පෘථිවියෙ ඔළුව උඩින් එහෙන් මෙහාටත් මෙහෙන් එහාටත් අහස් කූරු වගේ මිසයිල හුවමාරු වෙද්දි මං අලුත් කෙටිකතාවක් ලියන්න පටං ගත්තා.

ඇත්ත, කෙටිකතාවකට බෑ මිසයිලයක් ඉස්සරහ පපුව ඉස්සරහට දාගෙන කෙළින් හිටගන්න. අඩු ගාණෙ මිසයිලෙක වලිගෙ එල්ලිලා ඒකෙ ගමන් මාර්ගය වෙනස් කරන්න? ඒ මොකුත් බෑ. නිකං ඔහේ බලාගෙන ඉන්න පුළුවන්. මං මේ දැන් ඉන්නවා වගේ.
ඡේද දෙකක් ලියල තුන්වැනි එකට අත තියනකොටම තමයි කෝල් එක ආවෙ. ඒක සේව් කරගෙන තිබුණෙ නැති නාඳුනන නම්බර් එකක්.
"මචං, මං ඇට්ලස් !" දුක හිතෙන කටහඬක්.
"අම්මට හුඩු, අඩෝ, ඇට්ලසා !" මට සතුටු හිතුණා.
ඇට්ලස් මගේ කැම්පස් එකේ යාළුවෙක්. කැම්පස් එකේ උගේ කාඩ් එක තමයි ඇට්ලස් කියන්නෙ. ගෙවල් නුවර කොහේහරි. කටුගස්තොටද මන්දා. අඩි හයකටත් වඩා උස, මස් පිරුණු යෝධ අත, පය, පපුව නිසා තමයි ඌට එහෙම කාඩ් එකක් වැටුණෙ.
"ඉතිං, ඉතිං, උඹලට ඉඳල හිටල හරි අපිවත් මතක් වෙනව නේද? කොහොමද ජීවිතේ? ගෙදර කට්ටිය සනීපෙන්ද?" මං ප්‍රශ්න ගොඩක් එකපාර අහල ඉවර කළා.
එහෙම තමයි පහසු ගොඩක් වෙලාවට. අඩු ගාණෙ එහා පැත්තෙ එකා එක ප්‍රශ්නෙකට හරි උත්තර දෙනවා එතකොට. ඒත් එහා පැත්තෙන් කිසිම උත්තරයක් ලැබුණෙ නෑ. අන්දමන්ද නිශ්ශබ්දතාවක්.
"එයා නෙවෙයි. මං ඇට්ලස් යෝධයා." ටික වෙලාවකට පස්සෙ එහා පැත්තෙන් ඇහුණු කටහඬේ දුක දෙගුණ - නැත්නම් තුන් හතර පස් ගුණ - වෙලා තිබුණා.
"හරි බං. යෝධයෙක් වගේ නිසානෙ උඹට ඇට්ලස් කියල කාඩ් එක වැටුණෙ. ඉතිං මොකෝ වෙන්නෙ? කියපං !"
"මං පෘථිවිය උස්සගෙන ඉන්න ඇට්ලස් යෝධයා."
යෝධ නිශ්ශබ්දතාවක් පැතිරුණා. විනාඩි එකහමාරක විතර. මොකද්දෝ මන්දා නිශ්චිතව පැහැදිලි කරන්න බැරි හේතුවක් නිසා මේක කාගෙවත් බයිට් එකක්, හොරයක්, බොරුවක්, වංචාවක් නෙවෙයි කියල මට තේරුණා.
"කියන්න මිස්ටර් ඇට්ලස් !" අන්තිමට මං කතා කළා.
එහා පැත්තෙන් ලොකු හුස්මක් උඩට අරං ආයෙ පහළට දාන සද්දයක් ඇහුණා. යෝධ සුසුමක් ! යෝධයෙකුගෙ හුස්ම එහෙම වෙන්න එපැයි.
"මිස්ටර් කියන්න ඕනෙ නෑ. නිකං ඇට්ලස් කියන්න. අර යාළුවට කතා කරනව වගේ."
"ඔව්, කියන්න ඇට්ලස්."
"මේ දැන් මිසයිලයක් මගේ කනේ ගෑවීගෙන ගියා. අර ට්‍රම්ප්ට වැදිච්ච වෙඩිල්ල වගේ."
"කොයි පැත්තෙන් ආපු එකක්ද?"
"හැම මිසයිලයක්ම එන්නෙ එකම පැත්තෙන් මචං. මං හිතන්නෙ උඹ ඒක දන්නවා මට වඩා හොඳට."
"තුවාලද?"
"යන්තං ලේ ගලනවා."
"ට්‍රම්ප්ගෙ වගේ?"
"ඔව් !"
"මොකද කරන්නෙ?"
"අඩියක් ගහන්න ඕනෙ."
"කනෙන් ලේ එද්දි බොන්න හොඳද?"
"බොන්නෙ කටින්නෙ. අනික මට හරි මහන්සියි මචං. මාර අමාරුයි. කනට නෙවෙයි, පපුවට."
"මං එන්නද එහෙනම්?"
"ඔව්, එන්න. මං ලොකේෂන් දාන්නම්."
"ඕනෙ නෑ. මට හොයාගන්න පුළුවන්."
ඇට්ලස් මොකුත් කිව්වෙ නෑ. එක පාරටම ආපහු යෝධ නිශ්ශබ්දතාවක් පැතිරුණා. පොඩ්ඩකින් ඇට්ලස් ආපහු කතා කළේ බයෙන් වෙව්ල වෙව්ල.
"මචං, මචං, සියුස් කතා කරනවා." ඇට්ලස්ගෙ දත් පවා සට සට ගාල එකට වදිනවා. "මොන මරාලයක්ද දන්නෙ නෑ. ඉඳපං, මං ආපහු උඹට ගන්නම්."
මං මොකුත් කියන්න කලින් කෝල් එක කට් වුණා. මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව මං ලිය ලිය හිටපු පෑනෙ කොපුව හපන්න පටං ගත්තා. එහෙම කොපුව හප හප මං ඉන්නැති විනාඩියක් දෙකක්, නැත්නම් පැයක් දෙකක්?
ආපහු ෆෝන් එක රින්ග්ස් යන සද්දෙ ඇහුණා.
"මචං, මං ඇට්ලස්." සතුටු හිතෙන කටහඬක්.
"කියන්න, මොකුත් අවුලක් නෑනෙ. සියුස් කචල් එකක් දැම්මද?" මට හරි කුතුහලය.
"මොන සියුස්ද බං? උඹට මංඥඥද?"
"ඔය ඇට්ලස් නේද?"
"ඔව් යකෝ, මං කටුගස්තොට ඇට්ලසා. කැම්පස් එකේ."
"ඇහ්..."
"කෝ උඹ? මොකද සද්දයක් නැත්තෙ? උඹලට දැන් අපිව මතකවත් නෑ නේද?"
"එ...එ...එහෙම එකක් නෑ මචං. උඹ ඔය කොහෙද ඉන්නෙ?"
"පෝලිමේ බං."
"තෙල් පෝලිමේද?"
"නෑ, අරක්කු පෝලිමේ."
"දැන් අරක්කුවලටත් පෝලිම්ද?"
"දන්නැද්ද ඉතිං සිකුරාදා හවසට. කට්ටිය වැඩියිනෙ බඩු ගන්න."
"ඉතිං හදිසියෙ කතා කළේ මචං?"
"ඇයි හදිසියෙ උඹලට කතා කරන්න තහනම්ද? අනේ නිකං පලයං බං යන්න."
"අනේ, එහෙම දෙයක් නෑ බං."
"මෙතැන එක එක ජාතියෙ පාට පාට බෝතල් දකිද්දි මට උඹ මතක් වුණා. මතකද ඉස්සර කැම්පස් එකේ අපි මෙහෙම සෙට් වෙලා ගත්ත ආතල්. ළඟදි දවසක කට්ටිය ආපහු සෙට් වෙමුකො බං."
"සෙට් වෙමු, සෙට් වෙමු."
මං එහෙම කිව්වෙ පැහැදිලි අදහසකින් නෙවෙයි. නිකං මොනා හරි කියන්න ඕනෙවට. එක පාරටම එහා පැත්තෙන් ඇට්ලස් නිශ්ශබ්ද වුණා. ඔව්, යෝධ නිශ්ශබ්දතාවක් !
"මචං, මචං, ගෙදරින් කතා කරනවා." ඇට්ලස්ගෙ දත් සට සට ගාල එකට වදින සද්දෙ මට හොඳට ඇහුණා. "මං උඹට ආපහු ගන්නම් මචං."
මං මොකුත් කියන්න කලින් කෝල් එක කට් වුණා. පොඩි වෙලාවක් නිකං ඔහේ බලාගෙන හිටපු මං ඊටපස්සෙ ෆෝන් එක දිහා බැලුවා. ස්ක්‍රීන් එක උඩ මිස් කෝල් එකක් සටහන් වෙලා. එකත් එකටම මේ ඇට්ලස් යෝධයා වෙන්න ඕනෙ. මං ඉක්මනට කෝල් බැක් කළා. හැබැයි රිංග්ස් යන සද්දෙ වෙනුවට ඇහුණෙ පටිගත කරපු මෙන්න මෙහෙම කටහඬක්.
"ආවරණ කලාපයෙන් පිටත සිටින බැවින් ඔබ ඇමතූ ග්‍රාහකයා සම්බන්ධ කළ නොහැකිය. කරුණාකර පසුව අමතන්න."
මං පෑනෙ කොපුව ගලවලා, ආපහු කෙටිකතාව ලියන්න පටන් ගත්තා.