උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවත්, මලයියහ ජනතාව ලෙස මෑතක සිට හඳුන්වනු ලබන කඳුරට දෙමළ ජනතාවත් දෙමළ කතා කරන මුස්ලිම් ජනතාවත් නියෝජනය කරන දේශපාලන පක්ෂ හයක් මීට දින කිහිපයකට පෙර දේශපාලන හවුලක් ඇති කර ගත්තේය. එය එම ප්‍රජාව වෙනුවෙන් තම වගකීම් පැහැර හැරීම පිළිබඳව රටේ ප්‍රධාන ජාතික පක්ෂවලට එරෙහිව එල්ල වන චෝදනාව නැවත අලුත් කිරීමක් වශයෙන් සැලකිය හැකිය.
මෙම පක්ෂ හයෙන් දෙකක් උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව නියෝජනය කරයි. ඒ ඉලංගෙයි තමිල් අරසු කච්චි සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය යන පක්ෂයි. ලංකා කම්කරු කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය කඳුරට දෙමළ ජනතාව නියෝජනය කරයි. තව දෙකක් එනම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන්නේ මුස්ලිම් ජනතාවයි.
උතුරු, නැගෙනහිර, බස්නාහිර යන පළාත්වල සහ වතුකරයේ ජීවත්වන දෙමළ ජනතාවගේත් දෙමළ භාෂාව කතා කරන මුස්ලම් ජනතාවගේත් ගැටලුවලට විසඳුම් සෙවීම පිණිස තමන් මෙම හවුල ආරම්භ කළ බව ඔවුහු ඉකුත් සඳුදා ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.
ඔවුන් මෙම එකතුව දේශපාලන සන්ධානයක් වශයෙන් හඳුන්වන්නේ නැත. මෙයින් උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන පක්ෂ දෙක හැර අනෙක් පක්ෂ හතරම මේ වනවිටත් රටේ ප්‍රධාන පක්ෂ සමග සන්ධාන ගොඩ නගාගෙන සිටියි.
දෙමළ කතා කරන, සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ මෙවැනි හවුලක් ඇති කර ගැනීම බහුතර සිංහල ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂවලට එරෙහිව එල්ල වන චෝදනාව නැවත අලුත් කිරීමක් ලෙස අපි ඉහතින් හැඳින්වූයෙමු. මන්දයත්, 1939 වසරේ සිට විවිධ කාලවලදී ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ බිහිවීමට මූලිකම හේතුව වූයේ සුළුතර ප්‍රජාව තුළ බහුතර ප්‍රජාවේ නායකයන් කෙරෙහි පැවැති අවිශ්වාසයයි. නැත්නම් පැවැති විශ්වාසය බිඳ වැටීමයි.
සිංහල නායකයන් තමන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් ද පෙනී සිටිනු ඇතැයි මෙම ප්‍රජාවගේ නායකයන් තුළ විශ්වාසයක් පැවැතියේ නම්, සුළු ජාතික පක්ෂ බිහි නොවන්නට ඉඩ තිබිණි. නැත්නම් බිහිවීමට ඇති ඉඩකඩ ඉතා අවම විය හැකිව තිබිණි.
එසේ සුළු ජාතික පක්ෂ බිහි වුවද, පසුකාලීනව එම පක්ෂ උපාය මාර්ගික හේතූ නිසා හෝ, තත්වානුකූල අවශ්‍යතා හේතුවෙන් හෝ තමන්ගේ පැවැත්ම උදෙසා හෝ එම ප්‍රධාන පක්ෂ සමගම සන්ධානවලට යොමුවිය. උදාහරණයක් වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසය 1977 වසරේ සිට බලයට පත්වූ සෑම පාලක පක්ෂයකම පාහේ ආණ්ඩුවල හවුල්කරුවකු වීම දැක්විය හැකිය.
කලෙක ප්‍රජාවක් වශයෙන් දැඩි පීඩනයකට ලක්ව සිටියද කිසිදු දේශීය නායකයකුගේ සැලකිල්ලට ලක් නොවූ වතුකරයේ ජනතාව පසුකලෙක ඉන්දියාවේ අගමැතිව සිටි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයකු වූ ජවහර්ලාල් නේරුගේ උපදෙස් මත 1939 වසරේදී ලංකා කම්කරු කොංග්‍රසය නම් වෘත්තීය සමිතිය පිහිටුවා ගත්හ. පසුව දේහපාලන පක්ෂයක් බවට පත්වූ එම සමිතිය දේශීය නායකයන් සමග සන්ධානවලට එළැඹියේය.
ෆෙඩරල් පාලන ක්‍රමයක් සඳහාවූ තම ඉල්ලීමට රටේ කිසිදු පක්ෂයක් එකඟ නැතැයි යන පදනම මත උතුරු නැගෙනහිර නායකයෝ එම අරමුණ වෙනුවෙන් වෙන්ව කටයුතු කරන්නට 1949 දී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය පිහිටුවා ගත්හ. එහෙත් එම පක්ෂයද 1965 දී අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව රජයක් පිහිටුවීමට ඉදිරිපත් විය.
මෙම පක්ෂ හයෙන් තුනක් එනම් මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂ දැනටත් සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය නායකත්වය දරන සමගි ජන සන්ධානයේ සාමාජික පක්ෂයි. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය දැක්වීය. ඒ, සමගි ජන බලවේගය ඔවුන්ගේ කොන්දේසි හෝ ප්‍රතිපත්තිවලට එකඟ නොවූ පසුබිමකය. ලංකා කම්කරු කොංග්‍රසය පසුගිය මහ මැතිවරණයට තරග කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වෙමිනි.
මුස්ලිම් සහ කඳුරට නියෝජනය කරන පක්ෂ තවමත් පාර්ලිමේන්තුව තුළ තම ප්‍රජාව නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හෝ සාමාජිකයන් ලෙසය.
මෙවැනි සන්ධාන ගොඩනැගීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඉතා වැදගත් ප්‍රශ්නයක් මතුවේ. එනම් තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගැනීම සඳහා මෙම සුළු පක්ෂ පාර්ලිමේන්තුව යොදා ගන්නට අදහස් කරන්නේ නම් එම ප්‍රතිපත්ති නොපිළිගන්නා ප්‍රධාන පක්ෂයක් සමග සන්ධානගතවී ඒවා ක්‍රියාත්මක කරගන්නේ කෙසේද යන්නයි.
සත්‍යයනම් සුළු ජාතික පක්ෂ ප්‍රධාන පක්ෂ සමග දැනට මෙම සන්ධාන ගොඩනගාගෙන ඇත්තේ ප්‍රතිපත්තිමය එකඟතාවලින් තොරව, හුදෙක් දේශපාලනිකව තම පැවැත්ම රැකගැනීමට හෝ පාර්ලිමේන්තුවේ තවත් ආසන එකක් හෝ දෙකක් වැඩිපුර ලබාගැනීමේ අරමුණින් මැතිවරණසමයේදී ඇතිකරගන්නා උපායමාර්ගික වැඩපිළිවෙළවල් ලෙස පමණි. ඒ අනුව තමන් දැනට සන්ධානගත වී සිටින ප්‍රධාන පක්ෂ තම ප්‍රජාවගේ ගැටලුවලට විසඳුම් ලබාදෙනු ඇතැයි තවදුරටත් අපේක්ෂා නොකර ඔවුන් මෙම හවුල පිහිටුවීම සාධාරණය.
සඳුදා පැවැති මෙම හවුලේ සමාරම්භක මාධ්‍ය හමුවේදී මෙම පක්ෂ හයම අවධාරණයකර සිටියේ, බලයේ සිටින ජාතික ජන බලවේගය පසුගිය මැතිවරණවලදී පොරොන්දුවූ පරිදි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට කටයුතු කළයුතු බවයි. එහෙත් මෙම ඉල්ලීම් දෙමළ භාෂාව කතාකරන ප්‍රජාවට පමණක් අදාළ නොවේ. කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණ ප්‍රමාදයට ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම මෙම සුළු ජාතික පක්ෂද එක්තරා දුරකට වගකිව යුතුය. මන්දයත්, 2017දී එක්සත් ජාතික පක්ෂය පළාත් සභා මැතිවරණ ක්‍රියාවලිය අර්බුදයකට ලක් කළේ මෙම දෙමළ භාෂාව කතාකරන පක්ෂවල හා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිවය.
කෙසේ වුවද, මෙම පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්විය යුතුය යන ඔවුන්ගේ වත්මන් ස්ථාවරය අසාධාරණ නොවේ. එහෙත් වත්මන් දේශපාලන සන්දර්භය තුළ එය ඉටුකර ගැනීමට ඇති ඉඩකඩ ඉතා අවම මට්ටමක පවතී. නීතිමය බාධා හේතුවෙන් එම මැතිවරණ පැවැත්වීමට නොහැකි වී ඇතැයි ජාතික ජන බලවේග ආණ්ඩුව තර්ක කරයි. එය සත්‍යයකි. එහෙත් එම නීතිමය අවුල කඩිනමින් ලිහන්නට ආණ්ඩුව සැබවින්ම එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. ඒ, යම්විදියකින් තමන් පළාත් සභා මැතිවරණයෙන් පරාජය වුවහොත් එය මීළඟ ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද තමන් පරාජයට පත්වීමට හේතු වියහැකි යැයි ඔවුන් සිතන බැවිනි.
ජනතාව ඡන්දය දෙන්නේ ප්‍රතිපත්තිවලට පමණක් නොවේ. දේශපාලන කරළියේ පෙනුමද හෙවත් රැල්ල ද ඔවුන්ගේ තීරණයට බලපායි. එම රැල්ල ජාජබට අවාසි සහගත නම් අන්ත දූෂිත පක්ෂයකට වුවද ඡන්දය දෙන්නට ජනතාව පෙළෙඹති. ජාජබට ඇති බිය එයයි.
ඉකුත් සඳුදා මෙම පක්ෂ හය විසින් ඉදිරිපත්කරන ලද පළාත් සභා මැතිවරණ හා නව ව්‍යවස්ථාවක් පිළිබඳ ප්‍රධාන ඉල්ලීම් දෙක එකිනෙකට පරස්පර විරෝධීය. මන්දයත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජාතික ගැටලුවට ලබාදෙන විසඳුම, වත්මන් පළාත් සභා ක්‍රමයට වඩා ඉදිරියට ගිය එකක් විය යුතුයැයි ඔවුහු කියා සිටිති. එසේ වෙනස්කරන ලෙස තමන්ම ඉල්ලා සිටින පළාත් සභා වෙනුවෙන් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලීම පදනම් විරහිතය.
කෙසේ වෙතත්, ප්‍රධාන පක්ෂ කෙරෙහි ඔවුන් තුළ පවතින විශ්වාසය බිඳවැටීම පදනම් විරහිත නොවේ. ප්‍රධාන පක්ෂ ඔවුන්ගේ බොහෝ ගැටලු, විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ ගැටලු, දිගින් දිගටම සලකා ඇත්තේ ප්‍රායෝගික නොවන සහ දේශපාලනික වශයෙන් හානිකර කරුණු ලෙසය. ෆෙඩරල් ක්‍රමයක් යනු රට බෙදීමක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබියදී පවා, දකුණේ ඇතිවියහැකි මහජන විරෝධයට බියෙන් ෆෙඩරල් පාලන ක්‍රමයක් හඳුන්වාදීමට ඔවුහු පැකිළෙති.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළයුතුය යන්න එම පළාත් නියෝජනය කරන පකෂවල තවත් ඉල්ලීමකි. එහෙත්, මීට දශක දෙකකට පෙර එම පළාත් දෙක වෙන්කිරීමට මූලිකවූ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ මුල්කරගත් සන්ධානයක් (ජාතික ජන බලවේගය) බලයේ සිටින පසුබිමක, උතුරු සහ නැගෙනහිර පළාත් නැවත ඒකාබද්ධ කිරීමට ඇති ඉඩකඩ ද ඉතා අවමය. වෙනත් ප්‍රධාන පක්ෂයක ආණ්ඩුවක් යටතේ වුවද එම තත්වය වෙනස් නොවනු ඇත.
විශේෂයෙන්ම, ඉන්දීය රජය ද මෙම පළාත් ඒකාබද්ධ කිරීමේ ඉල්ලීම ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කොට ඇති වත්මන් වටපිටාව තුළ එය තේරුම් ගත හැකි තත්වයකි. අනෙක් අතට, මෙම නව හවුලේ සිටින දෙමළ සහ මුස්ලිම් පක්ෂ ද මෙම පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් දරන්නේ එක් මතයක් නොවේ.
මෙම නව හවුල ජාතිවාදී කණ්ඩායමකැයි එල්ල විය හැකි චෝදනාවක් වළක්වා ගැනීමට ඔවුන් උත්සාහ කළද, ඔවුන් විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාවට අදාළ නිශ්චිත ඉල්ලීම් ඉදිරිපත් කළ වහාම, විවිධ කණ්ඩායම් බොහෝදුරට ඔවුන් ජාතිවාදීන් ලෙස හංවඩු ගසනු ඇත. සැබවින්ම, සමාජ මාධ්‍ය ජාලාවල දැනටමත් එවැනි ලකුණු පහළ වෙමින් තිබේ.
කෙසේවුවද, මෙම පක්ෂ හය ප්‍රධාන පක්ෂවලින් ස්වාධීනව තමන්ගේම සන්ධානයක් ගොඩනගා ගනිමින්, තමන්ගේ මෙම දේශපාලන ඉල්ලීම් ඉටුකර ගැනීමට කරන්නට යන්නේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. අපට පෙනෙන දෙයනම්, ඉංග්‍රීසි උපමාවකින් කියවෙන පරිදි ඔවුන් මේ උත්සාහ කරන්නේ අඳුරු කුටියක සැඟවුණු කළු බළලකු සොයා ගන්නටය.
(*** එම්. එස්. එම්. අයුබ්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd