(යොහාන් භාසුර)

පානදුර ප්‍රදේශයේ ළමා හා මාතෘ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු පානදුර, සිරිල් ජෑන්ස් මාවතේ නිවසකට  ගිනි තැබීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත ඊයේ (22) මුදාහැරි බව පානදුර දකුණ පොලිසිය පැවසීය.

අදාළ නිවසේ හිමිකරු වන පෞද්ගලික බැංකු නිලධාරියකු සිය නිවසට අදාළ වෛද්‍යවරයා මෙම මස 9 වැනිදා ගිනි තබා ඇති බවට කළ පැමිණිල්ලකට අනුව  වෛද්‍යවරයා පොලිසියට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් ඉන් පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරී බවත් පානදුර දකුණ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

අදාල නිවස අසල නිවසක පදිංචිව සිටින සැකකාර වෛද්‍යවරයා නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවලට ගිනි තැබීමත් සමග නිවසට ද ගිනි ඇවිලී ඇති බවත් මෙම ගිනි තැබීමෙන් සීසීටීවී කැමරාවකට, නිවසේ වයරින් පද්ධතියට දැඩි හානි සහ බිත්තිවලට හානි වී ඇතැයි අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බව එම උසස් නිලධාරියා සඳහන් කළේය.

අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බව කී පානදුර දකුණ පොලිසියේ එම උසස් නිලධාරියා අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බව ද වැඩිදුරටත් කීය.

සැකකාර වෛද්‍යවරයා මැයි මස 9 වැනිදා අලුයම 4.05 ට පමණ පන්දමක් සහ බූලියක් රැගෙන නිවසට ඇතුළු වී සීසීටීවී කැමරාවට ගිනි තැබීමෙන් පසුව නිවසට ද ගිනි ඇවිලි ඇති බවත්  පැය එකහමාරක් පමණ පැවැති මෙම ගින්නෙන් නිවසට ද හානි සිදුවී ඇති බවත් අදාළ නිවසේ හිමිකරු වන බැංකු නිලධාරියා පානදුර දකුණු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

අදාළ වෛද්‍යවරයා පන්දමක් වැනි දෙයකින් සීසීටීවී එකට ගිනි තබන ආකාරය  වෙනත් සීසීටීවී කැමරාවල පටිගත වී ඇති බව ද සඳහන් කරන පැමිණිලිකරු මෙම ගිනි තැබීමට පෙට්‍රල් භාවිතා කර ඇති බව ද සඳහන් කර තිබේ.

පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඩී. උපුල් ප්‍රියංකර මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.