IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඩොලර් කෝටි 1500 ක් හොයන්න ඉක්මනින් ඩිජිටල් වෙන්න

  • ජනපතිගේ ඩිජිටල් ඉලක්කය ජයගන්න කඩිනම් ඩිජිටල්වීමක් අවශ්‍යයි

උපුල් වික්‍රමසිංහ
ඉදිරි අවුරුදු පහක කාලයේදී ඩිජිටල් ආර්ථිකයෙන් ඩොලර් බිලියන 15 ක (කෝටි 1,500) ආදායමක් ඉපැයීමට නම් රජයේ ආයතන ඩිජිටල්කරණය වේගවත් කිරීම, කර්මාන්ත හා සේවා අංශවලට කරන ඩිජිටල් දායකත්වය ඉහළ නැංවීම සහ මෙරට ලියාපදිංචි වී ඩිජිටල් ආර්ථික කටයුතු කරන විදේශීය සමාගම් මත බදු පැනවීම ආදී ක්‍රියාමාර්ග රාශියක් ගත යුතු බව ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විශේෂඥයෝ පවසති. 

පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉදිරි වසර පහක කාලයේදී ඩිජිටල් ආර්ථිකයෙන් ඩොලර් බිලියන 15 ක ආදායමක් ඉපැයීමට අපේක්ෂා කරන බවය.
ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් “ඩිජිටල් ආර්ථිකය 2030” සැලැස්මෙන් රජයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට ව්‍යාපෘති 80 ක් පමණ කළ යුතු බව හඳුනා ගෙන තිබුණද පසුගිය රජය සමයේ නිසි ලෙස ක්‍රියාවට නැංවූයේ ඒවායෙන් ව්‍යාපෘති 4 ක් හෝ 5 ක් පමණක් බව ද රජයේ ඉලක්කය වෙත ළඟා වීමට නම් කඩිනමින් සෙසු ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව ද ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්ත ෆෙඩරේෂණය ආයතනයේ අධ්‍යක්ෂ ලක්මාල් ඇඹුල්දෙණිය මහතා ඉරිදා ලංකාදීපයට සඳහන් කළේය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ විදේශීය තොරතුරු තාක්ෂණ ආයතනවලට සේවා සපයන ලාංකිකයන්ගෙන් රටට ලැබෙන ආදායම මේ වෙනවිට ඩොලර් බිලියන 3 ක් පමණ වෙන බවත් එය ඉදිරි අවුරුදු පහක කාලයේදී ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ගැනීමට සිය ආයතනය ද පාර්ශ්වකරුවෙකු වූ ඩිජිටල් ආර්ථිකය 2030 සැලැස්මෙන් අපේක්ෂා කරන බවත්ය. තොරතුරු තාක්ෂණය හා ඩිජිටල්කරණය මගින් රජයේ සේවා කාර්යක්ෂම කිරීම ඔස්සේ ඉදිරි කාලයේදී රජයට තවත් ඩොලර් බිලියන 5 ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව ද එයින් ජනාධිපතිවරයා සඳහන් කළ ඩොලර් බිලියන 15 ක ආදායම ආවරණය වෙන බව ද ඔහු කීවේය.
අදාළ ඉලක්කය සපුරා ගැනීම සඳහා පරිගණක හා ඒවායෙහි උපාංග ඇතුළු තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් මත අය කරන වැට් බදු අඩු කිරීම හෝ ඉවත් කිරීම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනතා විශ්වාසය ඉහළ නැංවීම, තොරතුරු තාක්ෂණය සම්බන්ධ බුද්ධිමය දේපොළ සංවර්ධනය කිරීම සහ තොරතුරු තාක්ෂණ අංශයේදී ලෝක වෙළෙඳපොළ ඉලක්ක කරගෙන මෘදුකාංග දියුණු කිරීම ආදී ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
විදුලි සංදේශ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය රොහාන් සමරජීව ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළේ අදාළ ඩොලර් බිලියන 15 ක ආදායම අපනයන ආදායම්වලින් පමණක් ඉපැයිය නොහැකි බවත් කර්මාන්ත, කෘෂිකර්ම සහ සේවා අංශවලට තොරතුරු තාක්ෂණය හඳුන්වා දී ඒවා සුහුරු කර්මාන්ත බවට පත් කළහොත් දැනට එම අංශවලින් උපයන අපනයන ආදායම් තවත් ඩොලර් බිලියන 10 කින් පමණ ඉහළ නංවා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවත්ය. ඉතිරි ඩොලර් බිලියන 5 ක මුදල දේශීය ආර්ථිකයෙන් ඉපැයීමට ඉඩ ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඩොලර් කෝටි 1500 ක් හොයන්න ඉක්මනින් ඩිජිටල් වෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 151 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 364 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site