(අංජුල මහික වීරරත්න)

කොළඹ මාලිගා කුමන්ත්‍රණවලට මාලිමා ආණ්ඩුව බය වන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජනරැළිය අමතමින් අද (11)පැවැසීය.

මාලිගා කුමන්ත්‍රණ වලින් ආණ්ඩුව පලවා හරින්න හිතන්නවත් එපා යැයි කී ජනාධිපතිවරයා ජන බලය සමඟ එක්ව ලංකාව ලෝකයේ සංවර්ධිතම රටක් බවට පත් කරන බව අවධාරණය කළේය.

අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන තේමාවෙන් පැවති මෙම ජනරැළියට මහා සංඝරත්නය ඇතුළු අති විශාල ජනකායක් සහභාගී වූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:-

මේ ආණ්ඩුව හැදුවේ රටේ ජනතාව.මාධ්‍ය වල විශාල ලෙස පුම්බා ආණ්ඩු හැදූ යුගයක් තිබුණා.ඒ වගේම පරම්පරාවලින් ආණ්ඩු හැදූ යුගයක් තිබුණා.තවත් පැත්තකින් මැර බලය පාවිච්චි කර ආණ්ඩුව හැදුවා.සල්ලි බෙදලා ආණ්ඩු හැදුවා.ලංකා ඉතිහාසයේ පළමු වරට මාධ්‍ය බලය මැර බලය පවුල් බලය නැතිව ජනතාව එකතු වී ආණ්ඩුවක් හැදුවා. ඒ ජාතික ජන බලවේග ආණ්ඩුවයි.

රටක් අයාලේ යනවා නම් රට දියුණු කරන්නේ බැහැ . ඒ සඳහා මුලින් අත්තිවාරම හදන්න ඕන.

අපේ රටේ අත්තිවාරම දිරලා තිබුණේ.පළමුවෙන් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. වංචාව දූෂණය නාස්තිය නැති කළ යුතුයි යුතුයි. ඒ වගේම ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි.

ශක්තිමත් විදෙස් සබඳතා අවශ්‍යයි.ඒ වගේම ජාතික ගැටුම් නැති රටක් අවශ්‍යයි.

රට ඇතුලේ ජනතාව ගහ ගත්තොත් රටක් දියුණු වන්නේ නැහැ.