පාර දිගේ ඇත් ගමනින් පැමිණි කිරි පැහැති බෙන්ස් රථය පතරංග යකඩ ගේට්ටුවක් ඉදිරිපිට නැවතී දෙපාරක් නලාව හැඬවීය. විනාඩි දෙක තුනක කාල පරාසයකින් දිව ආ වයස හැට පහක පමණ ගැහැනියක් විවර කළ ගේට්ටුවෙන් ඇතුළු වූ රථය පැරණි පන්නයේ විශාල නිවසේ පෝටිකෝව යට නතරවිය. රියදුරු අසුන පැත්තේ දොර විවෘත වී එළියට බැහැගත් මැදි වයසේ පසුවන රියදුරු වටෙන් දුව ගොස් පිටුපස වම් පැත්තේ දොර ඇරියේය.

" ලසන්ත, ඔය බෑග් ටික සාලේ මේසය උඩින් තියන්න. "
           කියාගෙන රථයෙන් බිමට බැස්ස වසුන්දරා කඩිසරව ගෙට ඇතුළු වූවාය. වෙලාව හවස තුන පමණ වුවත් පරිසරයේ පැවතියේ දරාගත නොහැකි උණුසුමකි. ඔසරි පොටින් පවන් සලමින් වසුන්දරා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳගත් නිසා වහාම විදුලි පංකාව ක්‍රියාත්මක කළ ජයන්තී,
සුදු හාමිනේට බොන්න මොනවාහරි ගේන්නදැයි ඇසුවාය. 

" මට වතුර එකක් ගේන්න ජයන්ති.
ඇඟ හෝදගෙන කාලම ඉන්නවා. හරි බඩගිනී.
ගිනි අව්වේ එහාට මෙහාට ඇවිදලා මට නිකං කරකැවිල්ල වගේ.
ලසන්තටත් කන්න දෙන්න.
ජයන්ති කාලද? 
 අනිත් අතට වසුන්දරා ඇසුවාය.

" ඔව් ,බලා ඉඳලා මම කෑවා.
ටවුමේ සෙනගද සුදු හාමිනේ."
    ජයන්ති ඇසුවේ පීරිසියක තබාගෙන ආ වතුර වීදුරුව වසුන්දරා අතට දෙන ගමන්ය.

" පුදුම සෙනගක් ජයන්තී .
  කොහෙන් එන සෙනගද දන්නේ නැහැ.
බැංකුවට ගියා. එතැනත් පෝලිම. මම නම් හැමදාම යන කඩයට ගිහින් අපි දෙතුන්දෙනාට ඇඳුම් තෝරගෙන ආවා මිසක් කඩ ගානේ ගියේ නැහැ. අනිත් බඩු ලසන්ත අරගෙන එනකම් මම කාර් එකට වෙලා වාඩි වෙලා හිටියා.
ලසන්තගේ දරුවන්ටයි නෝනටයි ඇඳුම් ගන්න කියලා සල්ලි දුන්නා .
කිරි කපන කට්ටියට ඇඳුම් ගන්න කලින්ම සල්ලි දුන්න එක හොඳට ගියා.
මට දැන් ඕවා කරන්න බැහැ ජයන්තී. 
මිනිස්සුන්ට සල්ලි නෑ, නෑ කිව්වට රෙදි කඩවල පෝලිම."

" හුඟක් මිනිස්සු රෙදි කෑල්ලක් ගන්නේ අවුරුද්දට විතරයිනේ. වැඩ කරන තැන් වලින් බෝනස් එහෙමත් හම්බවෙනවා කියන්නේ. ඉතින් වන්දනාවේ යන්න වගේ රෙදි කඩවලට රිංගනවා."
       ජයන්ති කීවේ හිස් වීදුරුව අතට ගන්නා ගමන්ය.

" එක අතකට අපිට  ඕවයේ ගානක් නැති වුණාට දරු මල්ලෝ නෑදෑයෝ ඉන්න අයට අවුරුද්දක් ලබනවා කියන්නේ සතුට ගේන දෙයක්."
      සුසුමක් හෙලූ වසුන්දරා ගෙතුළට ගියේ ඇඳුම් මාරු කර, ඇඟ සෝදාගැනීමටය.
          උදේ හත, හතහමාර වන තුරු නිදාගැනීම වසුන්දරාගේ සිරිතය. වසුන්දරා නැගිටීමට පෙර නිවෙස අතු පතු ගා උදේ කෑමද මේසයට ඇර ජයන්ති බලාසිටින්නේ උණු උණුවේම කිරි කෝපි එක සාදා දෙන්නටය. ඒත් එදා ජයන්තී පුදුම වුණේ හය හමාරටත් කලින් කුස්සියේ දොරකඩ පෙනී සිටි වසුන්දරා දැකීමෙන්ය. 

" ඇයි සුදු හාමිනේ, නින්ද ගියේ නැද්ද? 

" කොහෙ නිදාගන්නද? 
කන ළඟින්ම වගේ උණ වෙඩි පත්තුවෙන්න ගත්තනේ."

" ඔය රමණිලගේ ගෙදර පොඩි එවුන්.
ඊයේ හවස ඉඳලම මම දැක්කා උණ බටයක් වට කරගෙන ගිනි පිඹිනවා. රමණිගේ නඩේම අවුරුද්දට ගමට ඇවිල්ලා. දරුවොයි, දරුවන්ගේ දරවොයි එකතු වුණහම රමණිට ගෙදරම අවුරුදු උත්සවයක් වුණත් තියාගන්න පුළුවන්. "

           ජයන්තී හදා දුන් කිරි කෝපි එකත් අරගෙන ඉස්තෝප්පුවට ගිය වසුන්දරා හාන්සි පුටුවේ ඉඳගත්තාය. ලසන්ත මිදුල අතුගායි. වේලුණු කොළ සර සර ගා මිදුල පුරා දුවයි. ඒ එක කොළයකටවත් බේරී යන්න නොදෙන ලසන්ත ඉදලෙන් මට්ටු කර මිදුලේ තැන තැන ගොඩවල් ගසයි. අඹ ගස්වල අඹ පිරිලාය. උදේට හොඳ අඹ වගේම අඹ කොටත් කූඩයක් පිරෙන්නට ඇහිලිය හැකිය. තාප්පය අයිනේ ඇති අඹ ගස් තුන හතර බදු ගන්නට කීපදෙනෙක් ආවත් වසුන්දරාට දෙන්නට හිත දුන්නේ නැත. පාරට වැටෙන ගෙඩි අහල පහල ළමයින්ටත් ඉතිරිය කුරුල්ලන්ට,ලේනුන්ට හා වවුලන්ටත් වෙන්කර තබන්නට වසුන්දරා කැමතිය. උදේට ඇහිඳගන්නා අඹ පමණක් හවසට ලසන්ත ගෙදර යන විට රැගෙන යයි.
           අඹ ගස්වලට වසුන්දරාට වඩා වයසය. පුංචි කාලයේ අයියලා තුන් දෙනාටත් වසුන්දරාටත් තාත්තා අඹ කපලා දෙන්නේ ඉදුණු අඹ කූඩයක් ළඟ තබාගෙනය. ඒත් ඉඳහිට කන අඹයක දැන් ඒ රසය නැත්තේ ඇයි දැයි වසුන්දරාට හිතාගන්නට බැරිය.
            පාර පැත්තෙන් වීසිවී ආ පොලු කෑල්ලක්  අඹ වල්ලකට වදිනුත් අඹ පොකුර කැඩී වීසිවෙනුත් වසුන්දරා බලාගෙනය. අඹ වල්ල වැටෙනවත් එක්කම කලබල වූ ලසන්ත ගේට්ටුව ඇරගෙන පාරට පැන කොල්ලන් රොත්තක් පසුපස එළවාගෙන ගියේ වටු රැලක් පසුපස පන්නන වටු වැද්දෙකු වාගේය. කොල්ලන් රැළම රිංගා ගත්තේ රමණිගේ වත්තටය. වසුන්දරාට හිනහය. ඒ රමණීගේ මුණුබුරන් වන්නට ඇත.

" මූං නම් කොල්ලෝ නෙවෙයි මාරයෝ."
      ඉදලත් වනමින් ලසන්ත ගේට්ටුව වසා දමන්නේ රමණිලාට බනිමින්ය.

" ඔන්න ඔහේ කමක් නෑ ලසන්ත.
පොඩි එවුන් නේ."

" එහෙම කියලා බෑ මැඩම්. දැන්ම බය කරලා තියාගත්තේ නැත්නම් පස්සට මේවායේ වසන්න හම්බවෙන්නේ නැහැ."

කම්මැලිකමට ෆෝන් එක අතට ගත් වසුන්දරා එහි උඩ පහල ගියාය. අවුරුදු සුබ පැතුම්, අවුරුදු සිංදු, වෙළෙඳ වාසි, ගවුම් මෝස්තර විතරක් නොව රස කැවිලි සාදන පහසු ක්‍රමවලින් ෆෝන් එක පිරිලාය. 

" අපිත් තෙල් තාච්චියක් ළිපේ තියන්නේ නැද්ද සුදු හාමිනේ ?"
    ජයන්තිගේ හඩින් හිස ඔසවා බැලූ වසුන්දරා මොහොතන් නිහඬව සිටියාය.

" අපි දෙන්නටම සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්.
ඒත් මොනවා කරන්නද ?
කොකිස් ටිකක්වත් හදමු."

" අද දහ තුන.හෙට දාහතර. හෙට තමයි අවුරුදු.
එහෙනම් දවල්ට උයලා ඉවරවුණු ගමන් මම හාල් ටිකක් දියේ දාන්නම්. රෑට කොකිස් බදිනවා."
ජයන්තිගේ මුහුණේ සතුටු හිනාවකි.
 
" මම බ්ලෙන්ඩර් එකේ පිටි ටික කොටලා දෙන්නම්. ජයන්ති මෝල් ගස් උස්සගෙන දඟලන්න ඕනෑ නැහැ. "
         
          දහවල් කෑමෙන් පස්සේ ලසන්ත සූදානම් වූයේ වේලාසන ගෙදර යාමටය.

" මං නැතිව මැඩම්ලට දවස් තුන හතරක් ඉන්න වෙනවා. අපේ එක්කෙනාගේ ගමේ ගිහින් එන්නත් හිතාගෙන ඉන්නවා."
    ලසන්ත කීවේ වසුන්දරාට වඳින ගමන්ය.
     හාල්, පොල්, සිල්ලර තුනපහ පමණක් නොව සැලකිය යුතු මුදලකුත් වසුන්දරා ලසන්ත අත තැබීය.

" කමක් නෑ ලසන්ත. අපි දෙන්නා මේ වැඩ ටික බලාගන්නම්.
අනිත් එක මට විශේෂ ගමනකට තියෙන්නේ පන්සලට යන එක  විතරයි. පන්සලට නම් මටයි ජයන්තිටයි පයින් ගිහින් එන්න පුළුවන්.
මොකෝ මගේ අයියලගේ ගෙවල්වල යන්න කියලයැ. "
            ලසන්තත් නික්ම ගිය පසුව නිවසේ රජයන්නට වූයේ වෙනදා නොදුනුණු පාළුවකි. බාහිර පරිසරය නැවුම් බවකින් කුළුගැන්වී තිබුණත් වසුන්දරාට දැනුණේ තමන් දෙදෙනා පමණක් හුදෙකලා දූපතක තනිවී ඇති බවකුයි. තැනින් තැන රතිඤ්ඤා පිපිරෙන සද්දය, සුළඟට මුසුවී එන කැවිලි සුවඳ, ඈත ලවුඩ්ස්පිකරයකින් ඇසෙන අවුරුදු ගීතය පමණක් නොව සති කීපයක සිට වසුන්දරාලාගේ වත්තේ නැවතී සැරින් සැරේ අවුරුදු මතක් කරන කොහාගේ සද්දයද අයිති වන්නේ ඒ දූපතෙන් එහා ලෝකයටය.
           වසුන්දරා ඇඳේ ඇලවූණේ මහන්සියට නොව පාළුවටය. රමණිලාගේ ගෙවල් පැත්තෙන් ඇහෙන්නේ කැට පෙරළන හඬකි. රමණීගේ දරු මුණුබුරන් කැට ගසනවා වෙන්නට ඇත. 
ඒ අතරින් බිලිඳකු කෑ මොර දෙන හඬක්ද විටින් විට වසුන්දරාට ඇසේ. 

" අර චූටි ගෙයි ඔය තරම් රොත්තක් රිංගගෙන ඉන්නකොට පොඩි එකාට රස්නේ ඇති. "
         ඒත් ඒ බිලිඳු හඬින් තමන්ගේ හදවතේ සියුම්ම තැනක් පහුරු ගානවා වගේ දැනුනෙන් , වසුන්දරා කෙලින් වී ඇඳ විට්ටමට කොට්ටය තබා එයට හේත්තු වූවාය.
              වසුන්දරා, පුතුන් තිදෙනෙකුට පසුව සිරිමාන්න පවුලට ලැබුණු එකම දියණියයි. විදුහල්පති වරයෙකු වූ සිරිමාන්න මහතාත් ගුරුවරියක වූ තිලකලතා ඉස්කෝලේ හාමිනේත් ඇහැක් වගේ වසුන්දරා බලාගත්තේ තම පවුලේ ගෞරවය වාගේම බැබලීමත් වසුන්දරා ලෙස සලකමින්ය. අයියලා තුන්දෙනා කොළඹ ඉස්කෝලවල නේවාසිකව ඉගෙනගත්තත් වසුන්දරා ආසන්න නගරයේ බාලිකාවට ගියේ තිලකලතා ඉස්කෝලේ හාමිනේ එහිම ගුරුවරියක වූ නිසාය. ගෙදර වාහනයෙන්ම යන එන වසුන්දරා ගමේ අය සමග වැඩි ඇසුරට නොවැටුණේ ඇගේ ආඩම්බරයක් නිසා නොව ඒ සඳහා ඇයට අවස්ථාවක් නොලැබුණු නිසාය.
              පාසලේදී ඇසුරට කොතෙකුත් මිතුරියන් හිටියත් කුඩා වසුන්දරා ගෙදර ආවේ අල්ලපු වත්තේ රමණී සමග සෙල්ලම් කිරීමට බලාගෙනය. රමණීද වසුන්දරාගේ පෙළේමය. වසුන්දරාලාගේ වත්තක කිරි කැපූ රමණීගේ මවුපියන්ට දරුවකුට හිටියේ රමණී පමණි. රමණී ගියේ ගමේ ඉස්කෝලෙටය. 
             සාමාන්‍ය පෙළ ලියා ගෙදර නැවතුණු රමණී රෙදි වියන තැනක වැඩට යද්දී උසස් පෙළ හොඳින් සමත්වූ වසුන්දරා විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. වැඩට යද්දී හඳුනාගත් කපිල සමග රමණී පැන ගිය බවත් දරුවකු ලැබීමට ඉන්නා නිසා නැවතත් කපිල සමගම නිවසට පැමිණ සිටිනා බවත් ආරංචි වූයේ වසුන්දරා පේරාදෙණියේ සිට නිවාඩුවකට පැමිණ සිටි වෙලාවකය.
            වසුන්දරා රමණී බලන්නට ගියේ අම්මා එපා කියද්දීය. වැහැරණු ශරීරයත්, නෙරා ආ කුසත් දරාගෙන රමණී පොල්කිච්චියක මෙන් සිනාසුණා වසුන්දරාට මතකය. පේරාදෙණියෙන් හෝ වසුන්දරාට පෙම්වතෙක් සොයාගැනීමට බැරි වුයේ මන්තරයක් ජප කරනා ලෙස අම්මා මැතිරූ උපදෙස් මාලාව නිසාය.

" ඕවයේ නෑ අපිට ගැළපෙන අය.
මුලින්ම බලන්න ඕනෑ පෙළපත.
ඊළඟට යමක් කමක් තියෙනවද කියන එක.
බොන කන අය නම් අපිට හරියන්නේ නැහැ. "
              අවසානයේ වසුන්දරා පේරාදෙණියේ සිට ආවේද ගියා වාගේම තනිකඩවය. තාත්තාගේ මැදිහත් වීම නිසා පත්වීම ලැබුණේද නිවසේ සිටම යන දුරක තිබූ ඉස්කෝලෙකටය.
          කපුවන්ගේ යාම් ඊම්, හෙප්පු ඇල්ලිලි, කැම මේස ඇරිලි, අතරම කාලය ගෙවී ගියේ කාටත් හොරාය. වසුන්දරාගේ කේන්දරයේ සෙනසුරු හිටියේ ඉන්නට ඕනෑ තැන නොව සෙනසුරුට ඕනෑ තැනය. කුජ හතේ පදිංචි විය. එන එන කේන්දර ප්‍රතික්ෂේප විය. හරියන කේන්දරවල අයිතිකාරයෝ වසුන්දරාට හරි ගියේ නැත. ඔය අතර රමණීගේ පවුල දරුවන් හය දෙනෙක් දක්වාම පුළුල් විය.

" අයියලගේ යුතුකම තමයි තමන්ට කලින් නංගිව බන්දලා දෙන එක. "
         වසුන්දරාට අවුරුදු විස්සේදී තාත්තා කිව්වේ එහෙමය. ඒත් මුලින්ම පෝලිමෙන් පිට පැන්නේ දෙවෙනි අයියාය. වසුන්දරාට තිහ වෙනකොට අයියලා තුන්දෙනාම විවාහකය. වසුන්දරාට හතළිහ වෙනකොට අයියලා රට හැරගොස්ද අවසන්ය. ඉන් පසු එළැඹියේ අම්මාත්, තාත්තාත් මාරුවෙන් මාරුවට ලෙඩ වෙන කාල පරිච්ඡේදයය. ඒ වන විට වසුන්දරා තවමත් ගෙදර බව අයියලාට මෙන්ම අම්මලාටත් අමතකවී ගොස්ය. ආම්මාගෙත් තාත්තාගේත් ලෙඩ ඇඳන් ළඟ හිඳ සත්කාර කරද්දී වසුන්දරාට හිතුණේ හිතා මතාම තමන් ගෙදර රඳවාගත් බවක්ය.
               වසුන්දරාට පනහා වෙද්දී අම්මත්, තාත්තත් පරලොව ගියේ මහා ගේ පත්තන්දරයක්, දේපළ නඩු අටෝරාශියක් වගේම ජයන්තීද වසුන්දරා පිට පවරාය. දේපළ නඩු බේරුමක් කර අයියලාගේ කොටස් වෙන්කර පිළිවලක් වන විට වසුන්දරාට විශ්‍රාම යන කාලය හරිය. මෙනවියක් ලෙස ගුරු සේවයට එක් වූ වසුන්දරා මෙනවියක් ලෙසම අවුරුදු හැටේදී විශ්‍රාම ගියාය. වසුන්දරාට උරුමවූ ගොඩ මඩ ඉඩකඩම්වල වැඩට කිහිපදෙනෙකු හිටියත් රබර් කට්ටිය බලාහදා ගන්නේ රමණීත්, කපිලත්ය. තවමත් රමණීත් වසුන්දරාත් අතර කුඩා කල ඇල්ම ඒවාගේම පැවතියත් එය පෙන්වීමට දෙදෙනාම ඉක්මන් වන්නේ නැත.
          දෙදෙනාම එක්වී කොකිස් ටික බැදගන්නා විට රෑ දහයද පසුවෙලාය. කොකිස් බදිද්දී හැමූ තෙල් සුවඳ ගේ පුරා විහිදුනේ එතෙක් අරක්ගෙන තිබූ පාළුව අඳුර එක සැණින් පලවාහරින්නට මෙන්ය. ළිප ගිනි මෙලවීමේ නැකත තිබුණේ පසුදා උදෑසන දහයයි හතළිස්පහටය. අනුභවය තිබුණේ දොළහයි දහයටය. උදෙන්ම ජයන්තී සමග පන්සල් ගිහින් ආ වසුන්දරා ජයන්තී ආහාර පිසින තුරු රූපවාහිනියේ රට වටා අවුරුදු සිරි නැරඹුවාය. නැකතට ගම පුරාම රතිඤ්ඤා පත්තුවූවත් රතිඤ්ඤා පත්තුනොවූයේ වසුන්දරාලාගේ නිවසේ පමණි. ඒ අඩුව පුරවන්නට මෙන් රමණිලාගේ නිවසින් ඉහළ නැගි අහස් කූරු දෙක තුනක් පුපුරා ගියේ වසුන්දරාලාගේ වහලය උඩය.
                දවල්ට කිරිබත් කෑ පසු වසුන්දරාට මෙන්ම ජයන්තිටද දැනුණේ අලස නිදිමත ගතියකි. ඇඳට ගොස් නිදාගන්නට හිතුණත් මේ අවුරුදු දවසේ අවේලාවේ නින්ද හොඳ නැතැයි සිතූ වසුන්දරා තමන්ගේ සුපුරුදු හාන්සි පුටුවේ දිග ඇදුණාය. ජයන්තිත් පැමිණ ඉස්තෝප්පුවේ පඩිය උඩ වාඩිවූයේ බණ පොතක් කියවන්නටය. ඇහැ පියවීගෙන එද්දීම වසුන්දරාට ඇහැරුණේ ගේට්ටුවේ කොක්ක පන්නන සද්දයටය. වසුන්දරා කෙලින් වී පුටුවේ වාඩිවුයේ පැමිණෙන්නේ කවුදැයි බැලීමටය.
            ආවේ රමණිය. රමණී අතේ සුදු රෙද්දකින් වැසූ කැවිලි පිඟානකි. ඒ පස්සෙන් පොඩි කොලු, කෙලි පෙරහැරකි. රැගෙන ආ කැවිලි පිඟාන ජයන්තී අතට දුන් රමණී පඩිය උඩින්ම වාඩිවූවාය.

" රමණිට අවුරුදු ජය වගෙයි ."

" අනේ මොන ජයක්ද සුදු හාමිනේ.
මෙන්න මේ ළමයි ටික ගෙදර ඇවිත් ඉන්නවා."
           උඩු ඇන්දේ ඉස්සරහම දතක අඩුව පෙන්වමින් රමණී සිනාසුනාය. 

" තෑගි එහෙමත් ලැබෙන්න ඇතිනේ."

" අපෝ ඔව්.
මටයි, ළමයින්ගේ තාත්තටයි උන්ට පුළුවන් හැටියට තෑගි බෝග අරගෙන ආවා. ඒවයින් නම් අඩුවක් නැහැ. දෙයියනේ කියලා උන් කාටත් දැන් හොඳයි. "
     රමණී නැවතත් සිනාසුණාය.
         ඒ අතර මිදුලේ පොල්කිච්චන් මල්ල පොළොවේ ගැසුවාක් මෙන් සද්දයකි. රමණී සමග පැමිණි කොලු කෙලි රැළ අඹ ගස් දිගේ බඩගායි. මිදුලේ කොටු පනී. දෙන්නෙක් ගේට්ටු පලුවක නැග එය එහාට මෙහාට පද්දයි. මෙතෙක් එන්නට අමතකව තිබූ අවුරුදු වසුන්දරාලාගේ වත්තට ඇවිත් ඇත්තේ දැන්ය.

" ජයන්තී, මේ දරුවන්ටත් එක්ක තේ ටිකක් වක්කරන්න.
අපි හදපු කොකිසුත් ගේන්න.

කනුවකට අත ගසා පඩිය උඩින් නැගිටගත් ජයන්තී ගෙතුලට ගියේ හිනා කටක් පුරවාගෙනය.

 

ෂර්මිලා බංදුනී දංවත්ත