අතිධාවනකාරී සමාජ ක්‍රමයක ජීවත් වන පුද්ගලයෝ තම මනස සැහැල්ලු කරගැනීමට නිරන්තරව උත්සුක වෙති. හිරු එෆ්.එම් හරහා විකාශය වූ ‘ඩීජේ අරා සහ පැස්බරා’ වැඩසටහන සමාජගත වීම සිදුවනුයේ මිනිසුන්ගේ මෙකී මනස සැහැල්ලු කරගැනීමේ හැකියාව එම වැඩසටහන හරහා උත්තේජනයක් සැපයූ නිසාවෙනි. කෙසේනමුත් අරවින්ද ලොකුගේ හෙවත් ‘ඩීජේ අරා’ සියත නාළිකාවකට එක්වූ පුවත අපි මීට පෙර ඔබට පැවසුවෙමු. එහිදී අරවින්ද හෙවත් ‘ඩීජේ අරා’ගේ සහායිකාව වූ ‘පැස්’ හෙවත් දිස්නා මුණසිංහද හිරු නාළිකාවෙන් ඉවත් වූ අතර, ඇය යළි කලඑළි බසින්නේ කුමන ආකාරයකටද යන්න ඔබට හෙට (09දා) දැනගැනීමට හැකිවෙනු ඇත. ඒ සියත නාළිකාව හරහා උදෑසන 7.00 සිට 10.00 දක්වා විකාශය කෙරෙන වැඩසටහන හරහාය.
අවුරුදු ගාණක් හිටපු තැන ඉඳලා වෙන තැනකට එන්න හිතුවෙ ඇයි?
මං හිරු නාළිකාවේ අවුරුදු 12ක් වැඩ කළා. පාසල් ගිහින් අවසන් වුණාට පසුව තමයි හිරු නාළිකාවට සම්බන්ධ වුණේ. මගේ පළවෙනි රැකියාව තමයි හිරු නාළිකාව. ඒ වගේම අවුරුදු 11 1/2කට වැඩි කාලයක් ‘ඩීජේ අරා පැස්බරා’ වැඩසටහන කළා. අරවින්ද අයියා ගියත් එක්කම මට හිතුණා වෙනසක් වුණොත් හොඳයි කියලා. එය හදිසියේ ගත්ත තීරණයක්. කිසිදු ගැටලුවක් මත ගත්ත තීරණයක් නෙවෙයි. සියතට එක්වීම මට හිතුණු දෙයක් මත ගත්තු තීරණයක්.
මේක සැලසුම් මත ගත්ත තීරණයක් නෙවෙයිද?
නෑ.. නෑ... නෑ... සැලැස්මක් තිබුණෙ නෑ. අරවින්ද අයියා ගියාට පස්සෙ මට යන්නෝන කියල හරි, යනවා කියන අදහසක් තිබුණෙ නෑ. ඒ කාල සීමාව තුළදී මට දැනුණා මටත් වෙනසක් ඕන කියලා. කිසිම සැලැස්මක් තිබුණෙ නෑ.
අලුතින් කලඑළි බහින්නෙ කවද්ද කොහොමද?
සියතට එන්න මූලික වුණේ, ‘අරා පැස්බරා’ වැඩසටහනට බොහෝ දෙනා කැමතියි. එයට ෆේස්බුක්වල පවා ප්‍රතිචාර බොහොමයක් තිබුණා. මාව බොහෝදෙනා හඳුනනවා අඩුයි. මොකද මම එච්චර එළියට යන්නෙ නැති නිසා. අන්තර්ජාලය හරහා සහ මගේ මිතුරියන් කියන දේවල් අනුව මට හිතුණා ඒ වැඩසටහනට තියෙන කැමැත්ත තාමත් තියෙනවා. අසන්නන් අතරමං වෙනවා වගේ දෙයකුත් මට දැනුණා, ඒ වෙලාවේ. එනිසා තමයි මම සියතට එන්න ඕන කියල තීරණය කළේ. මොකද අරා පැස්බරා වැඩසටහන කරන්න තිබුණොත් එය යළිත් ශ්‍රාවකයන් අතරට ගෙනියන්න පුළුවන් කියලා. ඔර්ජිනල් අරා පැස්බරානෙ ඉන්නෙ. එතකොට ඒක වටිනවා කියල හිතුණ නිසා තමයි එතැනට සම්බන්ධ වුණේ. ඒ සම්බන්ධ වුණෙත් පාට් ටයිම් විදියට.
ඔර්ජිනල්ලා මෙතන සිටිනවා කීවත් ඔබ දෙදෙනා කොහොමද ඩුප්ලිකේට්ලගෙන් වෙනස් වෙන්නෙ?
ඔර්ජිනල් එක තමයි ඩුප්ලිකේට්ලා අනුකරණය කරන්නෙ. ඔර්ජිනල් එකට වෙනස් වෙන්න විදියක් නෑ. ඒක මගේ විදිය. ඩීජේ අරා කියන්නෙ අරවින්ද අයියගෙ ස්වභාවය. පැස්බරා කියන්නෙ මගේ ස්වභාවය. එය අපි අනුකරණය කළේ නෑ. එය අපේ සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය. අනුකරණය සහ හිතල කතා කරන්න ඕන නෑ. හිනාවෙන්නෙ සහ කතා කරන්නෙ අපි අපේ විදියට. ඒක ගැටලුවක් නෑ . ඒගොල්ලො එයාලගෙ වැඩේ කරනවා. අපි අපේ වැඩේ කරනවා.
එකම දේ වුණොත් හැමෝම කරන්න ගත්තොත් නීරස වෙනවා නේද?
‘අරා පැස්බරා’ කියලා නම් දෙක දාගන්න පුළුවන් නේ ඕනම කෙනෙකුට. හැබැයි එහි අන්තර්ගතය අනුව තමයි එය පිළිගන්නවද නැද්ද යන්න මිනිස්සු තීරණය කරන්නෙ. අපි හැම එකම විහිළු නෙවෙයි කළේ. හිනාවෙන දේ විතරක් නෙවෙයි කළේ. ඒ හරහා මිනිස්සුන්ට දුන්න දේවල් තිබුණා. එදිනෙදා ජීවිතයේ වෙන දේවල් හරහා තමයි මේ වැඩසටහන ගෙනගියේ. අපි ජෝක් විතරක් කළා නම් මේ වැඩසටහන අවුරුද 12ක් තියෙන්නෙ නැහැ. හැමදාම විහිළු කතන්දර කිව්වට තේරුමක් නෑ. දවසින් දවස ඒක වෙනස් වෙන විදියට කාලීන තොරතුරු මෙන්ම අනුග්‍රාහක භවතුන්ට සාධාරණයක් වන ආකාරයට සිදුවුණ හින්ද තමයි අපේ සාර්ථකත්වය සිදුවුණේ. තවතැනක එය තිබුණට හරි දේ නැත්තම් එතන මිනිස්සු රැඳෙන්නෙ නෑ. අන්තර්ගතය හරි විදියට තේරුම් අරන් හරි විදියට දෙන්න පුළුවන්කමක් තිබුණොත් විතරයි දුර ගමනක් යන්න පුළුවන්. ඒ අයගේ දක්ෂතා අනුව ඔවුන්ගේ පාරක ගියොත් ඔවුන්ටත් දුරගමනක් යන්න පුළුවන්. අපේ විදිය තමයි මේ.
මේ කාරණය සාධාරණයක් ඉටුකළාට වධයක් වෙන තරමටම ගුවන්විදුලි නාළිකාවල ව්‍යාප්ත වුණා නේද?
වධයක් වුණා කියල හිතෙනවද? අනුග්‍රාහක භවතෙක් ගත්තාම ලංකාවෙ ඉන්න ඉහළම අනුග්‍රාහක භවතුන් තමයි අපිත් එක්ක ආවෙ. අපි ඔවුන් ගැන කියන දේවල් තුළින් අහන කෙනාට සතුට ඇතිවන ආකාරයට තමයි අපි එය ඉදිරිපත් කළේ. මම සාධාරණීකරණය කරන්න යන්නෙ නෑ. ඒ කාරණය හරිම කියා. හැමදේකටම වාණිජ පරමාර්ථයක් තියෙනවා. අනුග්‍රාහක භවතෙක් කතා කළත් මේ දෙන්නා මොකක්හරි දෙයක් හිනාවෙන්න කියනවනෙ දැනෙන විදියට සහ අනුග්‍රාහක භවතුන්ගේ දත්ත සෑහෙන්න හොයාගන්නවා. මිනිස්සු දන්න දේවල්වලට වඩා දෙයක් අපි හොයාගන්නවා. මිනිස්සුන්ටත් එය ප්‍රයෝජනවත් වෙන ආකාරයට ඉදිරිපත් කරන්න තමයි අපි උත්සාහ කරන්නෙ. අනුග්‍රාහක භවතුන්ගේ කාර්යභාරය කරන්නෙත් අනුග්‍රාහක භවතාට සාධාරණයක් වන ආකාරයට මෙන්ම අසන්නන්ටත් වෙළෙඳ පරමාර්ථයක්ය යන අදහස නොදැනෙන්නයි අපි එය ඉදිරිපත් කරන්නෙ. විහිළු කතා හරි මොනවහරි එකතු කරල තමයි අපි එය ඉදිරිපත් කරන්නෙ.
පහුගිය කාලෙ ‘අරා පැස්බරා’ තුළ ඔබ කරපු ‘who speaking’ වැඩසටහන තුළ ඒ පුද්ගලයාව අපහසුතාවට පත්වුණා නේද? සියත තුළත් ඔබ එවන් දේ කරනවාද?
අපහසුතාවට ලක්කරනවාය කියන්නෙ මෙහෙමයි. කාත් එක්කහරි සාමාන්‍ය විදිහට කතා කරගෙන ගිහින් ඒ පුද්ගලයාට කියනවා මම මේ ගුවන්විදුලි නාළිකාවෙ පැස්බරා කියලා. ඒගොල්ලො ඒකට ප්‍රතිචාර දක්වලා අවසන් වුණාම අනිවාර්යයෙන්ම ඒ අයගෙන් අහනවා මෙය ප්‍රචාරය කළාට කමක් නැද්ද කියලා. ඔවුන් බොහෝ දෙනෙක් කියනවා නමත් එක්කම ප්‍රචාරය කළාට කමක් නෑ කියා. මිනිස්සු ආසයි එයට. මට බැණල තියෙන්නෙ අතළොස්සයි. ‘හූ ස්පීකිං’ තුන්සීයයකට පමණ කතා කර තිබෙනවා. බැණල තියෙන්නෙ අතළොස්සකට අඩු ගණනක්. සදාචාරාත්මක විදියට අපි නම සඟවනවා. නමුත් ඔවුන්ගේ අවසරය මත පමණයි ඒ වැඩසටහන ප්‍රචාරය කරන්නෙ. එය අපි සාක්ෂියක් ලෙසත් තබාගන්නවා. දුරකථනය විසන්ධි කරන අය හැර බොහොමයක්ම ප්‍රචාරය කරනවට කැමති අයයි සිටින්නෙ. එය කරදරයකට ගත්තට වැඩිය එය විහිළුවකට ගත්තා අපේ අය.
මෙය සාමාන්‍ය විදිය කියන්නෙ ඇත්තටමද?
මම සාමාන්‍යයෙන් විහිළුවෙන්, තහළුවෙන් ඉන්න කැමති කෙනෙක්. මගේ තාත්තිගෙන් තමයි මට ඒ නිදහස්කාමී බව උරුම වුණේ. මම යමක් බරපතළ විදියට ගන්නවා අඩුයි. බරපතළ අඩුකමම තමයි මට වාසියක් වුණේ. මේ විදියට වැඩසටහන ඉදිරිපත් කරන්න වුණත් ඔළුවෙ වැඩි බරක් නැතිකම බලපෑවා.
මේ වැඩසටහන විතරද කරන්නෙ. ආයතනයත් එක්ක බැඳීම තියෙන්නෙ එච්චරයිද?
ඔව්. ‘අරා පැස්බරා’ වැඩසටහනට පමණයි මම සම්බන්ධ වෙන්නෙ. ඕනවට වඩා හැමදේටම යන්න කැමති කෙනෙක් නෙවෙයි. සීමාවකට ඒදේ කරලා කවුරුත් නොදන්න තරමට හැංඟිලා ඉන්න තියෙනවනං ඒකට මම ආසයි. හුදෙකලා වීමක් නෙවෙයි. මට ආදරේ අය ඉන්නවා කියල හිතලා මාව දැක්ක ගමන් මේ පැස්බරා කියල අඳුනගන්න ඕන නෑ. මම ගුවන්විදුලි නිවේදිකාවක්. මම සාමාන්‍ය කෙනෙක් විදියට මිනිස්සු අතරට යන්න පුළුවන්. නිළියකට එහෙම බෑනෙ. මට ඕන කෙනෙක් ළඟට යන්න පුළුවන් මාව මූණෙන් අඳුනන්නෙ නෑ. එය මට පහසුවක්. නිදහසට පහසුවක් වගේම හැමෝගෙම අදහස් දැනගන්න ලේසියි.
සටහන - නිරෝෂාන් ප්‍රේමරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd