ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා බල ඇණියක් එක් කිරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක වංචාවක් සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුතු වන සමින්ද්‍ර රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද රහස් පොලිසියට නියෝග කළේය.

සිදු වී යැයි කියන දුෂණය හා වංචාව සම්බන්ධයෙන් සමින්ද්‍ර රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කරන බවට මෝෂමක් ගොනුකරමින් රභස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව සැකකරුවකු නම් අත්අඩංගුවට ගන්නා ලෙසට දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා ඇමරිකාවේ පදිංචි බව පැවැසෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගන්නා ලෙසත් රතු වරෙන්තු නිකුත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා බල ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ගනුදෙනුවේදී සිදුවූයේ යැයි කියන වංචාවේ තෙවැනි සැකකරු ලෙස සමින්ද්‍ර රාජපක්ෂ නම් කෙරිණි.

2011-2015 කාලය අතරතුරදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බද සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිශ්ඨාපනය කිරීමේදී අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි කියන රුපියල් කෝටි 26 පමණ මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ කටයුතු සදහා විවධ පුද්ගලයන්ට චෙක් පත් මගින් යොමු කිරීමට උපදෙස් දීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.