(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර ගත වන භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමෙන් අනතුරුව අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත භික්ෂුන් වහන්සේලා චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යාමට කටයුතු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වැනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එම කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදු කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම සංශෝධන වල භික්ෂූන් වහන්සේට අදාළ යෝජනා, අදහස් ලබා ගැනීම සඳහා එලඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන බවද ජනාධිපති කාර්යාලය කියයි.

අදාළ කමිටු සාකච්ඡාව සඳහා කමිටු සභාපති, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන මහත්ම-මහත්මීහු එක්ව සිටියහ.