(නිමල කොඩිතුවක්කු)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු දිට්වා මෙන්ම තවත් දරුණු ව්‍යවසනයක් බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කිරීමට රජය කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් 100කට නිවාස ලබා දීමේ අරමුණින් වත්තල මොනාර්ච් ශාලාවේදී සංවිධානය කර තිබු උත්සවයකට එක්වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ප්‍රධාන කුළුණු තුන වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුළුණු තුනෙන් අධිකරණය අඩපණ කර විධායකය ශක්තිමත් කර අධිකරණය විධායකයේ වහලකු බවට පත් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණය වන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් සිදුකරන බවද විපක්ෂනායකවරයා පැවසීය.