
උදෑසන නින්දෙන් ගැස්සී ඇහැරුණේ යමක් බිම වැටෙනා හඬිනි.
" ලොකු බබා
බින්දා නේද කෝප්පේ.
කිරි ටිකත් අහක.
දැන් ලොකු ළමයෙක් නේද?
තවම කිරි ටික වත් බොන්න බැහැ තනියම."
ඇනෙක්සිය වෙන් කරන බිත්තියේ අනෙක් පසින් ඇසෙන්නේ පුපුරා හැලෙන ගැහැනියකගේ කෝපයයි.
නිදහස අගයමින් නිවෙසින් පිටව ආ මම නිස්කලංක පරිසරයක ඇනෙක්සියක් සොයාගත්තේ බොහෝ වෙහෙස වීමෙන් අනතුරුවයි. නොවටිනා ගණනක් මාසයකට ගෙවා වුවත් මෙය මගේ වැඩ කටයුතු සඳහා බෙහෙවින්ම ගැළපෙන්නකි.මා මෙහි පදිංචියට එන කාලයේ යාබද නිවස තිබුණේ හිස්වයි.
වැඩ ඇරී ආ පසුවත් මාහට කිරීමට බොහෝ රාජකාරි තිබේ. ලේඛිකාවක ලෙස යම් තරමක නමක් තිබෙන්නේ මගේ ඒ කැපවීම නිසාමයි. කුටුම්බ පෝෂණය හෝ සම්ප්‍රදායික ගැහැනියකවී එකම රාමුවක කොටු වීමක් කවදාවත්ම මා ප්‍රිය කළේ නැත.
අම්මලා සමග වාසය කරද්දී නිතර නිතරම විවාහය යන මාතෘකාව කරලියට පැමිණෙන බැවින් මා තෝරාගත්තේ නිවසින් ඈත්වී තනිව ජීවත්වීමයි. වැඩ කරන කාලය උපරිමයෙන් වැඩ කිරීමට, කම්මැලි සිතුණු විට දවස් දෙක තුනේ නිවාඩු ලබාගෙන නිද්‍රාශීලී අලස සුවයෙන් කල් ගෙවීමට ළඟක් වෙනකම්ම බාධාවක් තිබුණේ නැහැ.
" යං ....යං
පරක්කු වුණා.
පොඩි බබා , ඉක්මන් කරන්න.
බස් එක මිස් වෙයි.
ක්ලාස් එකට පරක්කු වුණොත් ටීචර් ගෙන් බැනුම් අහන්න වෙන්නේ මට."
" අනේ අම්මේ අද ගෙදර ඉමු.
මට නිදිමතයි."
කුඩා දැරියක් නහයෙන් අඬන්නේ දැන් පැය බාගයක පමණ සිටයි.
" ඔන්න මය ළමයට ගෙදර ඉන්න දෙනවා.
නිවාඩු දවසකටවත් ඩිංගක් නිදාගන්න නැහැ කරච්චලේ.
මේ පොඩි දරුවා වුණත් කැමති ඇතිනේ ටිකක් නිදහසේ ඉන්න."
ඒ දරුවන්ගේ පියා වන්නට ඇත.
" ඔයාට නම් මොකද ?
වැඩට යනවා ,එනවා .
ගෙදරක් ගැන හෙවිල්ලක් නැහැනේ.
දැන් තුනේ වුණාට තව අවුරුදු දෙකකින් ශිෂ්‍යත්වේ.
ලොකු බබත් යන්තම් පාස් වුණා මිසක් හොඳ ඉස්කෝලෙකට යන්න බැරි වුණා.
පොඩි බබා, අපි යං"
දොර වැසුණේ මහා හඬක් නංවමිනුයි.
පෙරදා රැයෙත් ලියාගෙන එන කතාවේ කොටසක් ලියන්නට ගත්තත් එය අතරමග නවතා දමා චිත්‍රපටියක් බලන්නට හිත හදාගත්තේ අල්ලපු නිවසේ ඝෝෂාව නිසායි. පාටියකට ගොස් මදක් මත් වී ආ සැමියාට දොස් තැබීම්, ආඩාපාලි කීම් නැවතණේ කීයට දැයි මතක නැත්තේ චිත්‍රපටිය අතරම මට පුටුව උඩම නින්ද ගොස් තිබුණු නිසායි.
දිනපතා පාන්දර හතරට පටන්ගන්නා කච කචයේ අවසානයක් මා නොදකින්නේ එයට පෙර මට නින්ද යන නිසායි. වසරකටත් වැඩි කාලයක් ආසාවෙන් වාසය කළ නිවෙස දැන් මට නුහුරුයි. බොහෝ රෑ වන තුරුම ප්‍රචාරක ආයතනයේ නැවතී වැඩ කරන්රන්නේ නිවසට ගියහොත් මගේ මානසික ඒකාග්‍රතාවය බිඳවැටෙන නිසායි. සැබවින්ම නිවසේ සිටින විට මා පෙලෙන්නේ නොරුස්සනසුලු හැඟීමකිනුයි.
යන එන අතර අහම්බෙන් දකින නමුත් අල්ලපු නිවසේ ගැහැනිය සමග කිසිදු ඇයි හොඳයියක් ගොඩනගාගැනීමට මා හට සිත් නොවූයේ ඇගේ නොහික්මුණු ඝෝෂාකාරී ස්වභාවය නිසාමයි. දරුවන්ට, සැමියාට පමණක් නොව පොඩ්ඩ බැරි වන විට ආණ්ඩුවටත් බැණවදින්නේ ඇය ආණ්ඩුවටත් ඉහළින් සිටින්නියක සේ සිතාගෙනයි. මට සිතාගන්නට නොහැකි වූයේ එවන් අම්මෙක්, බිරිඳක් සමග කෙසේ වාසය කරනවාද යන්නයි.
අවුරුදු නිවාඩුවට ගමේ එන්නට යැයි අම්මා කතාකර කීවත් මා සිතාගෙන සිටියේ නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ලියාගෙන එන නවකතාව ඉවර කරන්නටයි.
කොකිස් බැදෙන කැවුම් පිච්චෙන සුවඳ එක්කම ෆෘට් කේක් එකක් බේක් වන සුවඳ දැනුණේ මට නැතත් අල්ලපු නිවෙසට අවුරුදු එබිකම් කර ඇති බව දන්වමිනුයි. අවුරුදු දවස මා ගතකළේ දොර ජනෙල් වසාගෙන ලියමින්ය. ඒත් එයට විටින් විට බාධා පැමිණියේ ඇල්ලපු ගෙදරින් නැගෙන සද්ද බද්ද නිසාවෙනුයි. රතිඤ්ඤා හඬ, ළදරියන්ගේ හිනා හඬ වාගේම ගැහැනියකගේ නොනවතින උපදෙස් දීම්, බැණවැදීම් හා දොස් පැවරීම් වෙනදාටත් වඩා වැඩිය.
පාන්දර වන තුරුම ඇහැරී සිටි මම නින්දට යන විට කතාවෙන් සෑහෙන ප්‍රමාණයක් ලියා අවසන්. පසුවදා ඇහැරෙද්දි දවල් දොළහටද ආසන්නයි. තද බඩගින්නක් දැනුණු බැවින් කිරි කෝපි එකක් සාදාගෙන වැරන්ඩාවේ වාඩිවී ඈතින් පෙනෙන පාර දිහා බලාගෙන හිටියද පාරද පාළුය. නගරය අතහැර බොහෝ දෙනෙක් ගම් බිම් බලා ගොස්ය. හිතට දැනෙන්නේ මොකක්දෝ නාඳුනන හැඟීමකි. ගහකින් කොළයක් බිමට වැටෙනා තරම් වත් සද්දයක් නැත. අල්ලපු නිවසෙන් කිසිදු සද්දයක් බද්දයක් නෑසෙන බව සිහි වුණේ පැන්ට්‍රියට ගොස් ශීතකරණය අතගා පාන් මල්ලක් හොයාගෙන පහසු සෑන්විචයක් සාදාගෙන ඇවිත් සාලයේ පුටුවට වී කන අතරයි.
හවස්වන විට දැනෙන්නට වූයේ දරා ගත නොහැකි ගත්යකි. කොහේ හෝ ගොස් පිරිසක් අතරටවී සිටින්නට ඕනෑකමකි. ලියන්නට හැදුවත් කිසිවක්ම ඔළුවට ගලා ආවේද නැත. නිවස පුරා ඉබාගාතේ ඇවිදිමින් කුමක් හෝ කිරීමට දෙයක් හෙව්වත් එයද හරි ගියේ නැත. කාට හෝ තමන්ගේම කෙනකුට කතාකිරීමේ දැඩි වුවමනාවක් දැනුණෙන් අම්මාට කතාකළත් අම්මාද අයියලාගේ නිවෙසට ගොස්ය.
මට මොනවා වෙලාදැයි මටම හිතාගත නොහැකිය. මේ දැනෙන අඩුව මොකක්දැයි මටම වැටහුණේ අල්ලපු ගෙදර දොර ජනෙල් වසා තිබෙනවා දුටු විටයි. කිසිදු ඇයි හොඳයියක් නැතත් තමන්ගේ සේ දැනෙන මේ හැඟීමට දිය හැකි නම කමක්ද? කවදාවත්ම නොදැනුණු සාංකාමය හැඟීමක් සමග මට මේ දැනෙන්නේ මා ගැනම කනගාටුවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd