(යොහාන් භාසුර)

මුල් ළමාවිය මධ්‍යස්ථාන භෞතික වශයෙන් ගුණාත්මක කිරීම මෙන්ම පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ප්‍රමිතිගත කිරීම සහ වඩාත් ගුණාත්මක සේවයක් බවට පත්කිරීමට රජය කටයුතු කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (29) පැවසුවාය.

රත්නපුර දිස්ත්‍රික් මුල් ළමාවිය දරුවන්ගේ රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද (29) පැවැති සාකච්ඡාවේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය එසේ පැවසුවාය.

2027 වර්ෂයේ සිට පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව කී පෝල්රාජ් මහත්මිය පෙර පාසල් ගුරුභවතුන්ට සහ මුල් ළමාවිය නිලධාරීන්ට පවතින් ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව ද සඳහන් කළේය. සේවා සැපයීමේදී මුහුණ දෙන අභියෝග සහ මුල් ළමාවිය සංවර්ධන සහ රැකවරණ ක්ෂේත්‍රයන් වඩා ගුණාත්මක කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළාය. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලූෂා ගමගේ මහත්මිය, සබරගමුව පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ, සබරගමුව පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්, සබරගමුව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියට අනුබද්ධිත ව්‍යාපෘති නිලධාරීන් සහ පෙර පාසල් ගුරුවරු ඇතුළු විශාල පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවූහ.