(සුජිත් හේවාජුලිගේ )

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම (ඩොලරය ඉහළ යාම) හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑම,විදුලි හා ජල ගාස්තු ඉහළ යෑම සහ අපනයන සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය සැලකිය යුතු අගයකින් වැඩිවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මීට සාපේක්ෂව උද්ධමනයද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි සඳහන්වේ.

ඉන්ධන, ගෑස්, බෙහෙත් වර්ග සහ ආහාර ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය දේ ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ ඩොලර් මගින් වන හෙයින් රුපියල අවප්‍රමාණය වීමේදී මෙරට වෙළඳපොළේ එම භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඔවුහු සඳහන් කරති.

ඉන්ධන මිල ඉහළ යෑම සෘජුවම ප්‍රවාහන ගාස්තු, විදුලි හා ජල බිල්පත් සහ පොදු සේවා මිල ඉහළ යෑමට බලපානු ඇතැයි ප්‍රකාශ කරති.

මේ තත්වය යටතේ සාමාන්‍ය ජනතාවගේ මාසික වියදම දැවැන්ත ලෙස ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

දේශීය නිෂ්පාදකයින්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වා ගැනීමේදී පෙරට වඩා අධික රුපියල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවනු ඇතැයිද සඳහන්වේ.

ඇතැම් අපනයනකරුවන්ට ඩොලරය ඉහළ යාමෙන් වාසි සැලසුණද නිෂ්පාදනයට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඔවුන්ගේ ලාභාංශ සහ නිෂ්පාදන තරගකාරිත්වය බරපතළ අභියෝගයකට ලක්විය හැකි බව මහා බැංකු වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව, අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 345 සීමාව දක්වා ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කරන්නේ ඩොලරය ඉහළ යෑම ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඇතිවුණු ක්ෂණික තත්වයක් බවයි.