(රෝෂන් තුෂාර)

අධිකරණය හමුවේ ඇප අත්සන් කිරීම සඳහා ඉන්දීය ජාතිකයකුගෙන් මුදල් ලබාගෙන , ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ කොළඹ සාංචි ආරච්චිවත්තේ පුද්ගලයන් දෙදෙනකුට වසර දෙකක (2) බරපතල වැඩ සහිත සිර දඬුවම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියම කළේය.

නොහඳුනන පුද්ගලයකුට ඇප අත්සන් කිරීම සඳහා මුදල් ලබා ගැනීම, ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ඊට ආධාර අනුබලදීම චෝදනාවන්ට දීර්ඝ නඩු විභාගයකින් පසුව වරදකරුවන් කළ අලුත් කඩේ අධිකරණයට සංකීර්ණයට යාබද සාංචි ආරච්චිවත්වී පදිංචි හුසේන් මෝහොමඩ් සහ හසිස් මොහොමඩ් විත්තිකරුවන්ට මෙම සිර දඬුවම නියම කළේය.

විත්තිකරුවන් විසින් ව්‍යාජ දිවුරුම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කරමින් අප අත්සන් කිරීමට සූදානම් වන බවට රෙජිස්ට්‍රාර්වරයා කළ කළ පැමිණිල්ලක් අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණයේ පෙනී නොසිටි අතර විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය.

පළමු විත්තිකරුට කුඩා දරුවකු සිටින බැවින් ඒ පිළිබඳ සලකා බලන ලෙස ද පැවසීය.