
(දිනේෂ් සමරකෝන්)
78 වැනි නිදහස් සැමරුම හුදු නිදහස් සමරුවකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩ නැගීමේ දැවැන්ත වැඩපිළිවෙලක් සහිතව මෙවර නිදහස් දිනය සැමරීමට සිදු වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
‘ගොඩනගමු ශ්‍රී ලංකා’ යන තේමාව යටතේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී මෙවර නිදහස් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (29) හෙතෙම මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය උවදුර, ආර්ථික බිඳවැටීම, ජීවන තත්ත්වයේ බිඳවැටීම ඇතුළු විවිධ තත්ත්වයන් යටතේ සමාජය තුළ පරිහානී ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන බැවින් නව නිදහස් අරගලයක් අවශ්‍යතාව දැඩි ලෙස තිබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සැබෑ නිදහස ගොඩනගා ගැනීමට මූලික වශයෙන් සාමය අවශ්‍ය වන බවත්, එහිදී ජාතීන් අතර සංහිඳියාව සහ ජාතික සමගිය ගොඩනැගීම අවශ්‍ය බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම මූල්‍ය විනය ශක්තිමත් කිරීම තුළ අර්ථවත් නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන බව ද අමාත්‍ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන අතර, ඊට සියලුම මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන්, විදේශ දූත මණ්ඩල නියෝජිතයන්ට ආරාධනා කර ඇති බවත්, කෙසේ වෙතත් විශේෂිත වූ ආරාධිතයන් සහභාගී නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, එහිදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය මෙරව නිදහස් උත්සවය සඳහා අය වැයෙන් රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර ඇති බවත්, පසුගිවර නිදහස් උත්සවයට රුපියල් මිලියන 69ක මුදලක් වැය වූ අතර, මෙවරද ඒ හා සමාන මුදලකින් නිදහස් උත්සවය පැවැත්වීමට කටයුතු කරන බවත්ය.
එමෙන්ම පසුගියවරට සාපේක්ෂව මෙවර ආචාර්ය පෙළපාලියේ ආකෘතිකමය වෙනසක් තිබෙන බවත්, වියදම, කාලය ඇතුළු කරුණ සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවත් ඔහු පැවසීය.
මේ අතර, එහිදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේ නිදහස් දින පෙළපාලියට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් හමුදා නිලධාරීන් 234ක් , සෙසු නිලයන් 3,323 ක් සහ ජාතික ශිෂ්‍යබට බලකායේ නිලධාරීන් 12ක්, ශිෂ්‍යබටයන් 479ක් සහභාගී වන බවය.
ඊට සමගාමීව නාවික හමුදාව විසින් නිලධාරීන් 12 ක් සහ සෙසු නිලයන් 80ක සහභාගීත්වයෙන් ගාලුමුවදොර පිටියේදී සම්ප්‍රධායානුකූලව සම්මාන වෙඩි මුරයක් පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.
එමෙන්ම ගුවන් හමුඳාව විසින් ජාතික ධජය පෙරදැරි කර ගනිමින් ගුවන් හමුදාවේ බෙල් හෙළිකොප්ටර් යානා 3ක් ගුවන් ගතවීමට ද සැලසුම් කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
නිදහස් උත්සවයට සමගාමීව ජනවාරි 30, 31 සහ පෙබරවාරි 1,2 යන දින 4 තුළ කොළඹ නිදහස් චතුර පරිශ්‍රයේදී පෙරහුරු පැවැත්වෙන බව ද ඔහු පැවසීය.
මේ අතර, එහිදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ 78 වැනි නිදහස් සැමරුම සඳහා විශේෂ රථවාහන සැලැස්මක්, ආරක්ෂක සැලැස්මක් සහ මහජන පාලනයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවය.
එමෙන්ම දිවයිනපුරා පිහිටි දිසාපති කාර්යාල වල පැවැත්වෙන නිදහස් උත්සව වල ආරක්ෂාව සැපයීම සහ එම ස්ථාන වල පැවැත්වෙන සෙසු මහජන සුබසාධන කටයුතු වලට ශ්‍රී ලංකා පොලීසිය ඍජු මැදිහත්වීමක් සිදු කරන බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd