(අංජුල මහික වීරරත්න)

පාසල් වල සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස තමා සංවර්ධන නිලධාරීන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

දින කිහිපයක් තිස්සේ ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවයක නිරත පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (3)පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය අනුව මෙම හමුව පැවැත්විණි.

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව මෙහිදී දීර්ඝ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා එම සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සඳහන් කළේය.

මෙහිදී සංවර්ධන නිලධාරී නියෝජිතයින් පැවසූයේ පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණදී සිටින බවයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහත්වරු ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.