අවුරුදු විසි ගණනක් තිස්සේ පාරේ බස් එකක එල්ලී උදේ හවා කොළඹ යන එන එක  පත්තියම් වී තිබුණත් ළඟදී සිට ඇඟට දැනෙන්නේ පුදුම තෙහෙට්ටුවකි. උදේ පාන්දර නැගිට උයා පිහා තබා සුපුනි පාසලට ඇරලවා වැඩට ගිය කාලෙදි වත් මෙතරම් තෙහෙට්ටුවක් දැනුණේ නැත.

" වයසට යනකොට ඔහොම තමයි ."
         අමරේ කියන්නේ එහෙමය. අවුරුදු විසි ගණනක් වැඩට ආවා ගියත් අමරේ හැර වෙනත් කිට්ටු යහළුවකු මට නැත. එයට හේතුව හවසට " සෙට් වෙන්න " වෙලාවක් හෝ හැකියයාවක් මට නොමැති වීමය. එහෙම ඕනෑ කමක්ද කවදාවත්ම තිබී නැත. පෙම්වතුන් කාලයේදී මෙන්ම විවාහවූ පසුවත් වැඩ ඇරුණු වහාම දිව ආවේ සුරම්‍යා මග බලා සිටිනා නිසාය.

" මූ ගෑනිට බයයි. "
            එකල කාර්යාලයීය සගයන් කීවේ එසේය. එහෙත් බයවීමට කෙනකු නොමැති වූ පසුව වත් මගේ ක්‍රියා කලාපයේ වෙනසක් සිදුවූයේ නැත. අද සිකුරාදා නිසා වෙනදාටත් වඩා බස්වල තදබදය වැඩිය. ඇඳිරි වැටෙන්නට පෙර නිවෙසට යායුතු වූයේ හවස හයෙන් පසුව තනිව නිවසේ සිටීමට සුපුනිගේ ඇති බය නිසාය. ඒ නැතත් තරුණ ගැහැනු ළමයකු ගොම්මන් වෙලාවක නොව දහවලකවත් තනිව නිවසේ දමා යාහැකි කලයක් නොවේ මෙය.
        අම්මා සිටි කාලයේ නම් බැරි අමාරුවෙන් හෝ මම එනතුරු සුපුනිගේ තනියට ආවාය. අල්ලපු වත්තේ මහ ගෙදර හිටියත් මල්ලීගේ බිරිඳ අරුණි නංගීගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක. මා එනතුරු එහාට ගොස් සිටීමට සුපුනිද අකමැතිය.
             ඉස්සර නම් වැඩ ඇරී ආ පසුව කිරීමට දහසක් රාජකාරි නිවසේ තිබිණි. රෙදි සෝදන්න, උයන්න, අස්කරන්න, තේ හදන්න පමණක් නොව සුපුනිගේ හෝම් වර්ක්ද මා එනතුරු බලා සිටියේය. මට ඇය අමතර පන්ති ගෙනයාමට හෝ ගෙන ඒමට කාලයක් නැති බැවින් සුපුනි උසස් පෙළ සඳහා තෝරාගත්තේ කලා විෂයන්ය. අමතර පන්ති කලේ ඔන් ලයින් ක්‍රමයටය. උසස් පෙළ ඉහළින්ම සමත් සුපුනි දැන් සිටින්නේ සරසවි පිවිසුම බලාපොරොත්තුවෙන්ය.
        ඒ කොහොම වෙතත් මගේ අම්මාගේ සහය නොලැබෙන්න මට මේ කිසිවක්ම කරගන්නට පුළුවන් වන්නේ නැත. උදෑසන සුපුනි පාසල් රියට නංවා වැඩට ගිය පසුව දහවල් නැවත ඇය නිවෙසට පැමිණි පසු මා එනතුරු කාලය ගෙවා දැමුවේ අත්තම්මා සමගය.
           හන්දියේ නැවැත්වූ බසයෙන් බැස්සා නොව එළියට වීසි විය. දනි පනි ගා කකුල් දෙකෙන් හිටගත්තේ නැතිනම් මා වැටෙන්නේ කානුවටය. 

" තාත්තේ,
එනකොට පාන් අරගෙන එන්න. "
       දහවල සුපුනි කෝල් කර කී පණිවිඩය සිහිවී බේකරියෙන් පාන් ගෙඩියක්ද කිඹුලා බනිස් ගෙඩි දෙකක්ද ගත්තේ සුපුනි කිඹුලා බනිස්වලට කැමති නිසාය. කිඹුලා බනිස් කෑමට සුරම්‍යා ද කැමතිය. මගදී හමුවී කතාවට සැරසෙන්නන්ද මගහැර ඉක්මන් ගමනින් ආවේ හතරවටින් කළුවර ගලා ආ බැවින්ය.
    ගේට්ටුව ඇර වත්තට ඇතුළුවීමේදී දුටු දර්ශනයෙන් මා ගල්ගැසිණ.
         රතු පසුබිමේ සුදු මල් වැටුණු බෝරිච්චි ගවුම හැඳ මිදුලේ වතුසුදු ගහෙන් කුඩා වට්ටියකට මල් නෙළන්නේ සුරම්‍යාය. මේ ඇයමය. දහ අට වසරකට පෙර දුටු දසුන දෑස් හමුවේ නැවත ජීවමානය.
               
" තාත්තේ.......
මොකද බය වෙලා වගේ "
             සුපුනි ඇසුවේ මගේ අතේ තිබූ ඔෆීස් බෑගය තමන්ගේ අතට ගන්නා ගමන්ය. සිහි එළවාගත් මා එක් අතකින් ඈ තුරුළු කරගෙනම ගෙට ඇතුළු වුයේ ,
 
" මොකුත් නෑ පුතේ.
හරි මහන්සී ." කියනා ගමන්ය.

" තාත්තා වොෂ් එකක් දාගන්න.
මම තේ එකක් හදාගෙන එන්නම් "
     සුපුනි ගෙට ගියේ වැරන්ඩා එකේ ලයිට් එකත් දාගෙනමය.
        ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක තුන ගලවා දමමින්ම වැරන්ඩාවේ හාන්සි පුටුවේ ඇලවුණු මා  සපත්තු දෙක පන්නා දමමින් කකුල් දෙක නිදහස් කරගත්තේ කල්පනාවෙන් තොරවය.
          මේ නම් සුරම්‍යාමය. සුරම්‍යා හිටි කාලයේදී හැමදාමත් මම එනතුරු මග බලා සිටියාය. ගෙට ආ විට ඇය කියන්නේද ඔය වදන් පෙළමය. මම නාගෙන එන විට උණු උණු තේ කෝප්පයක් වරදින්නේද නැත. 
             සුපුනි ලැබුණු පසුවද ඇගේ ආදර සත්කාරවල කිසිදු අඩුවක් සිදුවූයේද නැත. සුපුනි ඇඳගෙන ඉන්නා රතු පාට මල් ගවුම සුරම්‍යා අසනීප වීමට ආසන්න කාලයේදී සිංහල අවුරුද්දකට මසාගත්තේ ඇය විසින්මය. රෙදි කෑල්ල ගෙනත් දුන්නේ මාය. ඇය එයට පුදුම විදියට ආදරය කලාය. සුරම්‍යාගේ වියෝවත් සමගම හොඳ තත්වයේ තිබුණු සාරි, ගවුම් පුණ්‍යායතනයකට දුන්නත් රතු මල් ගවුම සෝදා නවා බෑගයක දමා අල්මාරියේ මගේ ඇඳුම් අතර තැබුවේ සුපුනිට දවසක පෙන්වන්නටය. මගේ ඇඳුම් මදින්නට සොයද්දී සුපුනිට ගවුම හම්බවෙන්නට ඇත. 
            සුපුනි ඇගේ ගවුමක් ඇඳ සිටිනු සුරම්‍යා දුටුවානම් මොන තරම් සතුටු වෙනවා ඇද්ද ? මොන තරම් ආඩම්බර වෙනවා ඇද්ද ? කොණ්ඩය දිගට ගොතා දැමූ විට ඇරපු අතක් නැත. සුපුනි සුරම්‍යා වාගේමය.
              සුරම්‍යා මිය යන විට සුපුනිට අවුරුදු දෙකකි. ඇගේ මරණයේ වරද ඩෙංගු මදුරුවා පිට පටවා මට හිත නිදහස් කරගැනීමට නොහැකිය. එය අපගේ සංසාරගත කර්මයකි. නැතිනම් සුරම්‍යා වැනි ආදරණීය ගැහැනියකට  ඒසා විශාල දඬුවමක් ලැබෙන්නට ඉඩක් නැත. මගේ දෑස් වේළී බොහෝ කල්ය. එහෙත් මා නොදැනුවත්වම උනා ආ කඳුළක් දෑස් තදින් පියවා හිරකරගත්තේ සුපුනී දකී යැයි බයටය.

" තාත්තේ,
මම තේත් හදාගෙන ආවා.
තාත්තා තවම මෙතනනේ."
           සුපුනි කීවේ නෝක්කාඩුවෙනි.
'
"අනේ පුතේ,
ඔය ගවුම ගලවලා වෙන ගවුමක් ඇඳගන්න. "
     මා පැවසුවේ බිඳුණු ස්වරයෙනි.