යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී දස අතේ ණය වී ඉදි කළ නිවහනේ සිටීමට ඩබ්ලිව් ජී පුංචිබණ්ඩාරට වරම් අහිමි වුයේ පෙර ලබා ගත් ණය ගෙවා අවසන් කිරීමටත් කලින්. පවුලේ හත් දෙනකු සමඟ ඔහුට පාරට බහින්නට වුයේ ­හිටි අඩියේ සිය නිවහන ඉරි තලා බිත්ති පැලී ඈත්වී යෑම නිසාය. දවල්ට නිවසින් පිටත් වී එළියේ පුටු කිහිපයක් තබාගෙන නිවස දෙස බලා සුසුම් හෙළන පුංචිබණ්ඩාර ඇතුළු පවුලේ උදවිය රාත්‍රියට වෙනකකුගේ නිවසකට ගොස් නිදි නැතිව නිවස ගැන සිතිවිල්ලේ සිටිති.

නිවාස ඉරි තැලීම ගැන පුංචිබණ්ඩාර මහතා ඇතුළු ඔහු පදිංචි බණ්ඩාරවෙල උඩපේරුවේ පවුල් තිස් පහක පමණ උදවියගේ ඇඟිල්ල එල්ල වෙන්නේ උමා ඔය ව්‍යාපෘතිය දෙසටය. උමා ඔය ව්‍යාපෘතිය යනු බණ්ඩාරවෙල ඔස්සේ ගලා බහින උමා ඔය පුහුල්පොළින් හරස් කර වේල්ලක් බැඳ උමඟක් හරහා වැල්ලවාය පාරේ කරඳගොල්ලට ජලය ගෙන යන ව්‍යාපෘතියකි.

උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු කිහිපයක් වෙයි. පළමු අරමුණ මොනරාගල සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශයට පානීය ජලය සැපයීමයි. එමෙන්ම තනමල්විල ඔස්සේ කුඩා ඔය, කිරිඳිඔය ඇතුළු ඔයවල් කිහිපයක ජල ධාරිතාව වැඩි කර ගොවිතැනට ජලය සැපයීම තවත් අරමුණකි. එමෙන්ම ජල විදුලි ජනනය තවත් අරමුණකි.

ජලය ගෙන යෑමට හදන උමඟේ වැඩ මේ වන විට සියයට 75ක් පමණ අවසන් බව ව්‍යාපෘතියේ නිරත නිලධාරියෙක් කීවේය. අඩි 153ක් දිග උමඟේ පළල මීටර 15කි. උස මීටර 12කි.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානම චෝදනාව වන්නේ මේ උමඟ නිසා නිවාස ගිලා බහින බවයි. ව්‍යාපෘති නිලධාරියකු කීවේ නවීනතම කැණීම් යන්ත්‍ර යොදාගෙන කරන ගැනීම් වලදී දෙදෙරුම්කෑම අඩු බවයි. මුලින් ගල් කඩා උමඟ සකස් කර ඉන් පසු එම උමං බිත්ති බැඳ මීටරයෙන් මීටරය ඉදිරියට යන බව ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලයෙක් කීවේය.

බණ්ඩාරවෙල එම් එම් කපිල බණ්ඩාර සහ බී කේ ශ්‍රියා කාන්ති අඹුසැමියෝ ය. ඔවුන්ගේ රැකියාව ගොවිතැනයි. කපිලගේ පවුලම කබලෙන් ලිපට වැටී ඇත්තේ පසුගිය 31 වැනි දා රාත්‍රියේ හදිසියේම නිවසේ බිත්ති පිපිරීමට පටන් ගැනීමෙන් පසුවය.

’31 වැනිදා රෑ හයියෙන් සද්දයක් ඇහුණා. උදේ දොර වහන්න හදද්දි වහන්න බෑ. දොර වහන්න බැරි ඇයි කියා බලනකොටයි දැක්කේ බිත්තිය ඉරිතලලා. එන්න එන්නම පැල්ම ලොකු වුණා. ගෙයි බිත්ති කිහිපයක් දැන් පැළිලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඇවිත් අපට කිව්වා හැකි ඉක්මණින් නිවසෙන් පිටවෙන්න කියලා. හැබැයි යන්න තැනක් කිව්වේ නෑ. අපි කොහේ යන්නද? කපිල බණ්ඩාර සහ ශ්‍රියාකාන්ති ප්‍රශ්න කළහ.

ඉරි තලා දෙබෑවෙමින් යන බිත්ති දෙස බලා ඔවුන් හූල්ලන්නේ හැකි ඉක්මණින් සහන ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලමිනි.

යුද හමුදාවේ හිටපු සාමාජිකයකු වූ ඩබ්ලිව් ජී පුංචි බණ්ඩාරගේ නිවස පමණක් නොව ළිඳද ඉරි තලා ගොස් තිබිණි.

‘හිටි හැටියේ මාස කිහිපයකට කලින් ළිඳ ඉරි තැලුවා. වතුර කඳුලක්වත් නැති වුණා. මහා පෑවිල්ලකවත් මෙහෙම වෙලා නෑ. ප්‍රදේශයේ ඔක්කොම ළිංවල වතුර නැතිව ගියා. යළි වතුර ඉනුවෙත් නෑ. ළිං පතුලේ ඉඳන් පැළිලා. සතියකට සැරයක් වතුර ලීටර දහසක් පමණක් දෙනවා. එය දින තුනකටවත් ගෑවන්නත් මදි. ඒ වතුරත් බොන්න බෑ. වතුර පුරවා ගන්න උමා ඔය ව්‍යාපෘතියෙන් ටැංකියක් දුන්නා. වතුර හොයාගන්නත් ලොකු මහන්සියක් වෙන්න ඕනෑ.‘ යැයි පුංචි බණ්ඩාර කීවේය.

ඒ ටී එම් කරුණාරත්න මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. ගොවි සමිතියේ සභාපතිවරයා ද ඔහුය. කරුණාරත්න මහතා මිදුළේ තිබූ පැලුම් රේඛාවක් පෙන්වමින්  කීවේ නිවාසවල බිත්තිවලට අමතරව මහ පොළවේද තැනින් තැන ඉරි තලා ගොස් ඇති බවයි.

‘බිමත් ඉරි තලලා. දිග කෝටුවක් ඇතුළට දැම්මාම ඒක ඉවර වෙනකම්ම යටට යනවා. කොයි තරම් යටට මේ පුළුම තියෙනවාද දන්නේ නෑ. මුලින් යන්තම් ඉරක් තිබුණේ. දැන් පැලුම් ලොකු වෙලා. වෙනත් තැන්වලත් ඉරිතලා පැලුම් ඇති වෙලා. මේවා අපේ මුතුන්මිත්තන් දීපු ඉඩම්. අපේ දරු මුනුබුරන්ටවත් ජීවත් වෙන්න තැනක් නැතිව යනවා.‘ යැයි කරුණාරත්න මහතා පැවසීය.

උඩපේරුවේ ඉරි තලා ගිය නිවාස ගණන 35ක් පමණ වේ. ඉන් නිවාස පහක් පමණ දරුණු ලෙස ඉරිතලා පැලුම් සිදුවී තිබේ. එක් නිවසක සාලයේ කොටසක් අඩියක් පමණ ගිලා බැස තිබිණි.

උපන් ගම්බිම් හි බියෙන් සහ චකිතයෙන් ජීවත් වෙන මේ සියලු දෙනා හැකි ඉක්මණින් සහන බලාපොරොත්තු වන්නේ යන එන මඟක් නොමැති හෙයිනි.  හදිසියේ ඇති වූ විපත ගැන ගමේ බොහෝ දෙනාගේ ඇගිල්ල දික් වනුයේ උමා ඔය ව්‍යාපෘතිය දෙසටය.

007 008 009 010 001 002 002-2 003 004 005 006