ඇමෙරිකන් රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡා තුර්කියේ පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡා සඳහා මැදහත්කරුවකු වෙන්නැයි ඇමෙරිකාව මෙන්ම ඉරානය ද පාකිස්තානයට ඇරැයුම් කර ඇත.

ඊට අමතරව, සාකච්ඡා සඳහා සහභාගී වෙන්නැයි සෞදි අරාබියටත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටත්, කටාර් රාජ්‍යයටත් ඕමානයටත් ඇරැයුම් කර ඇතැයි පැවැසෙයි.

සාකච්ඡා සඳහා සහභාගී වෙන්නැයි තමන්ට ඇරැයුම් ලැබුණු බව පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා ද වන ඉෂාක් ඩාර් ද මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාකිස්තාන රජය අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පමණක් නොව, පාකිස්තානයේ බලවත් හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් ද ට්‍රම්ප්ගේ මිතුරන්ය.