහැ. මේක තමයි අපි 2015 කළේ.

පක්ෂයට  වැදගත්ම දේ තමයි එකමුතුකම.  අපි එලියට ගිහින්  හන්දි  ගානේ පක්ෂය විවේචනය කරනවනම් ඇතුලේ ප්‍රශ්න කියනවනම් ඒක  පක්ෂයට කරන ලොකු විනාශයක්. පක්ෂයට ආදරේ කවුරුත් මේ දේවල් කරන්නේ නැහැ. මහලේකම් විදියට  මම පුලුවන් තරම් උත්සාහ කරන්නේ සියලු දෙනා එකතු කරගෙන මේ ගමන යන්නයි”  යැයිද ඔහු එහිදී පැවැසීය.

(ඡායාරූප : චතුර එස්. කොඩිකාර)