විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට එරෙහිව සති කිහිපයක් පුරා ගෙන ගිය විරෝධතා නොදුටුවා සේ සිටි ජාතික ජන බලවේග ආණ්ඩුව අවසානයේ දී ඒ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය පැහැදිලි කර ඇත.

එවැනි උත්සාහයක් තිබේද, තිබේ නම් එය අදාළ වන්නේ සියලුම අධිකරණවල විනිශ්චයකාරවරුන්ට ද නැත්නම් උපරිමාධිකරණ (ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ) විනිශ්චයකාරවරුන්ට පමණක් ද යනා දී වශයෙන් ජනතාව තුළ පැවැති සියලු සැක සංකා අවසන් කරමින් කැබිනට් මණ්ඩලය ඉකුත් සඳුදා ඒ පිළිබද තීරණයක් ගෙන රටට දැනුම් දුන්නේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එදින ජනමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමේ මෙම යෝජනාව රටේ සියලුම විනිශ්චයකාරවරුන්ට අදාළ වන බවයි. ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ පළපුරුද්ද හා අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ගොඩ ගැසී ඇති ලක්ෂ එකොළහක් පමණ වූ අතිවිශාල නඩු සංඛ්‍යාව ඉක්මනින් අවසන් කිරීම මෙම යෝජනාවේ අරමුණ බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එක් පුද්ගලයකුගේ සේවා කාලය පමණක් දීර්ඝ කරන්නට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින්, විපක්ෂයේ ඇතැම් පිරිස් සහ ඔවුන්ට හිතවත් මාධ්‍ය ආයතන කිහිපයක් සති කිහිපයකට පෙර මේ පිළිබඳ සංවාදය ආරම්භ කර තිබිණි. පසුව ඔවුන්ගේ මුළු විරෝධතා ව්‍යාපාරයම ඔවුන් විසින් කිසි විටෙකත් සනාථ නොකරන ලද මෙම පූර්ව නිගමනය මත පදනම්ව ගොඩ නැගී ඇති බව පෙනෙන්නට තිබිණි.

සියලුම අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරනු වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව පමණක් දීර්ඝ කිරීමට ආණ්ඩුව උනන්දු වන්නේ මන්දැයි මුලදී විරෝධතා දැක්වූ පිරිස් ප්‍රශ්න කළහ. එම කණ්ඩායම් තමන්ගේ මතයට පක්ෂව සැලකිය යුතු මහජන මතයක් ගොඩ නගන තෙක් ආණ්ඩුවේ නායකයෝ ද කිසිවක් නොකියා නිහඬව සිටියහ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දැක්වූ දැඩි නිහඬතාව ආණ්ඩුවේ හිතවතුන්ගේ සිත් තුළ පවා යම් සැකයක් ඇති කිරීමට හේතු විය.

කෙසේ වෙතත්, සියලුම විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යවේදීන් සමග පැවැසූ විට, ආණ්ඩුව උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව පමණක් ඉහළ දැමීමට උත්සාහ කරන බව කියමින් විරෝධතා දැක්වූ කණ්ඩායම් තමන් සිටි ස්ථාවරය ගැන නැවත සලකා බැලීමට හෝ උත්සාහ කළේ නැත. මන්දයත්, ඔවුන් ඒ වන විටත් ආපසු හැරෙන්නට නොහැකි සීමාවකට තම විරෝධතා ඉදිරියට ගෙන ගොස් සිටි හෙයිනි.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිඥ ප්‍රජාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කළ බවක් වාර්තා වූයේ නැත. අදාළ සංශෝධනය පිළිබඳ කැබිනට් තීරණය ප්‍රකාශයට පත් කෙරුණේ එසේ තිබියදීය. අදාළ පාර්ශව සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් උදහස් ද සැලකිල්ලට ලක් කළ යුතුව තිබුණේ එම තීරණය ගන්නට පෙරය. එහෙයින් අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡා නොකළ බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නට ආණ්ඩුවට නොහැකිය.

කෙසේ වෙතත්, විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමෙන් ගොඩ ගැසී ඇති නඩු ප්‍රමාණය ඉක්මනින් අවසන් කළ හැකි වනු ඇතැයි ආණ්ඩුව ද එවැනි වයස් සීමාව දීර්ඝ කිරීමකින් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් වනු ඇතැයි විරුද්ධ කණ්ඩායම් ද නගන තර්ක එතරම් ප්‍රබල බවක් පෙනෙන්නේ නැත.

ඕනෑම ක්ෂේත්‍රයක කාර්යක්ෂමතාව සඳහා පළපුරුද්ද හා අතදැකීම් වැදගත් වන නමුත්, දැනටමත් සේවය කරන විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමෙන් ආණ්ඩුව අධිකරණ ක්‍රියාවලියට අලුතින් කිසිවක් එකතු කරන්නේ නැත. මන්දයත්, ඔවුන්ගේ පළපුරුද්ද හා අත්දැකීම් දැනටමත් ප්‍රයෝජනයට ගැනේ. මේ වනවිට නඩු ගොඩ ගැසී ඇත්තේ ද එම පළපුරුද්දෙහි අත්දැකීම් ප්‍රයෝජනයට ගනු ලබමින් පවතිද්දී ය.

විනිශ්චයකාරවරුන්ගේ, විශේෂයෙන්ම උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ පළපුරුද්ද නඩු ඉක්මනින් අවසන් කිරීමට උපකාරී වන්නේ, අධිකරණ පද්ධතියට නව සම්පත් ලබා දෙමින් ක්‍රියාත්මක කරන නව උපාය මාර්ග ද ඊට එකතු වූ විට පමණි. එසේ දැනට සිටින විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරනු ලැබුව ද එසේ දීර්ඝ කරනු ලැබූ කාල සීමාව අවසන් වී ඔවුන් විශ්‍රාම ගිය පසු, සාපේක්ෂ වශයෙන් අඩු පළපුරුද්දක් ඇති අලුත් පිරිසක් අධිකරණ පද්ධතියේ සෑම මට්ටමකටම ඇතුළු වනු ඇත. ඔවුන් ද අත්දැකීම් ලබමින් වැඩි කාලයක් සේවය කරනු ඇත.

අනෙක් අතට, මෙම යෝජනාවට විරුද්ධ කණ්ඩායම් චෝදනා කරන පරිදි විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම යම් නිශ්චිත පුද්ගලයකු ඉලක්ක කරගෙන නොකරන්නේ නම්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් වීමට ඉඩක් නැත. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒක් පුද්ගලයකුගේ වත්මන් විශ්‍රාම වයසට වඩා වැඩියෙන් වසර දෙකක් සේවයේ තබා ගැනීම ආණ්ඩුවේ අරමුණයැයි ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් චෝදනා කරන්නේ කුමන පදනමින් ද යන්න පැහැදිලි නැත. එය සත්‍ය විය හැකිවාක් මෙන්ම අසත්‍ය ද විය හැකිය. තමන් කරන මෙම චෝදනාව සනාථ කිරීමේ වගකීමක් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විරුද්ධ කණ්ඩායම්වලට ඇත. ඔවුන් මෙතෙක් එය කළේ නැත.

ඔවුන් ඊට අපොහොසත් වන්නේ නම්, එය ඔවුන්ටම පාරාවළල්ලක් වනු ඇත. මන්දයත්, මෙම යෝජනාව ගැන දැන ගත් වහාම ඔවුනට යම් නිශ්චිත විනිශ්චයකාරවරයකු සිහිපත් වී ඇති බවත් ඔහුගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම වැළැක්වීමට ඔවුනට අවශ්‍ය වී ඇති බවත් ඉන් අදහස් වන හෙයිනි.

කෙසේ වෙතත්, විපක්ෂය මේ වන විටත් සැලකිය යුතු ජනතාවක් අතර තම මතය තහවුරු කර ඇති බැවින්, අධිකරණ ස්වාධීනත්වයට තර්ජනය එල්ල වීම පිළිබඳව එම ජනතාව අතර යම් බියක් ඇති වී තිබිය හැකිය. එම බිය දුරු කිරීමට ආණ්ඩුව ද දැන් දැන් ප්‍රමාද වූවා වැඩිය.

ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නට අදහස් කරන්නේ නම් එමගින් මෙම විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම නොකර හදිසියේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එය කරන්නට යන්නේ මන්දැයි ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් ප්‍රශ්න කරයි. ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් පිළිබඳ අවශ්‍යතාවක් ඇතත් ඊට හදිසියක් නැත. නව ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතුව ඇත්තේ අවුල් ජාලාවක් තුළින් ගොසිනි. මන්දයත් එම ව්‍යවස්ථාව මගින් ජනවාර්ගික ප්‍රශ්නයට ද විසඳුමක් දිය යුතුව ඇති හෙයිනි. දේශපාලන වශයෙන් එය ආණ්ඩුවේ හිස මත කඩා වැටෙන හෙණයක් විය හැකිය. එහෙයින් ආණඩුව තමන්ගේ වත්මන් නිල කාලය තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය.

මීට පෙර 2017 දී නඩු ප්‍රමාදය අවම කිරීම සඳහා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට මැදිහත් වූ දැනට විපක්ෂයේ සිටින දේශපාලනඥයන් දැන් ඊට එරෙහිව අවි අමෝරා ගෙන නැඟී සිටින්නේ ද එම දූෂණ විරෝධී නඩු නිසාය. (ඊනියා යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය යටතේ 2017 දී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සාමාජිකයන්ගෙන් සමන්විත අනු කමිටුවක් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට නිර්දේශ කර තිබිණි.)

විශ්‍රාම වයස් සීමාව පිළිබඳ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් තොරව සම්මත් කළ නොහැකියැයි විපක්ෂයේ නායකයෝ තර්ක කරති. එහෙත් ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගත යුත්තේ කුමන අවස්ථාවලදී ද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා ඇත. රටේ නම, රාජ්‍යයේ ස්වභාවය, ජනතා පරමාධිපත්‍යය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය, බුද්ධාගමට හිමි තැන, ආගමික නිදහස, වධහිංසාවලින් නිදහස් වීම, ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය හා සම්බන්ධ වගන්ති සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණ පැවැත්විය යුතුයැයි එමගින් කියවේ.

ඒ නිසාම 83 වැනි වගන්තිය සංශෝධනය කිරීමට ද ජනමත විචාරණයක් අවශ්‍යයැයි එම වගන්තියේ සඳහන් වේ.

එසේම, යම් පනත් කෙටුම්පතක් හෝ පනත් කෙටුම්පතක වගන්තියක් සම්මත කර ගැනීමට ජනමත විචාරණයකින් ලබා ගන්නා ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බවට කැබිනට් මණ්ඩලය සහතික කළ විට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළවිට ද ජනමත විචාරණ පැවැත්විය යුතුවේ. නැතහොත් එම පනත් කෙටුම්පත් හෝ වගන්ති අත්හැර දැමිය හැකිය. යම් කරුණක් ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සේ සලකා ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයැයි ජනාධිපතිවරයා සිතන්නේ නම් ඔහුට එසේ කළ හැකිය. පාර්ලිමේන්තුව විසින් දැනටමත් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් මගින් සම්මත කර ගැනීමට ද ජනාධිපතිවරයාට හැකියාව පවතී.

විපක්ෂයේ මතය අනුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳ ගැටලුව අයත් වන්නේ මෙයින් කුමන කාණ්ඩයට ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, “ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමක් ඇති කරුණක්” ලෙස සලකා ආණ්ඩුව මෙම කරුණ ජනමත විචාරණයකින් ජනතාව වෙත යොමු කරන්නේ නම් එය නීතියට පටහැනි නොවේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂවල අතීත ක්‍රියා කලාපය දෙස බලන විට, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ඔවුන් තුළ සැබෑ හැඟීමක් ඇති බව පෙනෙන්නේ නැත. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැන්නන්ගේ නායකත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1980 ගණන්වල දී, තමන්ගේ ආණ්ඩුවට එරෙහිව තීන්දුවක් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ නිවෙස්වලට මැරයන් පහර දීම සාධාරණීකරණය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙල් මිල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් නොසලකා හළ අතර, 2006 දී ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව හිතුවක්කාරී ලෙස උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සිව්දෙනකු පත් කළේය. 2013 දී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝශාභියෝග යෝජනාවක් මගින් ධුරයෙන් ඉවත් කිරීමට ඔහු කටයුතු කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසියකුව සිටි තම සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතාට මැතිවරණවලට තරග කිරීමට 20 වැනි සංශෝධනයෙන් පහසුකම් සැලසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 දී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නොසලකා හැරියේය.

එබැවින්, විපක්ෂයේ දේශපාලන පක්ෂ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඇත්ත වශයෙන්ම කැපවීමක් පෙන්නුම් කරන්නේ නැත. ඔවුන් උත්සාහ කරන්නේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ප්‍රශ්නය පාවිච්චි කර ආණ්ඩුවට එරෙහිව මහජන මතයක් ගොඩ නැගීමට පමණි. කෙසේ වෙතත්, විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ප්‍රශ්නය සාමාන්‍ය ජනතාව තුළ උනන්දුවක් ඇති කරන මාතෘකාවක් නොවේ. මේ දිනවල කඩ පිලේ, දුම්රියේ හෝ බස් රථවල එය කොහෙත්ම කතා බහට ලක් වන්නේ නැත. විපක්ෂය එහි එල්ලී සිටීම එක් අතකින් නිෂ්ඵල ව්‍යයාමයකි.

 

(*** එම්.එස්.එම්. අයුබ්)