
අප මෙම නිවාස සංකීර්ණයේ පදිංචියට විත් ගෙවී යන්නේ තෙවැනි වසරයි. සියලු නවීන අංගෝපාංගයන්ගෙන් යුත් දෙමහල් නිවෙස් සියගණනක් මෙහි තිබුණත් මනුස්ස වාසයක් ඇත්තේ ඉන් අඩකටත් වඩා අඩු තරමේ පමණි. යහමින් මුදල් හදල් ඇති අය ආයෝජනය සඳහා නිවාස මිලදී ගෙන වසා දමා ඇත. ඉඳ හිට පැමිණ යන ආගන්තුක මුහුණු අතර දැක පුරුදු මුහුණු අතළොස්සක් පමණක් මතකයේ ඇත.
බොහෝ නිවාසවල හිමිකරුවන් සිටින්නේ එතෙරය. වසරකට වරක් පැමිණ සති කිහිපයක් ගතකර යාම ඔවුන්ගේ සිරිතයි. නාන තටාක, ගොල්ෆ් පිටි, සුපිරි වෙළෙඳ සංකීර්ණ, අවන්හල්, සිනමාශාලා ආදී අංගයන්ගෙන් යුතු වුවත් දහවලට නම් නිවාස සංකීර්ණය පවතින්නේ ගැඹුරු නිද්‍රාවකය.
ඉතා ක්‍රමවත්ව ඇතිරූ මං මාවත්, උයන් වතු පෙන්නුම් කළේ එහි වෙසෙන්නන්ගේ ඉසුරුමත් බවය. එනමුත් එම නිවාස හිමිකරුවන්ට අමතරව තාවකාලික කුලී පදනම මත සිටින්නන්ද ඇත. බොහෝවිට ඔවුන් තනිකඩයන්ය. නැතිනම් අලුත විවාහපත්වූවන්ය. එවන් සුපිරි පංතියේ නිවසක් කුලියට ගැනීමට වුවත් ඔවුන් ඉහළ රැකියාවල නිරත වන්නන් හෝ ව්‍යාපාරිකයන් විය යුතුය.
ගමක ඉපදුණු උප නාගරික ප්‍රදේශයක පාසල් ගිය රැකියාවක් නොකරන මා මෙම නිවාස සංකීර්ණයේ පදිංචියට පැමිණියේ අහසින් කඩාවැටුණාක් මෙන්ය. ඒ විවාහයත් සමගය. විවාහයද අහම්බයකි. මිතුරියකගේ මංගල උත්සවයකදී දුටු මතින් මා වෙත බැඳුණු මගේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු සැමියා අලුත මිලට ගත් නිවෙසට මා කැඳවාගෙන ආවේ සිතූ පැතූ සම්පත් ගෙනෙන කුඩා කළ සුරඟන කතා පොතක හමුවූ කුමාරයකු පරිද්දෙන්ය.
පදිංචියට පැමිණි මුල් කාලයේදී නිවාස සංකීර්ණයේ මහේශාක්‍ය ගතියෙන් තැති ගත්තත් පසුව වැටහුණේ එසේ බිය වීමට හේතුවක් නැති බවය. මගේ වත ගොත, කොහේ සිට ආවාද, මොනවා කරනවාද, අධ්‍යාපන මට්ටම හෝ ඉංග්‍රීසි දැනීම පිරික්සීමට කිසිවෙකුට වුවමනා වූයේ නැත. මූණට මූණ හමුවූවත් පාඩුවේ යන අයත්, යන්තම් සිනාසී යන අයත්, අහම්බෙන් " හලෝ " කියා යන අයත් හැරණු විට නැවතී කතාකිරීමට තරම් ඉස්පාසුවක් කිසිවකුටත් නැත.
එකවිටම කඩා පාත්වූ හදිසි වාසනාවේ මහිමයෙන් උතුර දකුණ මාරුවී සිටි මට සිහි කල්පනාව පහළ වූයේ මද කලක් ගතවීමෙන් අනතුරුවය. එවිට මා හිටියේ පාළු කතරක හුදෙකලාවය. සියලු සැප සම්පත් මැද වුවත් කෙනකුට හිඟන්නෙක් විය හැකිය. මට හැඟී ගියේ හැම මොහොතකම කුමක් හෝ හිඟයකින් පෙලෙනා බවක්ය. ඒ කුමක්දැයි අවබෝධ කරගැනීමට කල්ගතවිය. මා පෙලෙන්නේ හුදෙකලාවෙන්ය.
ඉතාම යහපත් ආදරණීය අයකු වන සැමියා සමග වුවත් ඇතිවන්නේ නොරිස්සුමකි. උදෑසනම පිටව ගොස් රෑට රෑ වී නිවෙසට එන ඔහුට මා වෙනුවෙන් ඉතිරිව තිබුණේ සීමිත පැය ගණනකි. සති අන්තයේද බොහෝවිට උත්සවයකි, සාදයකි නැතිනම් දානයක් හෝ මළ ගෙයකි. මුලදී ඔහු සමගින් ඒවාට සහභාගී වූවත් පසුව මට වැටහුණේ ඔහු අයත් සමාජ පන්තියට මා නොගැළපෙන බවකි. එය මාගේම හිතලුවක් විය හැකි නමුත් එවන් තැන්වලදී මට දැනුණේ මා කුඩාවී යන බවකි.
අප මෙහි පදිංචියට පැමිණි දිනයේ සිටම මිනිස් වාසයෙන් තොරවූ යාබද නිවසේ උඩුමහලේ පහන් දැල්වෙනු අහම්බෙන් මෙන් දක්නට ලැබුණේ මාස හත අටකට පමණ ඉහතදීය. අප නිවෙස් දෙක අතර වූයේ අඩි කිහිපයක පරතරයක් පමණි. ඉතා කුඩා බිම් කට්ටිවල තනා තිබූ නිවෙස්වලට තාප්ප නොතිබුණු අතර නිවෙස් වෙන් වූයේ මිටි මල් වැටකිනි.
එදා සිට මට දනුණේ යම් සහනදායී හැඟීමකි. මටම විස්තර කළ නොහැකි ආගන්තුක රහසිගත ප්‍රීතියකි. දහවලට පෙර පරිදිම දොර ජනෙල් වසා තිබුණත් රාත්‍රී හත පමණ වන විට යාබද නිවසේ එළි දැල්වේ. බැදුම් පිලිස්සුම් සුවඳක් නහයට දැනේ. මගේ නිදන කාමරයට යාබදව ඇති බැල්කනියේ පියවර නගන හඬ ඇසේ.
එහි වෙසෙන්නේ එක් අයකු පමණක් බව සැක හැර දැනගැනීමට මට මාස කිහිපයක් ගතවිය. එහි වෙසෙන්නේ වයස විසි අටක, තිහක පමණ පිරිමි පුද්ගලයෙක්ය. හරියටම ඇස ගැසී නැතත් ඔහු ප්‍රියමනාප අයකු බව කිව හැකිය. ඔහුගේ හැම චලනයක්ම නිරීක්ෂණය කරන ඇස් දෙකක් යාබද නිවසේ ලේස් තිර පට මුවාවේ තිබෙන බව ඔහු මොහොතකටවත් සිතන්නට නැත.
ඔහු දහවල් කාලයේදී රැකියාවකට යන අයකු විය යුතුය. දහවලට උඩුමහලේ දොර ජනෙල් වසා තිබෙන්නේ එනිසා විය යුතුය. රෑ මැද ඇහැරුණු දිනවල යාබද නිවසේ බැල්කනිය දෙස බලාසිටියේ හේතු විරහිතවය. එවන් සමහර දිනවලදී කණාමැදිරි එළියක් වැනි යමක් දැල්වෙනුත් ගීයක් මිමිනෙණුත් ඇසී ඇත. නාඳුනන අමුත්තා මගේ හදවතේ සමීපතමයකු වූයේ මටත් නොදැනිමය.
බැල්කනිය කොනක තබා ඇති රෙදි රාක්කය අව් වැසි නොතකා එතැනමය. එහි කෙදිනකවත් රෙදි වරදින්නේ නැත. අව්වට වේලෙමින් හිරිකඩට තෙමෙමින් තිබෙන එහි කලිසම් කමිස දම් පාට ලොකු තුවායක් හා කළු පාට පසුබිමේ වාටියට සුදු පැහැ අලි සිත්තම් කළ සරමක් නිතරම වනා ඇත. දහවල මා පෙලනා හුදෙකලාවත් සමග එම රෙදි රාක්කයද මට ගෙන එන්නේ යම් ජීවී හැඟීමක්ය.
අද උදෑසන මා පුදුම කළ යමක් සිදුවී තිබිණි. යාබද නිවසේ වෙනදා නාරින දොර ජනෙල් සියල්ල ඇරදමා තිබිණි. අනාරාධිත සුළඟ ගෙතුළට කඩා වැදුණේ සුදු පැහැති ලේස් තිරපට සොලවමිණි. ඒ අතරින් ඇසුණේ තැටි වාදන යන්ත්‍රයක මියුරු සංගීතයකි. කුමක් හෝ යමක් සිදුවී ඇතැයි හැඟුණත් එය කුමක්දැයි රෙදි රාක්කය දකින තුරු නොවැටහිණි.
ඒ මල් ගවුමකි.
රෙදි රාක්කයේ සුපුරුදු ඇඳුම් අතර වනා ඇති ආගන්තුන මල් ගවුමකි.
එහෙත් මට තේරම් ගත නොහැකි කරුණ නම් එය දුටු මොහොතේ සිට මේ දැනෙනා මේ සියුම් රිදුමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd