තමරාට ඇහැරෙනකොට පහ පහුවුණා විතරයි. එතකොටත් කළුවරයි. ඇහැරුණත් ඇඳෙන් බහින්න හිතක් තමරාට තිබුණේ නැහැ. ඇත්තටම ඒ තරම් උදෙන් ඇහැරිලා කරන්න තරම් දෙයකුත් තමරාට නැහැ. උදේට කිරි දාලා ඕට්ස් ටිකක් හදාගෙන ගෙවල් මිදුල් අතුගාලා දවල්ටයි රෑටයි එකටම මොනවාහරි හදාගන්න එක මහ වැඩක් නෙවෙයි. පෝය දාට අසපුවට සිල් ගන්න යන එකයි සෙනසුරාදා හවසට භාවනා පන්තියට යන එකයි ඇරුණහම හැම දවසක්ම එකම වගෙයි.

පාන්දර ඇහැරුණු දවස්වලට ඇඳේ ඉඳගෙනම භාවනා කරන්න තමරා පුරුදු වුණේ දුව විවාහ වෙලා ගිය දවස්වල ඉඳලමයි. දුව තමයි තමරාට තමන්ගෙම කියලා තියෙන එකම බැඳීම. මොන තරම් භාවනා කළත් ඒ බැඳීම නම් කඩාගන්න එක ලේසි නැහැ කියලා තමරා දන්නවා. අම්මා කෙනෙකුයි දරුවෙකුයි අතර තියෙන බැඳීම ඇරුණහම අනිත් සියලුම බැඳීම් කාලයත් එක්ක ශේෂ වෙන හැටි තමරා දැක්කා. අත්වින්දා. ඒ නිසාම නොවුණත් ජීවිතය දිහා හැරිලා බලන්න තමරා කැමති නැහැ.

" සුව වෙවී යන තුවාලය ආයෙ පාරවගන්නේ මොකටද? "

ඒ තමරා තමන්ටම කියාගන්න වචන.

හුඟ වෙලාවට තමරා කතාකරන්නේ තමන් එක්කමයි. කොහේදෝ ඉඳලා ඇවිත් තමරාගෙන් කාලා සාලේ මැද්දේ වැටිලා ඉඳලා හිටි ගමන් අතුරුදන් වෙන නම නොදත් බළලා ඇරුණහම මේ ගෙදර වෙන කවුරුවත් නැහැ. සමහර වෙලාවට තමරා කියන සමහර දේවල් වලට ඒ බළල් තඩියා "ඤෑව්" කියලා හූ මිටි තියනවා. ඒ තමරා ගැන තියෙන ආදර කරුණාවකින්ද නැත්නම් තමරාව රවටාගෙන මාළුත් එක්ක බත් කටක් කන්නද කියන එක දන්නේ බළල් තඩියම තමයි.

" මම රැවටුණු තරමට බළලකුට රැවටුණා කියලා අමුතුවෙන් සිද්ධ වෙන දෙයක් නැහැ."

තමරා වෙලාවකට බළලාගේ මූණටම කියනවා.

වීදුරු ජනේලයේ ලේස් තිර රෙද්ද අතරින් පෙරී එන ළා හිරු එළිය මූණට වදිනකොට තව දුරටත් බොරුවට නිදාගෙන ඉන්න බැරි නිසා තමරා ඇස් දෙක ඇරියා. වෙලාව හයයි කාලයි. කිරි කෝපි එකක් බිව්වොත් හොඳයි කියලා හිත කිව්වා. ඒත් ඇඳෙන් නැගිටින්න කම්මැලි කමකුත් දැනුණා. මාර්තු මාසය වුණත් තවමත් උදේට සීතලයි.

" සීතලට කැමති කාලයකුත් තිබුණා." ඇඳට අත් දෙක තද කරලා නැගිටින ගමන් තමරා කිව්වා . උත්තර නොලැබුණත් තමරාට කතාකරන්න දේවල් නම් ඕනෑ තරම් තිබුණා. ඇඳ ළඟ තියෙන මිටි කබඩ් එක උඩ තිබුණු හෑන්ඩ් ෆෝන් එක " ටික් " ගාලා සද්ද කළේ තමරාට පණිව්ඩයක් තියෙන බව දන්වන්නයි. ඇඳෙන් බැස්ස තමරා ෆෝන් එක අතට අරගෙන තිරය දැල්වූවා. පණිවිඩය බැංකුවෙන්. ප්‍රියලාල්ගේ විශ්‍රාම වැටුප ගිණුමට වැටිලා. තමරා බිත්තියේ එල්ලා තියෙන කැලැන්ඩරය දිහා බැලුවා.

" අද දහවැනිදා "

අද දහය බව ඊයේ මතක තිබුණත් අද වෙනකොට මතක නැහැ.

තමරා වීදුරු ජනේලය ඇරියා. කොහේදෝ ඉඳලා පාවෙලා ආපු සේපාලිකා සුවඳක් තමරාගේ නාස් පුඩුවලින් ඇතුළු වෙලා සිරුර පුරාම ගැලුවා. කිරි කෝපි එකක අවශ්‍යතාව මොහොතකට අමතක කරපු තමරා ජනේලය ළඟ තබා තිබෙන සැප පුටුවේ වාඩි වුණා. ඉස්සර නම් මේ පුටුව පාවිච්චි කළේ ප්‍රියලාල්. ඒ කොච්චර දවසකට ඉස්සරද කියන එකවත් දැන් තමරාට මතක නැහැ. දෙතුන් වතාවක් ප්‍රියලාල් පුටුවේ වාඩිවෙලා ඉන්න අතරේ තමන් ඔහුගේ උකුලේ ඉඳගෙන හිටි හැටි සිහි වෙලා තමරාට හිනාවක් ගියා.

ඒ කාලේ ප්‍රියලාල් වැඩ කළේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පරවර්තකයෙක් විදියට.

" එයාගේ භාෂාවට තමයි අම්මලා ,අප්පච්චිලා රැවටුණේ. "

තමරා හයියෙන් කිව්වා.

තමරා පාත රටට ආවේ විවාහයෙන් පස්සෙයි. ඒක යෝජිත විවාහයක්. කන්ද උඩරට යමක් කමක් තියෙන පවුලක එකම දුව වුණු තමරාට අයියලාම තුන්දෙනෙක්. කාගෙත් ඇල්ම බැල්ම ඇතුව හැදුණු තමරාට ඉගෙනගෙන ඉවරවුණට පස්සේ රස්සාවකට යන්න ඕනෑකමක් තිබුණේ නැහැ. කවුරුවත් යන්න කියලා කිව්වෙත් නැහැ. රස්සාවක් නොකළට තමරා වෙනුවෙන් අැතෙක් බරට දෑවැද්ද දෙන්න පවුලේ අය අමතක කළෙත් නැහැ.

ප්‍රියලාල්ට තිබුණේ උගත්කමයි රස්සාවයි විතරයි. තමරාව බලන්න එනකොටත් ප්‍රියලාල් කෝට්ටේ පැත්තේ ඉඩමක් අරගෙන ගෙයක් හදන්න පටන් අරගෙන. ඒත් ගෙයි වැඩ ඉවරකරලා බඩු මුට්ටු ටික අරගෙන දුන්නේ තමරාගේ අප්පච්චි.

බඳිනකොට තමරට විසි තුනයි. ඒත් පොඩි ළමයෙක් වගේ. ඇට්ටර වෙලා නැහැ. ගෙදර දොර වැඩට, මහන්න ,ගොතන්න හොඳට අත හුරුව තිබුණා. ඒත් විවාහය කියන්නේ මොකක්ද කියන එක ඉගෙනගත්තේ අත්දැකීමෙන්ම තමයි. ඒත තමන් කවදාවත්ම ඒක හරියට ඉගෙනගත්තේ නැහැ කියලයි දැන්නම් තමරාට හිතෙන්නේ. ප්‍රියලාල් කියන්නේ රැකියාව ජීවිතය කරගත්ත කෙනෙක්. ගෙදර ඉන්න වෙලාවෙත් වැඩිපුර ගතකළේ පොත පත එක්ක. රැකියාවට අමතරව විදෙස් පොත පත පරිවර්තනය කළේ බොහොම ආසාවෙන්. ඒ නිසාම ප්‍රියලාල්ට රටේ හොඳ ප්‍රසිද්ධියකුත් තිබුණා. පිට පිට සම්මානත් ලැබුණා.

ප්‍රියලාල්ට තමන්ගේ කටයුතු පාඩුවේ කරගන්න ඇරලා කෑමක් බීමක් හදාගෙන , මැහුමක් ගෙතුමක් කරගෙන තමරා තමන්ගේ පාඩුවේ හිටියා. පොත පතට නම් තමරාගේ වැඩි ඇල්මක් තිබුණේ නැහැ. ඒ නිසා දෙන්නට කතාකරන්න පොදු මාතෘකා හිඟ වුණා. බොහෝ කාලයක් යනකම් තමරාට ඒක අවබෝධ නොවුණාට ප්‍රියලාල්ට නම් තදින්ම දැනුණා. ප්‍රියලාල් ලියපු පොතක නමක්වත් තමරාට මතක හිටියේ නැහැ.

ඒ ජීවිතයේ තියෙන හිස් බව කවදාවත්ම තමරාට අවබෝධ වුණේ නැහැ. පාළුවක් කාන්සියක් දැනුණෙත් නැහැ. ප්‍රමුදි උපන්නාට පස්සේ තමරාට කරන්න ඕනෑ තරම් වැඩ තිබුණා. පතරංග ගෙය පිළිවෙළකට තියාගැනීමත් කාලය වැය වන වැඩක් වුණා. තමන්ගේ කාර් එකට අමතරව තමරාටත් කාර් එකක් අරගෙන දුන්නේ ප්‍රියලාල්. ඒ ප්‍රමුදිව ඉස්කෝලේ ගෙනියන්න ගේන්න. අමතර පන්ති එක්කගෙන යන්න. ඒ වගේම ගෙදරට ඕනෑකරන සියලුම කලමනා ගෙනාවෙත් තමරා. ප්‍රියලාල් කළේ මාසෙකට සැරයක් සල්ලි දෙන එක විතරයි. ඒ නැතත් තමරා ළඟත් සල්ලි තිබුණා. තමරාට අයිති වතු පිටිවල ආදායම ලොකු අයියා කලට වේලාවට තමරාගේ ගිණුමට බැර කළා.

කිසිම හැලහැප්පීමක් නැතිව කාලය ගලාගෙන ගියා. ප්‍රියලාල්ට කෙසේ වෙතත් තමරාට නම් ඒ ජීවිතයේ කියන්න තරම් වරදක් තිබුණේ නැහැ. රෑ දෙගොඩහරිය වෙනකම් කන්තෝරු කාමරයට වෙලා ඉන්න ප්‍රියලාල් ගැන තමරා කරදර වුණේ නැහැ. දුවවත් තුරුලු කරගෙන නිදාගත්තා. සමහර දවස්වලට ප්‍රියලාල් ඇඳට ඇවිල්ලම නෑ කියන එක දැනගත්තේ එළිවුණාට පස්සෙයි. ඒත් තමරා ඒ ගැනත් වැඩි දුර හිතුවේ නැහැ. ප්‍රියලාල්ගේ වැඩවලට බාධාවක් වෙන්න හිතුවෙත් නැහැ.

මූණ කට හෝදාගෙන කිරි කෝපි කෝප්පය හදාගන්න හදනකොටම පැන්ට්‍රියේ ජනේලයෙන් ඇතුළට පැනපු බළල් තඩියා "ඤාව් " කියාගෙන කකුලේ වෙලුණා. ගෙදර නිත්‍ය සාමාජිකයකු නොවුණත් බළලාටත් පිඟානක් තිබුණා. බළළාගේ පිඟානට කිරි ටිකක් වක්කරපු තමරා තමන්ගේ කෝපි එකත් අරගෙන ඉස්තෝප්පුවට ඇවිත් හාන්සි පුටුවට බර වුණා.

ප්‍රියලාල්ගේ කන්තෝරු කාමරයට ගියපු කාලයක් මතක නැහැ. ප්‍රියලාල් ගෙදරින් ගිය දවස්වල ඉඳලම කාමරය වැඩිපුර තිබුණේ වහලා. සතියකට සැරයක් ගේ අස්කරන්න එන රේණුකා කාමරය ඇරියත් තමරා වැඩිය ඒ කාමරයේ රැඳෙන්න කැමති නැහැ. ප්‍රියලාල් මොන තරම් සූක්ෂමව තමන්ගේ ජීවිතයෙන් තමරාව ඈත් කරාද කියන එක තමරාට වැටහෙන්නේ දැනුයි. ඒක දැන හෝ නොදැන තමරත් තමන්වත් දුවවත් කොටු කරගෙන සුව පහසු සීමාවක් හදාගත්තා. ප්‍රමුදි ලොකු වෙන්න වෙන්න අම්මයි දුවයි යාළුවෝ වගේ වුණා. ප්‍රියලාල් නිකම්ම පිටස්තරයෙක් වුණා.

ඉඳහිට ප්‍රියලාල් එක්ක උත්සවයකට, රෑ කෑමකට එහෙම සහභාගී වුණත් තමරාට ඒවා ඒ තරම් ඇල්ලුවේ නැහැ. ඒවට සහභාගී වුණු ගෑනු මිනිස්සු ඔක්කොම කතා කළේ තමරා නොදන්න භාෂාවක්. ඒක සාහිත්‍යයේ භාෂාව වෙන්න ඇතී කියලා හිතුණත් ඒක ඉගෙනගන්න ආසාවක්වත් ඕනෑකමක්වත් තමරාට තිබුණේ නැහැ. මුලින් මුලින් කැමැත්තෙන් ගියත් පහුවෙනකොට ගියේ ප්‍රියලාල්ගේ වදේට. යුතුකමක් විදියට. ඒ දේවල් මොනවා වුණත් දෙන්නා අතර අඬදබර, නොහොඳ නෝක්කාඩු නම් කවදාවත්ම තිබුණේ නැහැ. හැබැයි විවාහයක් කියලා දෙයක් තිබුණානම් ඒක නිකම්ම නිකන් ඇල්මැරුණු දෙයක් විතරයි.

සාමා ගැන මුලින්ම ඇහෙන්න පටන්ගන්නකොට ප්‍රමුදි උසස් පෙළ පන්තියටත් ඇවිත්. සාමාව තමරාට හඳුන්වලා දුන්නෙත් ප්‍රියලාල්මයි. ඒ සම්මාන උත්සවයකදී. කළු වුණත් සාමා දැකුම්කලුයි. හැඩ ඇඟ. දකුණු ඉංදියානු නිළියක් වගෙයි. ඇඳුම් කැඩුම් වුණත් ඒ වගෙයි. සාමා සම්මානනීය කිවිඳියක්. ඒ වගේම ඕනෑම සාහිත්‍ය උත්සවයක කැපී පේන චරිතයක්. ප්‍රියලාල් තමන්ට වඩා අවුරුදු විස්සක් විතර බාල සාමා තෝරාගැනීම අහම්බයක් නෙවෙයි. ඒ දෙන්නාට දෙන්නා හොඳට ගැළපුණා. ඒ වගේම හොඳට දැනුණා.

කටින් කට විතරක් නෙවෙයි පත්තර වල පවා ඒ ගැන ඉඟි පළවෙලා තිබුණා. තමරා ප්‍රතිචාර දැක්වුවේ වචනයෙන් නෙවෙයි ක්‍රියාවෙන්. තමරා තමන් දෙදෙනා එතෙක් කලක් බෙදාහදාගත් කාමරය අතහැරලා වෙනත් කාමරයක නිදාගන්න ගියා. ප්‍රියලාල් ගොළුබෙල්ලෙක් වගේ තව තවත් කටුව ඇතුළට වැදුණා. දෙන්නා අතර කතාව දුව සම්බන්ධ දේවල්වලට පමණක් සීමා වුණා. ඒත් තමරා ප්‍රියලාල්ගේ කෑම ටික, බෙහෙත් ටික වෙලාවට දුන්නා. ඇඳුම් හෝදලා මැදලා තිබ්බා. අත ඇරගන්න බැරි තරම් බැඳීමක් තමන් අතර තිබිලා නැති බව දෙදෙනාටම වැටහුණා.

සාමාට දරුවෙක් ලැබෙන්න ඉන්න බවත් ඒ දරුවාගේ පියා ප්‍රියලාල් බවත් පත්තරේකට සාමාම කියා තිබුණු බව තමරා දැනගත්තේ ප්‍රියලාල්ගේ හොඳම යාළුවා ජයනාත්ගේ බිරිඳ ගුණේන්ද්‍රිගෙන්. හදාගත්තයි කියලා හිතුවත් තමන් හිත හදාගෙන නැති බව තමරාට තේරුම් ගියේ එදා. තමරාට දුකකට වඩා දැනුණේ ලැජ්ජාවක්. ඒ වගේම ප්‍රියලාල් ගැන විශාල කලකිරීමක්. ඒ දවස්වල දුව කැම්පස් යනවා.

" දරුවට පාරේ බැහැලා යන එක නැතිකරන්න එපා ."

ප්‍රියලාල් හවස ගෙදර ආවාට පස්සේ තමරා කිව්වත්, ඇයි එහෙම කියන්නේ කියලාවත් අහන්නේ නැතුව ප්‍රියලාල් කාමරයට රිංගාගත්තා.

ඊට ටික කාලයකට පස්සේ සාමාට දරුවා ලැබුණු බවත් ඒ දරුවා අසනීප දරුවෙක් බවත් කිව්වේ ගුණේන්ද්‍රි. දරුවා නිසා සාමා කරමින් හිටපු රස්සාවෙනුත් අයින්වෙලා ගෙදර නැවතණු බව කිව්වෙත් ගුණේන්ද්‍රිමයි. ප්‍රියලාල් ගෙදර ආවෙත් නෑවිල්ලා බැරිකමට නිදාගන්න විතරයි. තමරා හදලා තියන දෙයක් වුණත් කෑවේ නැහැ. කොහෙන් හරි කාලා එන බවක් තමයි පේන්න තිබුණේ. ඒත් තමරා හැමදාමත් ප්‍රියලාල්ගේ පංගුව වෙන් කරලා තිබ්බා.

කැම්පස් එකෙන් පිටවුණු ගමන්ම දුව විවාහ වුණා. දුවගේ විවාහයත් එක්කම කකුල් දෙක දෙපැත්තේ තියාගෙන හිටපු ප්‍රියලාල් තමරාගේ පැත්තේ තිබුණු කකුලත් අරගෙන සාමාගේ පැත්තෙන් තියාගත්තා. එහෙම කරන්න කලින් තමරා ඉන්න ගෙදර තමරාට ප්‍රාණ භුක්තිය තියලා දුවගේ නමට ලිව්වා. දුවත් වෙන ගෙදරක පදිංචියට ගිය නිසා අන්තිමට ඉතුරු වුණේ තමරා විතරයි.

තනි නොතනියට කවුරුවත් නතරකරගන්න තමරා අකමැති වුණේ ප්‍රියලාල් ඉන්න කාලේ ඉඳලම හුදකලා ජීවිතයට හුරු වෙලා හිටිය නිසයි. ගෙදර වැඩ ටික කරලා මැහුමක් ගෙතුමක් කරනකොට දවස ගෙවිලා. බණ අහන්න ඕනෑතරම් රූපවාහිනී නාලිකා තිබුණා. ටෙලි නාට්‍ය ගැන නම් ඒ තරම් ඇල්මක් තිබුණේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම තිබුණු පුරුද්දට රේඩියෝව නම් ඇහුවා. ඒත් රෑට නිදාගන්න ගියාම තමන්ට දවස මෙන තරම් දිගද කියන එක තමරාට වැටහුණා.

මීට මාස හයකට විතර ඉස්සරවෙලා උදෑසනක තමරාට ඇමතුමක් ආවා. ඒ සාමාගෙන්. හදිසියෙම පපුවේ අමාරුවකින් ප්‍රියලාල් ආන්ත්‍රා වුණු බව සාමා කිව්වා. සාමා හිතුවේ මිනිය ඉල්ලලා තමරා සටනට බහී කියලයි. ඒත් සාමාට ඕනෑ දෙයක් කරගන්න ඇරලා තමරා නිහඬ වුණා. මිනිය තිබුණේ මල් ශාලාවක. තමරා දුවත් එක්ක මරණයට සහභාගී වුණා. එදා තමයි තමරා සාමාගේ දරුවාව දැක්කේ. දුවෙක්. සුදු පාටට මූණ හඳ වගෙයි. ලස්සනට හිටියාට එයා ඩවුන්ස් බබෙක්.

ප්‍රියලාල් මැරණාට වඩා ශෝකයක් සාමාගේ දරුවා දැකලා තමරාගේ හිතේ ඇතිවුණා. ඒත් වචනයක් දෙකක් කතාකරලා ගෙදරට ගොඩවදින්නෙත් නැතිව කනත්තෙන්ම තමරලා ගෙදර ආවා. හත් දවසේ බණ මතක් කළත් තමරා ඒකට සහභාගී වුණේ නැහැ. ඒත් තමරා හාමුදුරුවරු හත් නමක් ගෙදරට වඩම්මලා දානයක් දුන්නා.

ටික දවසක් යනකොට විවාහක අයිතිය තමරා හොයාගෙන ආවා. ප්‍රියලාල්ගේ විශ්‍රාම වැටුපේ අයිතිය තමරාට හිමි වෙලා තියෙන නිසා ලියකියවිලි වගයකට අතිසන් කරන්න කච්චේරියට එන්න කියලා දන්වලා තිබුණා. ඒත් තමරා ගියේ නැහැ. ලියුම් කීපයක්ම ආවට පස්සේ දුවගේ කීමත් අහලා තමරා ඒ කටයුතු පිළිවලක් කළා. මුල් වරට විශ්‍රාම වැටුප ලැබුණේ ගිය මාසේ. ඒ මුදලින් ළමා නිවාසයකට කෑම වේලක් දීලා ඒ දරුවන්ට ඇඳුම් අරගෙන දුන්නා.

දවල්ට කන්න මොනවාහරි හදලා බැංකුවට යන්න හිතුවත් එන ගමන් මොනවා හරි අරගෙන එනවයි කියලා පස්සේ තීරණය කළා. බළලා එළියට දාලා දොරවල් වහලා තමරා කාර් එකට ගොඩවුණා. තමරාගේ හිතේ තිබුණේ නොසන්සුන් කමක්. හරියට අනවශ්‍ය ගමනක් යනවා වගේ හැඟීමක්. ප්‍රියලාල් තමන්ව දාලා ගියාට පස්සේ එකම දවසක්වත් සැපදුක් අහන්න ඇවිත් නොගිය බව තමරාට මතක් වුණා. හැමදාමත් තමරාව රිදවපු කාරණයත් එයමයි. කාලෙකට පස්සේ තමන් ගැනම කනගාටුවක් තමරාට දැනුණා. ප්‍රියලාල් දවසක් හරි තමන්ට අවංකව ආදරය කළා නම් එහෙම කරන්න බැහැ නේද කියලා තමරාට හිතුණා.

තමරා බැංකුවට යනකොට වෙලාව දහයට විතර ඇති. වැඩි සෙනගක් හිටියෙත් නැහැ. තමරා කොළ පුරවලා සම්පූර්ණ විශ්‍රාම වැටුපම අතට ගත්තා. ඒ සල්ලි අතට ගත්තාට පස්සේ තමරාට දැනුණේ තමන්ට අයිති නැති යමක් ළඟ තියෙනවා වගේ නොසන්සුන් කමක්. ඉක්මනින් නිදහස් විය යුතුයි කියනවා වගේ හැඟීමකින් හිත බරවුණා . බැංකුවෙන් එළියට ආපු තමරා තමන්ගේ රථයට නැගලා අතුරුගිරිය පැත්තට පදවගෙන ගියා. මගදි හම්බවුණු සුපර් මාකට් එකක බැහැලා ගෙදරකට ඕනෑ කරන කෑම බීම වගේම වෙන අත්‍යවශ්‍ය බඩුත් ගත්තා. ලොකු චොක්ලට් එකකුත් ගත්තා.

අහලා තියෙන මග විස්තර අනුව ගියත් ගේ හොයාගන්න ටිකක් .අමාරු වුණා. කීප දෙනෙක්ගෙන්ම අහගෙන නිවැරදි ගේ හොයාගත්තා. ගේට්ටුව ඇරලා තිබුණු නිසා වත්තට කාර් එක අරගත්ත තමරා වාහනයෙන් නොබැහැම වට පිට බැලුවා. පොහොර නැතිව කේඩෑරි වෙච්ච මල් ගස් කීපයක්, වතුර නැතව හේබාලා ගියපු මිරිස් පැළ පාත්තියක් ඇරෙන්න වෙන කවුරුවත් පේන්න හිටියේ නැහැ.

තමරා දෙවරක් වාහනයේ නලාව නාදකළා. වයස හැට පහක හැත්තෑවක පමණ ගැහැනු කෙනෙක් ගේ පිටුපසින් ඇවිත් එබිලා බලලා නැවතත් ගේ ඇතුළට ගියා. තමරා කාර් එකෙන් බැහැලා ගේ පැත්තට ඇවිදගෙන ගියේ දෙගිඩියාවෙන්. බඩු මලුවල බරට තමරාට දොරේ සීනුව නාදකරන්නත් අපහසු වුණා. එතකොටම දොර පියනක් ඇරී සාමා පෙනී හිටියා. තමරාව දැකපු සාමාගේ මුහුණට ආවේ දකින දෙය අදහාගන්න බැරුවා වගේ ගතියක්. වහාම හිනාවක් මූණට එක්කරගත්ත සාමා,

" එන්න අක්කේ ඇතුළට " කියන ගමන් දොරකඩින් මදක් මෑත් වුණා.

බඩු මලු ටික පුටුවක් උඩින් තියපු තමරා සාලය සිසාරා බැල්මක් හෙළුවා. හැම තැනම තිබුණේම පාළු මුඩුම ගතියක්. නිවස වගේම අබලන් බඩු භාණ්ඩ මැද සාමාගෙනුත් පෙනුණේ අබල දුබල ගතියක්. ඒ එක්කම තමරාගේ ඇස් නැවතුණේ හඳක් වගේ මූණක් ළඟ. මූණේ ලොකු හිනාවක්. ඒ සාමාගේ දුව. ඒ වගේම ප්‍රියලාල්ගේ දුව. දරුවා ළඟට ගිය තමරා ගෙනාපු චොක්ලට් එක අතේ තිබ්බා. ආදරෙන් ඔළුව අතගෑවා.

" නැන්නා " දරුවා ගොත ගැහුවා.

" නෑ පුතේ ලොකු අම්මා "

ප්‍රියලාල්ගේ විශ්‍රාම වැටුපේ ඉතිරි කොටස දැමූ ලියුම් කවරය ටීපෝව මත තබා දිරාපත්වුණු පුටුවකට බර වෙන ගමන් තමරා කිව්වා.