(සුමිත් පොතුපිටිය )

කළුතර නගර මධ්‍යයේ හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් අද(28)  පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රී වරයකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .

මාර්ගයේ ගමන් කරමින් සිටී පහරකෑ පුද්ගලයා විරෝධතාවය ඉදිරිපිට යතුරු පැදිය නවතා "බත් කන හරක් තවමත් සිටිනවාදැයි " විමසන ලද අතර එයින් උරණවූ නාගරික මන්ත්‍රී වරයා අත් දෙකෙන්ම ඔහුගේ මුහුණ සහ හිස ප්‍රදේශයට පහරදෙන ලැබීය. පහරකෑ පුද්ගලයා හෙල්මටයක් පැළද සිටී බැවින් තරමක ආරක්ෂාවක් තිබිණි.

මෙසේ පහරකෑමට ලක්වූයේ වාද්දුව ,පොතුපිටිය පනාපිටිය පාර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කල බව පොලිසිය පැවසීය.

පහරදීම සිදු කළ නාගරික මන්ත්‍රී වරයා ද ඔවුන් විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට බාධා කළ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සදහන් කරයි.