පවුල් ආරවුලක් සම්බන්ධ නඩුවක් වසරකින් ප්‍රමාද වුවහොත් එය අධිකරණ දින දර්ශනයේ වසරක ප්‍රමාදයක් පමණක් නොවේ. ඇතැම් විට එය දරුවකුගේ ළමා කාලයෙන් අහිමි වූ වසරකි. ඉඩමක් සම්බන්ධ නඩුවක් වසර පහක් ඇදී ගියහොත් එය නඩු ගොනුවක් වසර පහක් රාක්කයක තිබීම පමණක් නොවේ. ඒ ඉඩම භාවිත කර ආයෝජනයක් කිරීමට, ණයක් ලබා ගැනීමට හෝ ජීවිතයේ වැදගත් තීරණයක් ගැනීමට නොහැකි වූ වසර පහක් විය හැකිය.

අපරාධයක වින්දිතයකුට එය තවත් ගැඹුරු අර්ථයක් ගනී. නඩුවේ කාලය ගෙවී යන අතර ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ කාලය ද ආපසු ලබාගත නොහැකි ලෙස ගෙවී යයි. එබැවින් යුක්තිය පිළිබඳ සාකච්ඡාව “නිවැරැදි තීන්දුවක් ලැබුණා ද?” යන ප්‍රශ්නයෙන් අවසන් කළ නොහැකිය. තවත් ප්‍රශ්නයක් තිබේ. එනම්, එම තීන්දුව ලැබුණේ එය ජීවිතයට ප්‍රයෝජනවත් විය හැකි කාලය තුළ ද යන්නයි.

යුක්තිය ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය සාධාරණ කාලයක් තුළ ලබාදීම ද ජාත්‍යන්තර යුක්ති මූලධර්මවල වැදගත් කොට සැලකේ. එබැවින් ප්‍රමාදයේ පිරිවැය යනු නඩු ගාස්තු සහ නීතිඥ ගාස්තු පමණක් නොවේ. ගත නොහැකි වූ තීරණවල, අහිමි වූ අවස්ථාවල සහ බලා සිටීමට සිදු වූ කාලයේ පිරිවැය ද එයට අයත්ය. එහෙත් එම ප්‍රමාදය අඩු කිරීමට ගන්නා තීරණවලට ද පිරිවැයක් තිබිය හැකිය. එබැවින් සැබෑ ප්‍රතිපත්ති ප්‍රශ්නය වන්නේ අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් සමස්ත සමාජ පිරිවැය අවම කරන්නේ කෙසේද යන්නයි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ප්‍රධාන නඩුව මේ වන විට තීරණාත්මක අදියරකට පැමිණ තිබේ. සාක්ෂිකරුවන් සිය ගණනක සාක්ෂි සහ ලේඛන දහස් ගණනක් ඇතුළත් දිගු නඩු ක්‍රියාවලියකින් පසු එය විත්තිවාචක අදියරට ගමන් කරමින් සිටී. වසර ගණනක් යුක්තිය බලා සිටින වින්දිතයන් හා පවුල් සැලකූ විට, මෙවැනි නඩුවක් කාලයේ වටිනාකම වඩාත් පැහැදිලි කරයි.

 

කාලයත් යුක්තියේ කොටසකි

“සාධාරණ කාලය” පරිපාලන පහසුවක් පමණක් නොව, නීතිමය අයිතියක් සැබෑ ජීවිතයේ ප්‍රයෝජනවත් අයිතියක් බවට පත් කරන නීති ආරක්ෂාවේම කොටසකි. වින්දිතයා සිදු වූ දෙය පිළිබඳ පිළිතුරක්, වගකීම තහවුරු වීමක් සහ අසාධාරණය පිළිබඳ සමාජ පිළිගැනීමක් ද බලාපොරොත්තු විය හැකිය. නඩු දිනයෙන් නඩු දිනයට ඒ බලාපොරොත්තුව පසුපසට යන විට, ප්‍රමාදය නීතිමය ක්‍රියාවලියේ ගැටලු‍වක් පමණක් නොව, වින්දිතයාට නැවත නැවතත් දැනෙන මානසික හා සමාජ බරක් බවට පත්විය හැකිය.

නීතිමය ප්‍රතිකර්මයක වටිනාකම ද කාලය සමග වෙනස් වේ. අද ලැබෙන ප්‍රතිකර්මයක් සහ වසර දහයකට පසු ලැබෙන එම ප්‍රතිකර්මය නීතියෙන් එකම අයිතියක් තහවුරු කළත්, ජීවිතයට එකම වටිනාකමක් ලබා නොදේ. ව්‍යාපාරය බිඳ වැටුණු පසු ලැබෙන වන්දියක් හෝ දරුවා වැඩිහිටියකු වූ පසු ලැබෙන පවුල් නඩු තීන්දුවක් නීතියෙන් නිවැරැදි වුවද, එහි ප්‍රායෝගික වටිනාකමෙන් කොටසක් කාලය විසින් ගිලගෙන තිබිය හැකිය. එබැවින් අධික ප්‍රමාදය යුක්තියට පසුව එකතු වන ගැටලු‍වක් නොව, එහි ගුණාත්මකභාවයම වෙනස් කරන කරුණකි. ඒ අර්ථයෙන් නඩුවකට ගතවන කාලය ද යුක්තියේම කොටසකි.

 

ප්‍රමාදයේ බර ද සමාන නැත

2025 පෙබරවාරි මාසයේ නිල දත්ත අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ නොවිසඳුණු නඩු 1,131,818ක් තිබූ අතර, දිසා අධිකරණවල පමණක් නඩු 262,665ක් පැවතිණි. එහෙත් මේ සංඛ්‍යා පිටුපස ඇත්තේ තීන්දුවක් බලා සිටින ජීවිත ලක්ෂ ගණනකි.

නඩුවක් වසර පහක් ප්‍රමාද වුවහොත් සියලු‍ පාර්ශ්වයන්ටම වසර පහක් ගතවේ. එහෙත් එම වසර පහේ පිරිවැය සියලු‍ දෙනාට සමාන නොවේ. නීති සමාජ විද්‍යාඥ මාක් ගැලැන්ටර් පෙන්වා දෙන්නේ නීති පද්ධතිය සමග නැවත නැවත කටයුතු කරන, සම්පත් හා නීතිමය අත්දැකීම් ඇති පාර්ශ්ව සහ ජීවිතයේ එක් වරක් හෝ කලාතුරකින් අධිකරණයට පැමිණෙන සාමාන්‍ය පුරවැසියා අතර මූලික වෙනසක් තිබෙන බවයි.

විශාල සමාගමකට දිගු නඩුවක් නීති ගාස්තුවක් සහ ගිණුම්කරණ වියදමක් ලෙස දරාගත හැකිය. දෛනික ආදායමෙන් ජීවත්වන පුද්ගලයකුට සෑම නඩු දිනයක්ම අහිමි වූ වැඩ දිනයකි. ධනවත් ඉඩම් හිමියකුට මතභේදයට ලක් වූ ඉඩමක් වසර කිහිපයක් නොවිකුණා තබාගත හැකිය. කුඩා ව්‍යාපාරිකයකුට එම දේපළ ඇපයට තබා ණයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් ව්‍යාපාරික අවස්ථාවක්ම අහිමි විය හැකිය.

එබැවින් වසර පහක ප්‍රමාදය සියලු‍ මිනිසුන්ට එකම වසර පහ නොවේ. බලවත් පාර්ශ්වයකට ප්‍රමාදය ඉවසිය හැකි වියදමක් හෝ ඇතැම් අවස්ථාවල උපාය මාර්ගික වාසියක් විය හැකි අතර, දුර්වල පාර්ශ්වයකට එය තීන්දුව ලැබීමට පෙරම ලැබෙන දඬුවමක් බවට පත්විය හැකිය.

මෙතැනින් ගැටලු‍ව තනි නඩුවෙන් සමස්ත අධිකරණ පද්ධතියට පැතිරෙයි. සෑම වසරකම නව නඩු එකතු වන අතර, පැරැණි නඩු ද නොවිසඳී ඉතිරි වේ. නඩු තොගය අඩුවීමට නම්, අලු‍තින් එකතු වන නඩු ගණනට වඩා වැඩි වේගයකින් නඩු අවසන් කළ යුතුය. එහෙත් ඒ සඳහා ඇති විනිසුරු ධාරිතාව, නීති නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සම්පත් සීමිතය. එම වේගය ප්‍රමාණවත් නොවූ විට නඩු තොගයත් පොරොත්තු කාලයත් වැඩි වේ. එවිට අද ඇති ප්‍රමාදය හෙට ඇති ප්‍රමාදයටත් හේතුවක් බවට පත්වේ.

එහෙත් මෙය “විනිසුරුවරුන් අඩුය” යන එකම හේතුවකින් පැහැදිලි කළ නොහැකිය. නඩු ප්‍රමාදයට විනිසුරු ධාරිතාව හා නඩු බෙදා හැරීම පමණක් නොව, කාර්ය මණ්ඩලය, පොලිසිය ඇතුළු විමර්ශන ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, සාක්ෂි හා වාර්තා ලබා ගැනීමේ වේගය, නඩු කළමනාකරණය සහ ඩිජිටල්කරණය ද බලපායි.

ප්‍රමාදයට රාජ්‍ය පිරිවැයක් ද ඇත. එකම නඩුව නැවත නැවත කැඳවීම සඳහා අධිකරණ කාලය, කාර්ය මණ්ඩලය, ආරක්ෂාව, රැඳවියන් ප්‍රවාහනය සහ ලේඛන පවත්වාගෙන යාමට සම්පත් වැය වේ. එම සම්පත් වෙනත් නඩු සඳහා භාවිත කළ හැකිව තිබෙන ඒවාය. ඒ නිසා නඩු ප්‍රමාදයට අවස්ථා පිරිවැයක් ද තිබේ.

අවසානයේ මෙම පිරිවැය ආයතනික විශ්වාසයට ද පැතිරිය හැකිය. අසාමාන්‍ය ප්‍රමාදය ජනතාවගේ අධිකරණ අත්දැකීමේ කොටසක් වන බැවින්, “නීතිය තිබේ, එහෙත් එය කාලයට වැඩ කරන්නේ නැත” යන හැඟීම වර්ධනය විය හැකිය. එය අධිකරණයේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය පිළිබඳ ජනතා අවබෝධයට හානිකර, නීතිමය මාර්ගයෙන් ගැටලු‍ විසඳීමට ඇති විශ්වාසය ද දුර්වල කළ හැකිය. නීතිය කාලෝචිතව ක්‍රියාත්මක නොවන බවට එවැනි හැඟීමක් තහවුරු වුවහොත්, නීතියේ අපරාධ නිවාරණ බලය ද දුර්වල විය හැකිය.

එබැවින් ප්‍රමාද වන යුක්තියේ පිරිවැය නඩු ගොනුව තුළ සිර නොවේ. එය දුර්වල පාර්ශ්ව මත වැඩි බරක් පටවමින්, සීමිත රාජ්‍ය සම්පත් භාවිත කරමින්, අවසානයේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ සමාජ විශ්වාසයට ද පැතිරෙන පද්ධතිමය පිරිවැයකි.

 

අධිකරණ අඛණ්ඩතාවේ වටිනාකම

පාස්කුදා නඩුව මෙම ගැටලු‍වේ තවත් පැත්තක් පෙන්වයි. ජනාධිපතිවරයා අගෝස්තු 12 දා නීතිඥ සංගමය සමග පැවැත් වූ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ, එම නඩුව අසන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් අතර උසස්වීමට සුදුසු අය සිටින නමුත්, නඩුවේ අඛණ්ඩතාව ද සලකා බැලීමට සිදුව ඇති බවයි.

විනිසුරුවරයකු වෙනස් වූ විට නඩුව අනිවාර්යයෙන්ම මුල සිට ආරම්භ කළ යුතු බව මෙයින් අදහස් නොවේ. එහෙත් වසර ගණනක් සංකීර්ණ සාක්ෂි, ලේඛන හා නඩු ක්‍රියාවලිය සමග කටයුතු කර ගොඩනඟා ගත් නඩු-විශේෂ දැනුමද පද්ධතියේ වත්කමකි. එය නැවත ගොඩනඟා ගැනීමට කාලය හා සම්පත් වැය විය හැකිය.

එහෙත් අඛණ්ඩතාව රැකීමේ ද පිරිවැයක් ඇත. උසස්වීම් හෝ පුරප්පාඩු පිරවීම ප්‍රමාද විය හැකිය. එබැවින් සැබෑ තේරීම පිරිවැයක් ඇතිද නැද්ද යන්න නොව, එක් පිරිවැයක් දැරීමෙන් ඊට වඩා විශාල සමාජ පිරිවැයක් අඩු කළ හැකිද යන්නයි.

 

වසර දෙකක දිගුව ප්‍රතිපත්ති මෙවලමකි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පොදුවේ වසර දෙකකින් දිගු කිරීමේ යෝජනාව ද මේ පසුබිම තුළ බැලිය යුතුය. පළපුරුදු විනිසුරුවරුන් තවත් වසර දෙකක් පද්ධතිය තුළ රඳවා ගැනීමෙන් විනිසුරු ධාරිතාව, සංකීර්ණ නඩුවල අඛණ්ඩතාව සහ වසර ගණනකින් ගොඩනැගුණු අත්දැකීම රඳවාගත හැකිය.

එහෙත් “පළපුරුද්ද වැඩි නිසා කාර්යක්ෂමතාව ද වැඩි වේ” යන සරල තර්කය ප්‍රමාණවත් නොවේ. සේවා දිගුවෙන් උසස්වීම් හා නව පත්වීම් ප්‍රමාද විය හැකි අතර, පද්ධතියට නව මානව ප්‍රාග්ධනය ඇතුළු වීම ද මන්දගාමී විය හැකිය. තවද විමර්ශන, රස පරීක්ෂක වාර්තා, නඩු පැවරීම්, සාක්ෂිකරුවන්, නඩු කළමනාකරණය හා ඩිජිටල් පද්ධති දුර්වල නම්, විනිසුරුවරුන් තවත් වසර දෙකක් සේවය කිරීමෙන් පමණක් නඩු තොගය අඩුවන්නේ නැත.

ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම අනුව මෙම යෝජනාව විමර්ශන, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ හා සහායක කාර්ය මණ්ඩල ධාරිතාව ශක්තිමත් කිරීමේ පුළුල් උත්සාහයක කොටසකි. මෙහිදී “අවදානම” යන වචනයේ අර්ථය ද වෙන්කර බැලිය යුතුය. නීතිඥ සංගමයේ ප්‍රකාශයන්ට ප්‍රතිවිරුද්ධව, ජනාධිපතිවරයා සඳහන් කළේ අධිකරණ ස්වාධීනත්වයට ඇති අවදානමක් නොව, තමන් භාරගන්නා දේශපාලන හා පෞද්ගලික අවදානම්ය. එබැවින් අධිකරණ ස්වාධීනත්වයට අවදානමක් ඇතැයි තර්ක කරන්නේ නම්, එය ව්‍යවස්ථාමය හා ආයතනික කරුණු මත පෙන්විය යුතුය.

එබැවින් විශ්‍රාම වයස දිගු කිරීම අරමුණක් නොව, පරීක්ෂා කළ යුතු ප්‍රතිපත්ති මෙවලමකි. එහි සාර්ථකත්වය නඩු සංඛ්‍යාවෙන් පමණක් නොව, යුක්තිය වඩාත් කාලෝචිත, සාධාරණ හා විශ්වාසනීය කිරීමට දායක වන්නේද යන්නෙන් මැනිය යුතුය. අවසාන පරීක්ෂාව වන්නේ එයින් අඩු වන සමාජ පිරිවැය, සේවා දිගුවේ පිරිවැයට වඩා විශාල ද යන්නයි.

නිගමනය

පාස්කුදා විමර්ශනය ඉදිරියට ගෙන යාමේදී පෞද්ගලික ආරක්ෂාවට අවදානමක් ඇති බව දැන සිටියද එය බාර ගැනීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එය ජනතා වේදනාව හා යුක්තිය පිළිබඳ ගැඹුරු අපේක්ෂාව තේරුම්ගත් නායකයකුගේ වැදගත් දේශපාලන සංඥාවකි. එවැනි ධෛර්යය හා කැපවීම තිරසාර යුක්තියක් බවට පත් කිරීමට ශක්තිමත් ආයතනික පද්ධතියක අත්වැලද අවශ්‍යය.

ප්‍රමාද වන යුක්තියේ පිරිවැය සමාජයේ පුළුල් පරාසයකට පැතිරෙන අතර, එය අධිකරණය පිළිබඳ සමාජ විශ්වාසය දුර්වල කරමින් අවසානයේ නීතියේ අපරාධ නිවාරණ බලයට ද බලපෑ හැකිය.

එබැවින් විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දිගු කිරීම ඇගැයිය යුත්තේ එම දිගුවෙන් ප්‍රමාද වන යුක්තියේ සමාජ පිරිවැය සැබැවින්ම අඩුවේ ද යන්න මතය. “Justice delayed is justice denied” යන ප්‍රකට නීතිමය කියමන අපට සිහිපත් කරන්නේ ද එයයි. යුක්තිය ප්‍රමාද වන විට අහිමි වන්නේ කාලය පමණක් නොව, යුක්තියේම කොටසකි.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව

පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චන්දික ගුණසිංහ