" තාත්තේ මං යනවා "

                 කියාගෙනම ගෙයින් එළියට බැස්ස නයනී දොර අඩවල් කළාය. ඇතුළතින් වසාගැනීමට පොඩි බයක් තිබුණත් නංගිගේ පොඩි එකා දොරේ යතුර නැතිකර කාලයක් ගතවුණත් එයට යතුරක් කප්පවාගැනීමට නයනීට ඉස්පාසුවක් තිබුණේ නැත. පිටතින් කොණ්ඩිපට්ටමක් සවිකර ඇතත් එහි ඉබ්බාද දැන් වැඩකරන්නේ නැත. ඇඳ උඩ හිටියත් තාත්තාට තවමත් හොඳින් සිහිකල්පනාව ඇති නිසා දොර වසා ඒමේ එතරම් අවශ්‍යතාවයකුත් නැත. කුඩු කාරයකු ගෙට රිංගුවත් උයා පිහා ගන්නා වලංගෙඩි ටිකත් හෝද හෝදා අඳින ඇඳුම් කෑලි කීපයත් ඇර වෙන ගෙනයන්නට දෙයක්ද නැත. 
         රෑට සිංදුවක්වත් අහන්න පුංචි රේඩියෝවක් ගන්න හිතාගෙන හිටියත් එය නොකෙරෙනා වැඩකි. අනිත් අතට සිංදු ඇහුවත් නැතත් ඇඳට වැටුණු සැණින්ම නින්ද නයනී සොයාගෙන එයි. දවල්ට නහින නැහිල්ලට මද විරාමයක් ලැබෙන්නේ නින්දෙදි පමණි.
                පෙරදා රාත්‍රියේ නම් එවන් නින්දක්වත් නයනිට නොලැබිණි. මීට වසරකට පමණ පෙර අංශභාගය සෑදී තාත්තා ඔත්පල වූවත් නයනීගේ තෙල් සාත්තුව නිසාම දැන් පය බිමගසා දොට්ට පිලට යාමේ හැකියාව ඇත. ඒත් රෑ එළිවෙනකම්ම කහින කැහිල්ල ඉවසා සිටිය නොහැකිය. බීඩිවලට පපුව තැම්බී ඇතැයි හන්දියේ ඩිස්පන්සරියේ දොස්තර මහත්තයා කීවත් බීඩි නැතිව තාත්තාට ජීවත්විය නොහැකිය. නයනී වැඩ ඇරී එන විට ගෙන එන බීඩි මිටිය එක රැයට ඉවරකරයි. එළිවනතුරු කහී. තාත්තා කෙතරම් කැස්සත් නයනීට නින්ද යන්නේ එයට හුරුවී ඇති නිසාය. එහෙත් පෙර දින රාත්‍රියේ කැස්සට අමතරව කෙඳිරියකුත් එකතුවුණු නිසා නයනීට නින්ද ගියේ නැත. පාන්දර ඇඟට අත තබා බලද්දී උණ ගතියක් දැනුනෙන් පැනඩෝල් දෙකක් පොවා වෙනිවැල්ගැට මුට්ටියක්ද තම්බා ආවාය.

" කාසෙද මන්දා
ඇඟත් වැල් කෝට්ට වගේ "

             බස් හෝල්ට් එකේ සෙනග පිරී සිටී. එන එන බස් එක නැවැත්තුවත් ඒවායේද එළියට වැක්කෙරෙන තරමටම සෙනගය. සාරි, ගවුම්, කලිසම් ඇඳි කන්තෝරු නෝනලා මහත්තුරු අතරේ තෙරපෙන්නට නයනීට හිතක් නැත. එතැන සිට බංගලාවට කිලෝ මීටර දෙකකට වඩා නැත. නයනී බංගලාවේ සිටිය යුත්තේ හතටය. හතට කලින් ඇවිදගෙන යාමට තරම් ප්‍රමාණවත් වෙලාවක් ඇත.
               කල්පනා කර කර ඇවිදගෙන යන්නට නයනී කොහොමටත් කැමතිය. එය පර්ස් එකටත් ගුණය. ඇඟටත් හොඳය. හවස වැඩ ඇරී එන වෙලාව අනුව බොහෝ දිනවල බංගලාවේ වාහනයකින්ම වත්තට ගෙනවිත් බස්සයි. වැඩට යාමට වෙලාවක් තිබුණාට " ඕෆ් " වන්නට වෙලාවක් නියමයක් නැත. ඒත් පහ පහුවුණොත් පැය ගණනට ගෙවන්නට තරම් මැඩම් කරුණාවන්තය.
               පෙරදා රැය පුරා වැටුණු වරුසාවට පාර තෙමී ඇති නිසා රබර් සෙරෙප්පු දෙක ලිස්සයි. සාරි, ඔසරි ඇඳ වැඩට යන කන්තෝරු නෝනලා, ඉස්කෝලෙ නෝනලා අඩි උස සපත්තු දමාගෙන තාලයට යන හැටි නයනීට නම් පුදුමය. බලා ඉන්නට ආසා හිතේ. නයනීගේ ආසාව තිබුණේ කන්තෝරු නෝනා කෙනකු වීමටය. තොල් රතු කර ඔසරියක් හැඳ හෑන්ඩ් බෑග් එකක් අතින් ගෙන උදේ හවා වත්ත හරහා යන්නටය. වත්තේ වුන්ගේ ඇස් බෝල වෙන හැටි බලන්නටය. කොහේ හෝ නිල්ලක් පෙනෙන තැනක පර්චස් හත අටක් ගෙන ගේ කෑල්ලක් හදාගන්නටය. තමන්ටම කියා පවුලක් තනාගන්නටය.
            නයනී නවය පන්තියේ ඉඳිද්දී අම්මා එතෙර නොයන්නට ඒවා හැබෑ වෙන්නට තිබුණු හීනය. තාත්තා කළේ පිටකොටුවේ බඩු උස්සන එකය. හවසට ඇඟේ පතේ රුදාවට ටිකක් අරගෙන ආවත් තුන් වේල පිරිමහන්නට තාත්තාට හැකි විය. අම්මාටද හීන තිබිණි. වත්තෙන් පිටවී ගෙයක් දොරක් හදාගෙන ළමයි තුන්දෙනා මනුස්සයින් කිරීම ඇගේ හීනය විය. දහ අතේ ණය වී රට ගියේ ඒ නිසාය. අවුරුද්දක් පමණ ලියුම්ද මුදල්ද එවූ අම්මා හිටි හැටියේ නිහඬවිය. ඒ ගැන හොයාබැලීමට තාත්තාට තේරුමක් තිබුණේ නැත. වුවමනාවක් කළේද නැත. ඒ ගැන මතක්කරන විට කීවේ

" ගිය ගෑනි ගියා " යනුවෙන්ය.
            ඉන්පසු ගෙදර අම්මා වූයේ නයනීය. දහයේ පන්තියෙන් පාසල් ගමන නතරකල නයනී ළඟ පාත කාඩ්බෝඩ් වැඩපොළක වැඩට ගියාය. නංගීගෙත්, මල්ලීගෙත් පාසල් ගමන නතර වුයේ සාමාන්‍ය පෙළ අසමත් වීමත් සමගය. මල්ලී ගරාජයක වැඩ ඉගෙනගන්නට ගියත් නංගී නැටුම් පන්තියක් හොයාගත්තාය. නංගීගේ නැටීම අවසන් වූයේ කුඩුකාරයකු සමග පැටලී දරුවකුද බඩට ආවායින් පසුවය. කොල්ලාගේ මවුපියන් නංගීව බාරගත්තත් දැනුත් විටින් විට විත් නයනීගෙන් කීයක් හෝ ඉල්ලාගෙන යන්නේ දරුවාගේ ඉස්කෝලේ වැඩට කියාය. ඒත් ඒ කුඩුකාරයාට දීමට බව නයනී දනී.
          අවුරුදු ගානක් කාඩ්බෝඩ් වැඩපොළේ නැහීගෙන වැඩකර තනාගත් චේන් පොට නැතිවූ දින සිට නංගීගේ සැමියා නයනිලාගේ වත්තට එන්නේ නැත.
              සිසිල් සුළඟක් හමා ආවත් ඉක්මනින් වහින පාටක් නැත. ළාහිරු එළියක් වැටී ඇත්තේ සෞම්‍ය දිනයක් උදාකරමින්ය. නයනී කිලෝමීටර් දෙකක් දුර ගෙවා හතිදාගෙන බංගලාවේ ගේට්ටුවෙන් ඇතුළු වන විට මැඩම් ජිම් එකට යන්නට සැරසෙනවාය. නයනීට කළයුතු වැඩ පවරා

" මහත්තයට ඕන මොනවද බලලා කරලා දෙන්න "
         යැයි පවසමින් කාරයට නැගුණාය.
             ළඟකදී හිඳ මැඩම් බලා ඉඳිද්දී මහත්වේ. කඳ, බඩ, බෙල්ල වෙන්කර හඳුනාගත නොහැකි තරම්ය. හරියට පුලුන් පුරවපු මහත බෝනික්කියක වාගේය. මූණ කට සිරියාවන්තය. තල්ලවල් දෙකක් තිබීම ඒ සිරියාවට හානියක්ය. මහත්තයා නම් මනාව ශරීරය පාලනය කරයි.  අඩුවෙන් කයි. පැණිරස ප්‍රතික්ෂේප කරයි. වැඩට යාමට පෙර නිවසේ සිටම ව්‍යායාම කරයි. ඉන් පසුව නයනී හදා දෙන කිරි වීදුරුව බොයි.
          කෙතරම් මහත් වූවත් මැඩම්ද උදේට කන්නේ ඕට්ස්ය. ඒත් දහයට විතර ලොකු කේක් කෑල්ලක් කා හොඳින් සීනි දැමූ පලතුරු බීම වීදුරුවක් බොයි.
               නයනීට උදේට කියා උයන්නට එතරම් දෙයක් නැත. බේබීද නයනී එන්නට පෙර පාසල් ගොස්ය. ජාත්‍යන්තර පාසලකට යන බේබී උදේ දවල් ආහාර ගත්තේ පාසලේ ආපන ශාලාවෙන්ය. මහත්තයාගේ කාර් එක එළවන චාමරටත්, වත්තේ වැඩ කරන දයාසිරි මාමාටත් තමන්ටත් නයනී කැමති දෙයක් සාදයි. මහත්තයා ලොකු රැකියාවක් කරන බව දනිතත් ඒ මොකක්දැයි නයනී හරියටම දන්නේ නැත. මහත්තයාගේ දවල් කෑම එක දොළහාමාර වෙනකොට ලෑස්ති කර තැබිය යුතුය. එය රැගෙන යාමට චාමර හරියටම දොළහමාරට බංගලාවට පැමිණේ. 
             බඩු පිහදා, මකුළු දැල් කඩා උඩ යට දෙකම අතුගා දහයට උයන්නට ගත්තත් දොළහමාර වෙනකොට උයා අවසන් කළ හැකිය. සියල්ලම කරන්ට් එකෙන්ය. දැලි කුණු ගෑවීමක් ඇත්තේම නැත. බාත්රූම් හේදිල්ල සහ මොප් කිරීම කරන්නේ දවල් කෑමෙන් පසුවය.
            රෑට පාටියක් හෝ වෙනත් විශේෂ යමක් නැත්නම් රෑටත් උයා තබා කෑමත් අරගෙන නයනී පහ වෙනකොට පිටව යයි. නැතිනම් මැඩම්ගේ උපදෙස් පරිදි චාමර ගෙනගොස් බස්සවයි.
              නයනී මේ බංගලාවට වැඩට විත් ගෙවී යන්නේ සිවුවන වසරයි. මේ බංගලාවේ වැඩ සොයා දුන්නේ කලින් වැඩකළ බංගලාවේ ඇනීටා මැඩම්ය. කාඩ්බෝඩ් වැඩපොළෙන් අස්වී රස්සාවක් හොයන කාලේ ඇනීටා මැඩම් හමුවුයේ පෙර පිනකටය. හොද්දක් මාළුවක් රත්කරගන්නට විතරක් දැන හිටි නයනිට බංගලාවක වැඩකරන ආකාරය ඉගැන්වූයේ ඇනිටා මැඩම්ය. කේක් ,පුඩිං , පමණක් නොව ඕනෑම ඉංග්‍රීසි කෑමක් හදන්නට නයනීට පුළුවන. වයස්ගතවීමත් සමගම බංගලාව කුලියට දුන් ඇනීටා මැඩම් ඕස්ට්‍රේලියාව බලා ගියාය. 
          කාඩ්බෝඩ් වැඩපොළේ රස්සාව කරගෙන හිටියානම් මේ වෙනකොට නයනී සුපවයිසර්වරියකි. ඒත් එහි වැඩට ආ සුරංග නිසා නයනීගේ ජීවිතය නොසිතූ ලෙස වෙනස් විය. නයනීට හිතෙන්නේ කිසිම හැඩක් නිලක් නැති සුරංගට තම හිත ඇදී ගියේ මොකක්දෝ සංසාරගත පුරද්දකට කියාය. සුරංගගේ තිබුණු ගෑනුන් මුළාකරන මනමාල හිනාවට තමන් හසුවූ බව පිළිගන්නට නයනී තවමත් කැමති නැත. මල් වතු ගානේ , පිච්චර් හෝල් ගානේ ගොස් කාමරයක නතරවන්නට තරම් තමන් මෝඩ වූයේ කෙසේදැයි නයනිට තවමත් හිතාගන්නට බැරිය. දරු දෙන්නෙක් එල්ලාගත් ගැහැනියක් වැඩපොළට පැමිණ තමන්ගේ කම්මුලට නොගසන්න සුරංග නයනිගේ ලෑලි ගෙයිම පැල්ගැහිලාය. එසේ වූවානම් තමන්ට අනාත වන්නට සිදුවන්නේ දරු රංචුවකුත් සමග බව හිතෙන විට ඒ කම්මුල් පාරේ වේදනාව දැනෙන්නේ නැත.
               නයනී චාමරව ළඟ ඇති සුපර් මාකට් එකට පිටත්කර හැරියේ වුවමනා බඩු ලයිස්තුවක්ද සමගය. යන්නට පෙර මැඩම් මුදල් තබා ගොස් තිබිණි. හැමදාමත් ගෙදර වැඩ කෙරෙන්නේ ඒ පිළිවෙලටය. 

" චාමර
චාමර "
        උඩු මහලේ සිට මහත්තයා චාමරට කතාකරනු ඇසුණේ ඒ අතරතුරය.

" චාමර නෑ මහත්තයා
බඩු ගේන්න ගියා "
          නයනී උත්තර දුන්නේ බියෙන් වාගේය. කොහොමත් මහත්තයා එක්ක නයනිගේ කතාවක් නැත. ඒ ගෞරවය මුසු බියක් මහත්තයා ගැන තිබුණු නිසාය. 

" මට උණු වතුර එකක් ගේන්න "
           කියාගෙනම මහත්තයා උඩට නැග්ගේය.
             නයනී කාමරයට ඇතුළු වන විට මහත්තයා හිටියේ ඇඳේ ඇලවී පොතක් බලමින්ය. වතුර වීදුරව ඇඳ ළඟ කබඩය උඩ තබා නයනී හැරෙද්දීම

" මැඩම් ආවද "
          මහත්තයා ඇසුවේ කියවමින් සිටි පොතෙන් දෑස ඉවතට නොගෙනමය.

" නෑ මහත්තයා
තවම නෑ "
         හඬ නොනැගෙන සේ දොර වසාගෙන කාමරයෙන් පිටව පඩි පෙළ බැහැගෙන ආ නයනී සාලයේ තබා තිබෙන මැඩම්ගේත්, මහත්තයාගේත් මගුල් පිංතූරය ඉදිරිපිට මදක් නතර විය.

" මැඩම් ඒ කාලේ සුරංගනාවියක් වගේ ලස්සනයි. 
ටිකක් මහත වුණාට දැන් කියලා වෙනසක් නැහැ.
මහත්තයත් කමල් අද්දරාරච්චි වගෙයි. "
         සාක්කුවෙන් බඩු පිහදාන රෙදි කෑල්ල ගත්ත නයනී තනියම කියව කියව උදේ පිහදාපු පිංතූරය ආයෙත් පිසදැමුවාය.
           මැඩමුයි , චාමරයි දෙන්නම එකටම වගේ ආවේ නයනී මහත්තයගේ සුප් එක අරගෙන උඩට නගිද්දීය. 

" මේක අරං පලයං මල්ලියේ "කිව්වත් චාමර කිව්වේ
" අක්කම අරන් යන්න
මම බඩු ටික අස්කරන්නම්" කියාය.
        මහත්තයට නින්ද ගොස් ඇතැයි සිතා නයනී මදක් එකල මෙකල වෙද්දී මහත්තයා ඇස් ඇරියේය.

" සුප්ම බීලා ඇති වෙලා "
මහත්තයා සුප් භාජනය අතට ගත්තේ එතරම් හොඳ මුහුණකින් නොවේය. නයනී කිසිවක් කියන්නට ගියේ නැත.
           නයනී ඉක්මනින්ම මේසයට බත් බෙදුවේ මැඩම්ට මොකක්දෝ උත්සවයකට යන්නට ඇතැයි කී නිසාය. කෑම කෑ මැඩම් ඇඳගෙන මහත්තයාගේ කාමරයේ දොරෙන් එබී ඉංග්‍රීසියෙන් මොනවදෝ කියනවා ඇහුනත් මහත්තයා උත්තර දෙන හඬක් නම් නයනීට ඇසුණේ නැත. සති දෙකකට පසුව නෝනා මහත්තයාගේ කාමරයට මූණ පොවනවාවත් දැක්කේ අදය.
           මහත්තයා මීට පෙර සති අන්තයට වත් ගෙදර හිටියේ කලාතුරකින් බව නයනිට සිහි විය. ඒත් දැන් සති දෙකක සිට ගෙදරය. කාමරයෙන් එළියටවත් බැස්සේ අදය. සති දෙකකට උඩදී දවසක් මහත්තයා අවේලාවේ ගෙදර ආවේ ඇඟ රිදෙන බව කියමින්ය. ඉන වටේ රවුම් බාගයක පමණ ප්‍රමාණයක බිබිලි මතුවී ඇති බව දැක්කේ ගෙදර ආ පසුවය. සහලෝලා උණ බවත් මහත්තයාට දෙවන වරට හැදෙන පැපොල් රෝගය හැදී ඇති බවත් කීවේ ගෙදරට ආ මැඩම්ගේ දොස්තර මල්ලීය.
            ඒ ඇසූ සැණින්ම නිවෙස ගිනිගත්තාක් මෙන් සිහිය අවුල් කරගත් මැඩම් මහත්තයා සමග හවුලේ බෙදාගත් කාමරයෙන් වහා නික්මුණාය. ආයේ ඒ පළාතකවත් ගියේ නැත. මහත්තයාගේ සුව දුක් විමසුවේ ෆෝන් එකෙන්ය. මහත්තයාගේ සියලුම ඕනෑ එපාකම් පිරිමහන්නට සිදු වූයේ චාමරටත්, නයනීටත්ය.
               මහත්තයා උණ විකාරෙන් කියෙව්වේය. පැය ගණන් නිදාගත්තේය. කෑමක් බීමක් නොගත්තේය. අමාරුවෙන් පොවාගත් දෙයද වමනය කළේය. දෙවන තුන්වන දවස වන විට ඉනේ තිබුණු බිබිලි සව් දොදොල් කැට මෙන් පැතිරී ඒවා පැසවා දියර ගලන්නට විනි. ඇඳුම් ඇඟටම ඇලිණි. ඒත් ඉස්පිරිතාලයකට යන්නට මහත්තයා කැමති වූයේ නැත. දොස්තර මස්සිනා දවසට දෙපාරක් ආවේය. බෙහෙත් පමණක් නොව සුදුසු කෑම බීමද නියම කළේය. මහත්තයාට ගැළපෙන කෑම බීම සාදා, රෙදි පිළි සෝදා, වමනය කළ විට ඒවා පිරිසුදු කර ,ඇඳ රෙදි මාරුකර කාමරය පිළියෙල කළේ නයනීය. මහත්තයා සුව වූයේ ඉතා මන්දගාමීවය. දවසට දෙකට ඇදී පැදී ගිය මහත්තයාගෙන් දිස් වූයේ අසරණ වූ පෙනුමකි.
            මහත්තයා අනුරාධපුර පැත්තේ දුෂ්කර ගමක කෙනකු බවත් , මවුපියන් ගොවියන් බවත්, ගෙවල් දොරවල් වුණත් වැඩි ලකයක් නැති බවත් නයනි සමග කීවේ ඉඳ හිට මහත්තයා එක්ක ගමේ ගොස් එන චාමරය. ඒ ගමන්වලට මැඩම් හෝ බේබි සහභාගී වූයේ නැත. මැඩම් නම් කොළඹම ඉපදුණු හොඳ සල්ලිකාර පවුලක දුවෙකි. මැඩම්ගේ අම්මා තාත්තා කතාකළේ ඉංග්‍රීසියෙනි. පෙනුමත් ඉංග්‍රීසි වාගේමය. ඒත් මැඩම් වාගේම කරුණාවන්තය.
           මැඩම් නම් කියන්නේ තවමත් නයනීට පිළිවෙලක් විය හැකි බවය. මැඩම් කියන ආකාරයට නයනිට තිස් පහක් කියන්නට බැරිය. ඇඟ හැඩය. හොඳ පැණි පාටය. කොණ්ඩය දිගය. එහෙන් මෙහෙන් ගහක් දෙකක් පැහෙන්නට පටන්ගෙන ඇති බව දන්නේ නයනීය. මැඩම් මොනවා කිව්වත් දීගෙක යන අදහසක් නයනිගේ නැත. මිනිහාගෙන් ගුටි කකා ,අතින් කටින් ළමයි බමයි එල්ලගෙන, වැරහැලි ඇඳගෙන දවස පුරා සුමේ කරනවාට වැඩිය මේ ඉන්නා විදිය හොඳය. තාත්තා ඉන්න කාලයක් තාත්තාව බලාගෙන ඉඳ තාත්තා නැතිවුණු කාලයක බංගලාවේම නතර විය හැකිය. ගේ දෙකට බෙදාගෙන ජීවත් වෙන මල්ලිගේ පවුලට ගෙයම අයිති කරගත හැකිය. ඒකට කමක් නැත. දැනටමත් මැඩම් නයනීට කාමරයක් වෙන්කර දී ඇත. වැඩ අඩු වෙලාවට ඇලවී සිටින්නේ එහිය. නයනිලා වැනි අයට හිතාගැනීමටවත් බැරි සැප පහසුකම් ඒ කාමරයේ ඇත.
           පාරේ යන විට කෙනෙක් හැරිලා බලන තරමේ රූපයක් ඇතත් නයනී විවාහයක් ගැන නොසිතීම මැඩම්ගේ කුතුහලය අවුස්සන කරුණකි. තමන් ඉන්නා වත්ත ගැන, එහි වෙසෙන ගැහැනුන්, පිරිමින් පවුල් කන හැටි ගැන මැඩම් එක්ක කිව්වත් සුරංග ගැන මැඩම් එක්ක කියන්නට නයනීට හිත් දුන්නේ නැත. මැඩම් හිතාගෙන ඉන්නේ තාත්තාව බලාකියා ගන්නට කෙනෙක් නැති නිසා නයනී විවාහ නොවන බවය. ඒ ගැන මැඩම් ඉන්නේ කම්පාවෙන්ය.
           
" චාමර
චාමර "
      මහත්තයා කතාකරනවා ඇසුණේ නයනී බත් පංගුව අතට ගන්නට හදද්දීමය. දයාසිරි මාමාද වෙනදා වගෙම දවල් කෑමෙන් පසුව පිටුපස කාමරයේ ඇල වෙන්නට ගොස්ය. බත් පංගුව පසෙක තැබූ නයනී සාලයට දිවගියාය.

" චාමර නැහැ මහත්තයා.
මැඩම් එක්ක කොහෙද ගියා "

" කෝපි එකක් හදාගෙන එන්න "
        පැන්ට්‍රියට ආ නයනී කෝපි එකක් හදාගෙන උඩට යන විට මහත්තයා හිටියේ ජනේලයෙන් එළිය බලාගෙනය. මුළු කාමරයම සුවඳය. සති දෙකකට පස්සේ අද මහත්තයා නාලාය.  මෙච්චර දවසක් උණුවතුරෙන් ඇඟ සෝදා තුවාල පිරිසුදු කළත් නෑවේ අදය. මහත්තයාගේ මූණත් එක්කම එළියය. ඇඟ කෙට්ටු වූ නිසා තවත් තරුණ පාටය.
        
" මේ බෙඩ් ශීට් මාරු කළොත් හොඳයි "
              නයනී කාමරයෙන් පිටවන්නට හදන කොටම වාගේ මහත්තයා කීවේය. නයනී ඊයෙත් ඇඳ රෙදි මාරු කළාය. වචනයක් නොකී නයනී ඇඳ රෙදි අකුලා අල්මාරියෙන් ගත් අලුත් ඇතිරිලි එලුවාය. මහත්තයා නයනී වැඩකරන දිහා බලාගෙන හිටියේ කල්පනාවකින් තොරවය. ඒ ඇස්වල තිබූණේ මහා දුරස්ථ බැල්මකි. පාළු ගතියකි.
           ඇඳ රෙදි මාරුකළ නයනී මහත්තයා වෙත ගියේ හිස් කෝපි කෝප්පය ගැනීමටය. එහෙත් මහත්තයා එය නයනී අතට දුන්නේ නැත. හීන් සීරුවේ කෝප්පය ළඟ තියෙන කබඩය උඩින් තැබූ මහත්තයා නයනීගේ අතකින් අල්ලාගත්තේය. නයනී එතැනම ගල් ගැසිණි. නයනීගේ සිහිය විකල් වන තරමටම වූයේ පුටුවෙන් නැගී සිටි මහත්තයා අතින් ඇද ඇයව තමන් වෙත ළං කර ගනිද්දීය. කාලය නැවතිණි. සියලු හඬවල් ගොළුවිණි. නයනීගේ සවනත  හෝ හෝ හඬක් නැගිණි. හදවත වේගයෙන් ගැහිණි. වායු සමීකරණය පරදා ගත පුරා සිහින් දහඩියක් නැග එනු දැනිණි.
              මහත්තයා කිසිවක් කීවේ නැත. එහෙත් ඒ උණුසුම් සුසුම් බොහෝ දේ කීවේය. මහත්තයා ඇගේ කම්මුලක් පිරිමදිනු දැනී නයනී හැකිලුණාය.

" අනේ මහත්තයා "
          මහත්තයා වෙතින් හමා එන මොකක්දෝ නොදන්නා සුවඳක් නයනීගේ ඇතුළු හදවත ස්පර්ශ කළේය.මහත්තයාගේ කීප දවසකින් නොකැපූ රැවුල් කොට තම මුහුණේ වදිනුත් ග්‍රහණය තදවනුත් නයනීට දැනිණි. මෙතෙක් කල් බැඳ දමා තිබුණු සියලුම ආශා බැමි බිඳගෙන නැගී ආවේ නයනීගේ පාලනය නයනී වෙතින් උදුරාගනිමිනි.

" ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්චාවේ "
       නයනී තදින් ඇස් පියාගත්තාය.
            ඒත් ඒ එක්කම නයනීට මැවී පෙනුණේ මැඩම්වය. මැඩම්ගේ කරුණාව පිරුණු මුහුණය. 
 
" නයනී "
         කියා අමතන හඬය.

" අනේ මට බෑ "
            නයනී හඬනගා කීවත් ඒ වදන් පිටවූයේ නැත.
             වැර යොදා මහත්තයාව ඇඳ මතට තල්ලු කළ නයනී පඩි පෙළ දිගේ දුවගෙන ආවාය. ඇය නතර වූයේ මහ පාර අද්දරිනි. විසල් ගේට්ටු පියන් ඇය පිටුපසින් විවරව තිබිණි.  පිරිමි උණුසුමකින් පිබිද ආ තම සිරුරත් හදවතත් මෙල්ල කරගනිමින් තව දුරටත් මහත්තයා සමග එක වහලක් යට රැඳී සිටීමේ අවදානම නයනීට අවබෝධ වෙමින් තිබිණි. තමන් නැවතත් මෙම බංගලාවට අඩි නොතබන නමුත් බංගලාව ගැනවත් මහත්තයා ගැනවත් අබමල් රේණුවක තරම් තරහක් පිළිකුලක් නයනී තුළ නොඉපදිණි.