(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේදී වාහන ඉල්ලුම පහළ යනු ඇතැයි අපේක්ෂා කළත් මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක මුදලක් වාහන ආනයනය කිරීම සඳහා වියදම් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය

පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 200 ක  මුදලක් වාහන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වැයකර තිබෙන බවද ඔහු පැවැසුවේය.

වසර පහකට පසුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව පසුගිය වසරේදී විශාල වශයෙන් වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේදී වාහන ආනයනය පහළ යනු ඇතැයි අපේක්ෂා කර තිබුණත් 2026 සහ 2027 මූල්‍ය වර්ෂවල වාහන ආනයනය සඳහා සැළකිය යුතු මුදලක් වියදම් වනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය පෙබරවාරි මාසයේදී වසර පහකට පසුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී වාහන 360,117 මෙරටට ආනයනය කර තිබිණි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙම වසරේ ආර්ථික වර්ධන වේගයට විශාල බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා නොකරන බවත් මෙම වසරේදී ශ්‍රී ලංකාව සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බවත්ය.