ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දේශීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන රැසකින් දැඩි විරෝධයක් ප්‍රකාශ වී තිබේ.
විනිශ්චයකාරවරුන් සාමාජිකත්වය දරන අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, වෘත්තීය සංවිධාන, ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමෙන් වැළැකී සිටින ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
එසේ වුව ද ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ එසේ විරුද්ධ වන පුද්ගලයන් සහ ආයතන මෙම සංශෝධනයට විරුද්ධ වන්නේ කවර හේතු නිසා ද යන්න ප්‍රකාශ කර නැති බවයි. ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වන මීට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මගින් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම පිළිබඳව පැහැදිලි නිගමනයක් ඉදිරිපත් කර තිබේ.
බුවනෙක අළුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2022 වසරේ ලබා දුන් අංක SC/ST/64-71/2022 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ.
“ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් විශ්‍රාම ලැබිය යුතු වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂිතව සඳහන් කර තිබේ. දැනට සේවයේ යෙදී සිටින විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයසට හෝ සේවා කාලයට අදාළව ඉදිරිපත් කරනු ලබන කවර හෝ සංශෝධනයක් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරන අතර ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තිය කඩකිරීමක් වන බැවින් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වේ.” මෙම නඩු තීන්දුව මගින් ප්‍රකාශ වන්නේ දැනට සිටින විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස හෝ සේවා කාලය වෙනස් කෙරෙන කවර හෝ සංශෝධනයකින් වුව ද අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරන බවය. දේශීය මෙන්ම විදේශීය ආයතන ආණ්ඩුවට මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගන්නා ලෙස බල කරනුයේ මේ දක්වා ආරක්ෂා කරගෙන පැමිණි අධිකරණයේ ස්වාධීනත්වයට එය තර්ජනයක් වන බැවිනි.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට විවේචන එල්ල කරන පිරිස්වලට ආණ්ඩුව විවිධ චෝදනා ඉදිරිපත් කරන නමුදු අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් එල්ල කරන විවේචන පිළිබඳව තවමත් කිසිදු අදහසක් ඉදිරිපත් කර නැත. ව්‍යවස්ථාදයකය, විධායකය සහ අධිකරණය අතර බලතල බෙදාහැරීම සම්බන්ධයෙන් ඉතා නිශ්චිත ක්‍රමවේදයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කර තිබේ. එම විධිවිධාන කවරාකාරයකින් හෝ උල්ලංඝනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බලතල බෙදාහැරීම පිළිබඳ ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් වේ. එහි ප්‍රතිඵලය වන්නේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවිනිශ්චිතතාවක් රට තුළ නිර්මාණය වීමත්, රටේ දේශපාලන, ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය පිළිබඳව අස්ථාවර භාවයක් ගොඩනැගීමත්ය.
රටේ ආණ්ඩුකරණයේ, දේශපාලනයේ සහ ආර්ථික ක්‍රමයේ කාලීන අවශ්‍යතාවක් කිසිදු ආකාරයකින් නියෝජනය නොවන, එහෙත් ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම කෙරෙහි පමණක් සිතා බලා ඉදිරිපත් කර ඇති මෙම ව්‍යවස්ථා සංශෝධනය නිසා දැනටමත් විශාල විනාශයක් සිදුව තිබේ. ත්‍රෛනිකායික මහනාහිමිවරු මෙම සංශෝධනය සම්බන්ධයෙන් වඩාත් තියුණු ලෙස සලකා බලන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කළහ. එවැනි ලිපි ජනාධිපතිවරයාට යොමු කරන බොහෝ අය මෙන්ම ආයතන ඒවා ජනාධිපතිවරයාට යැවීමටත් පෙර ජනමාධ්‍යයට නිකුත් කරන නමුදු, මහනාහිමිවරු ඒවා මාධ්‍යයට නිකුත් කර නොතිබුණාහ. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් රට කෙරෙහි බලපාන විවිධ කරුණු පිළිබඳව ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට තම අදහස් දන්වා යැවීම සිදු වූයේ මෑතක සිට නොවේ. ආණ්ඩුව මුලින්ම එවැනි ලිපියක් ලැබී නැතැයි ප්‍රකාශ කළේය. එවැනි ලිපියක් යොමු කළ බව ප්‍රකාශයට පත් වීමෙන් පසු ජනමාධ්‍ය සහ අධිකරණ අමාත්‍යවරු මහානායක හිමිවරුන් යැවූ ලිපිය හමුවූ බව පසුව ප්‍රකාශ කළහ. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ ලිපිය පිළිබඳව ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ ඒ ආකාරයෙනි.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මල්වතු, අස්ගිරි මහනාහිමිවරු වසර 15කට පසු දළදා දැක්මක් පැවැත්වීමට එකඟතාව පළ කළහ. ඒ ජනාධිපතිවරයා නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට පෙර දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබියදී සහ දළදා පෙරහර පැවැත්වීම ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට පෙර තහනම් කරනු ලැබ තිබියදීත්ය. උන් වහන්සේලා දළදා දැක්මකින් නව රජයට ආශීර්වාද කිරීමට ඉදිරිපත් වූයේ සියලු දෙනා වාද බේද අමතක කර කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා විය හැකිය.
ඈත අතීතයේ සිටම ත්‍රෛනිකායික මහනාහිමිවරු විවිධ ප්‍රශ්න පිළිබඳව තම මතය රජයට ඉදිරිපත් කළේ රටේ සාමය, සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳව තම වගකීම සහ යුතුකම ඉටු කිරීම සඳහාය. මීට පෙර පැවැති කිසිදු ආණ්ඩුවක් මහානායක හිමිවරුන් තම මතය ඉදිරිපත් කිරීම පිළිබඳව උන් වහන්සේලා කෙරෙහි වෛර බැඳ ගත්තේ හෝ ද්වේශ සහගතව කටයුතු කළේ නැත. එසේ වුව ද මහානායක හිමිවරුන් එම ලිපිය යැවීමත් සමග ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉතාමත් නින්දිත ආකාරයෙන් මහානායක හිමිවරුන්ට අපහාස කිරීම සඳහා ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරය ඉතා තිරස්චීන එකක් බව සඳහන් කළ යුතුව ඇත. ඇතැම් අවස්ථාවල මහනාහිමිවරුන්ට කරුණු පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිවරයා නියෝජිතයන් යවන අතරම අනිත් අතින් ජාතික ජන බලවේගයට සම්බන්ධ සමාජ මාධ්‍ය කණ්ඩායම් කවරදාවත් නොවූ ආකාරයෙන් උන් වහන්‌සේලාට පරිභව කිරීමෙන් ආණ්ඩුව මෙම ප්‍රශ්නය අවුල් කරගෙන ඇති ආකාරය පැහැදිලි වේ.
ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් අවුල් ඇති කරගෙන ඇති ආකාරය රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි සිදු කර ඇති විනාශයෙන් ද තවදුරටත් පැහැදිලි වනු ඇත. පසුගිය කාලයේ දී ප්‍රවීණ ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අධිකරණය තුළ සිදුවන යම් යම් ක්‍රියා පිළිබඳව තියුණු හෙළිදරව්වක් ඔහුගේ රාවය පුවත්පත ඔස්සේ සිදු කළේය. හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා ඇතුළු තවත් විනිසුරුවරුන් සැලකිය යුතු පිරිසක් පිළිබඳව තොරතුරු රැසක් ඔහු රටට හෙළි කළේය. ඒ අවස්ථාවේදී බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට ලක් නොවී ඔහු මේ තොරතුරු හෙළි කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. වික්ටර් අයිවන් මහතා දිගින් දිගටම එවැනි තොරතුරු හෙළි කළේය. අගවිනිසුරු දිවුරුම් දීමේ ඡායාරූපය උඩුයටිකුරු කර රාවය පුවත්පතේ පළ කර තම විරෝධය ප්‍රකාශ කර සිටියේය. ලිපි ලිවේය. පොත් ප්‍රකාශයට පත් කළේය. අවසානයේ දී ඔහුගේ තොරතුරු මත පදනම්ව ‘උසාවිය නිහඩයි’ (Silence in the Courts) නැමැති චිත්‍රපටය ද මෑතක දී නිකුත් විය. අධිකරණ ක්‍රියාවලිය ඉතා දරුණු ලෙස ප්‍රශ්න කළ අවධියක් ඊට පෙර තිබුණේ නැත.
ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිදු හේතුවකින් තොරව රටේ යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තම වසර දෙකක පාලන කාලය තුළ නැවතත් එවැනිම අඳුරු තත්වයකට පත් කර තිබේ. මෙම ව්‍යවස්ථා සංශෝධනයට අගවිනිසුරුතුමා කැමැත්ත දක්වා තිබේද? නැද්ද? යන්න පිළිබඳව කිසිවක් දන්නේ නැත. විනිශ්චයකාරවරුන් එවැනි ප්‍රශ්න පිළිබඳව අනුගමනය කරනු ලබන්නේ නිහඩ පිළිවෙතකි. දැන් පාර්ලිමේතුවේ දී උපහාසාත්මක ආකාරයෙන් අගවිනිසුරුතුමන්ට ගරහන ආකාරය ද, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ තොරතුරු ප්‍රචාරය කරන ආකාරය ද දැකගත හැකිවේ. මේ සියල්ල සිදු වූයේත්, අධිකරණ පද්ධතිය එවන් අවමන් විඳීමට සිදුවන තත්වයකට පත් කරන ලද්දේත් ආණ්ඩුව බව පැහැදිලිය.
2022 ලබාදුන් SC/ST/64-71/2022 ශේෂ්ධිකරණ නඩු තීන්දුව මගින් පැහැදිලි වන්නේ ජනමත විචාරණයකින් තොරව එම ව්‍යවස්ථා සංශෝධන නීතිගත කළ නොහැකි බවයි. නව ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කරනු ලැබුවහොත් ඒවාට ලැබෙන තීන්දු අනුව අනාගතය පිළිබඳව නිගමනවලට එළැඹිය හැකිවනු ඇත. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන බව යළි යළිත් ප්‍රකාශ කරන නමුදු ජාතික ජන බලවේග ආණ්ඩුව පැවැති මෙම කෙටි කාලය තුළදී අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගයෙන් පැහැදිලි වන්නේ අධිකරණ පද්ධතිය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බවයි. ශේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ පුරප්පාඩු නොපිරවීම සහ ඒවාට ජනාධිපතිවරයා හේතු දක්වා ඇති ආකාරයෙන් ඒ බව මනාව පැහැදිලි වේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමේ යෝජනාව ගෙන ඒමට පෙරම බොහෝ දෙනෙක් එවැනි පියවරක් ගැනීමට ආණ්ඩුව සුදානමින් සිටින බවට තොරතුරු හෙළි කළහ. ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයකු සහ වාමාංශික නායකයකු වන නීතිඥ ලාල් විජේනායක මහතා විසින් හෙළිකරන ලද තොරතුරුවලින් ආණ්ඩුවේ අරමුණ කුමක්ද යන්න සැලකිය යුතු මට්ටමකින් අනාවරණය විය. නඩු ඉක්මන් කිරීම පිළිබඳ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද හේතුවේ කිසිදු පදනමක් නොමැති බව පසුගිය කාලය තුළ අධිකරණයේ විවිධ අංශවලට අදාළ තොරතුරුවලින් පැහැදිලි විය. ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම මගින් දැනටමත් සිදුව ඇති විනාශය පිළිබඳව ආණ්ඩුව හොඳින් අවබෝධ කරගෙන එම සංශෝධනය ඉල්ලා අස් කර ගැනීමට හෝ සම්මත කර ගැනීම කල්දැමීමට කටයුතු කිරීමෙන් තවදුරටත් රට විනාශවීම වළක්වා ගැනීමට ආණ්ඩුවට හැකිවනු ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd