(යොහාන් භාසුර)

ආනයනය කළ පළමු ගල් අගුරු නැවේ තොගය පමණක් ප්‍රතික්ෂේප වූ බවත් ඒ හේතුවෙන් එම නැව වෙනුවෙන් ඩොලර් මිලියන 2.1 ක දඩ මුදලක් අයකළ බවත් ලංකා ගල් අගුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා අද (28) පැවසීය.

ආන්දෝලයට ලක්ව ඇති ගල් අගුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රජයේ ප්‍රවෘත්ති චෙදපාර්තමේන්තුවේදී අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජයන්ත රත්නායක මහතා එසේ පැවසීය.

එම දඩ අයකිරීමත් සමඟ ගල් අගුරු මෙටි්‍රක්ටොන් එකක් 98.50 කට මිලදී ගත්තේ නම් එම වැයවූ මුදලත් අඩුවී ඇති බව සඳහන් කළ ඒ මහතා පළමු ගල් අගුරු නැවේ ගොඩබෑමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන මට්ටමේ නොමැති වුවත් එහි සාම්පල ඉන්දියාවට පරීක්‍ෂණයක් සඳහා යොමුකළ අතර එහි වාර්තාවේ අපගමනයක් තිබූ බවත්ය.

දෙවැනි නැවේ වාර්තා දෙකම ලැබී ඇති අතර දැනට තිබෙන විදියට එහි ප්‍රශ්නයක් නොමැති බවත් තෙවැනි නැවේගල් අගුරු තවම ගොඩබාමින් පවතින අතර ඉතිහාසයේ පළමු වරට හතරවැනි නැවත් සමඟ නැව් දෙකම එකට බාන්න කටයුතු කර ඇති බවත් ඒ මහතා කීය.

ගල් අගුරු සම්බන්ධයෙන් විවිධ මතවාද විවිධ අදහස් සමාජගත වී තිබුණ ද ගල් අගුරු ගෙන්වීමේදී කිසිදු පාඩුවක් රටට සිදුවී නොමැති බව ද ගල් අගුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා පැවසීය.

ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විවිධ කතා කිව්ව ද අපේ රට දුප්පත් රටක් වීම නිසා අඩුවෙන් මිලදී ගැනීමට සොයන බවත් ටෙන්ඩරය ලැබුණු සමාගම ඩොලර් 98 කට සැපයීමට එකඟ වූ බවත් ඒ මහතා කීය.

ගල් අගුරු තොගයක ප්‍රමිතිය පරීක්‍ෂා කරන ප්‍රමතීන් හතක් ඇති අතර ඒ හත සහ මේ ගල් අගුරු වරායට බානවිට පැටවුම් වාර්තාවක් දෙන බවත් එකපාරට ගල් අගුරු දිහා බලලා මේවායේ හොද නරක කියන්න හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.