
සකල සතම බොදු බැතියෙන්........
ඈතින් පීකරයකින් ඇහෙනවා. රූපවතී ආච්චි අතුගෑම නවත්වලා අහගෙන හිටියා.
" කොහේ හරි තොරණක් වෙන්න ඇති.
ඒත් මේ වෙලාවට කොහෙද තොරණ.
තොරණ තියෙන්නේ රෑටනේ."
අනිත් අතට හිතුවා.
බෙග් මහත්තයා වෙන සින්දුවක් පටන්ගත්තා. රූපවතී ආච්චිට පුංචි කාලේ සිහි වුණා. කෙල්ල කාලේ බර බාගවල නැගලා තොරණ බලන්න ගිය හැටි මතක් වුණා. ළමයි පොඩිකාලේ නම් ගියේ ලෑන්ඩ්මාස්ටර්වල. ළමයින්ගේ තාත්තා ඔය ගමන්වලට ආවේ නැතත් අනිත් අය යනවට විරුද්ධ වුණෙත් නැහැ.
ළමයි පොඩිකාලේ කූඩු හදන්න බට ගස් කපන්නේ අවුරුදු ඉවර වුණු ගමන්මයි. ළමයින්ගේ තාත්තට අපූරුවට කැටයම් කපන්න පුළුවන්. ඒ කාලේ තමුන්ගේ ගෙදර තරම් ලස්සන වෙසක් කූඩු අහල පහලක තිබුණේ නැති බව සිහි වෙලා රූපවතී ආච්චිට හිනහවක් ගියා.
ඒකටත් එක්ක දැන්. කඩෙන් ගත්ත බකට් පහයි, පොල් තෙල් පහන් දහයයි විතරයි රූපවතී ආච්චිගේ වෙසක්. කලින් දවසේ රෑ වැස්ස වැස්සට බකට් පහම තෙමිලා. පහන්වල පිරිලා තියෙන වතුර බිමට හලලා වේළෙන්න තියපු රූපවතී ආච්චි වැටිලා තියෙන බකට් ටික අහුලලා කුණු ගොඩට දැම්මා.
ටිකක් වෙලා නිහඬව හිටපු පීකරය ආයෙමත් සින්දු කියන්න පටන්ගත්තා. අල්ලපු වත්තේ දයානිගේ ලොකු කොල්ලා පොල්ල යටින් කකුලක් දාගෙන බයිසිකලයක් පැදගෙන පාර පැත්තට යනවා දැක්කේ ඒ වෙලාවෙයි.
" පුතේ, ඔහොම පොඩ්ඩක් හිටිං "
රූපවතී ආච්චි කතාකලා.
" ඇයි ආච්චියේ ?"
" අර සිංදු ඇහෙන්නේ කිට්ටුව තොරණක් වත් තියෙනවද ?"
" නෑ...නෑ...
ඇයි ආච්චි දන්නේ නැද්ද?
අද ප්‍රජා ශාලාව ළඟ දන්සලක්.
තරුණ සමිතියේ අක්කලා ,අයියලා සංවිධානය කරන්නේ.
අපිත් යනවා හවසට
ආච්චිත් යං."
" අනේ පුතේ කරුවල වැටුණට පස්සේ මට ඕවයැ යන්න බැහැ.
උඹලා පලයල්ලා."
රූපවතී ආච්චි මිදුල අතුගාන්න පටන්ගත්තා. පූනියා ඇවිත් කකුලේ වෙලෙනකොටයි මතක් වුණේ ඊයේ දවසටම පූනියා දැක්කේ නැති විත්තිය.
" බඩගිනිද ?"
පූනියා මූණ ආච්චිගේ කකුලේ ඇතිල්ලුවා.
" පොඩ්ඩක් හිටිං ,කරවල කෑල්ලක් තම්බලා බත් කටක් අනලා දෙනකම් "
වෙසක් පෝය ඊයේ. ආච්චි සිල් ගත්තා. හැම පෝයකටම නැති වුණත් ළමයින්ගේ තාත්තා ඉන්න කාලේ ඉඳලම වෙසක් පෝයට සිල් ගන්න එක මග ඇරගත්තේ නැහැ. සිල් පවාරණය වෙලා ගෙදර ඇවිත් පූනියා හෙව්වත් පේන්න හිටියේ නැහැ.
පූනියා රූපවතී ආච්චිගේ පූසෙක් නෙවෙයි. නිතරම ඇවිත් බත් ටිකක් කාලා සාලේ වැටිලා නිදාගත්තට කාගේ පූසද කියන්න ආච්චි දන්නෙත් නැහැ. පහුගිය ටිකේ පූනියගෙ ඒම අඩු වුණේ රූපවතී ආච්චි වෙසක් සතියම නිර්මාංශ වීම නිසයි. පරිප්පු එක්ක බත් අනලා දුන්නට පූනියා නෙවෙයි කට තිබ්බේ.
මිදුල අතුගාලා ඉවර වෙලා ,හොද්දකුයි බතකුයි උයාගෙන පූනියටත් කරවල කෑල්ලක් තම්බලා බත් දීපු රූපවතී ආච්චි සිල් රෙදි ටිකත් හෝදලා දාලා නාගත්තා. බාල දුව අවුරුද්දට ගෙනත් දුන්නු පොඩි මල් චීත්තය ඇඳගත්තා. ලොකු දුව මහගෙන ආපු සුදු හැට්ටයත් ඇඳගත්තා. පුතා නම් ඇවිත් ගියේ හිස් අතින්මයි. අක්කලා ගෙනත් තියලා ගිහින් තිබුණු බුලත් අතම අරගෙන අම්මට වැන්දා. ඒ වෙලාවේ කොල්ලගේ ඇස් දෙකේ කඳුළු නලියන බව රූපවතී ආච්චි දැක්කා.
" ඒක ගෑනිට බයයි.
මට ආදරේ නැතිව නෙවෙයි ."
රූපවතී ආච්චි සුසුමක් හෙලලා හිත සැහැල්ලු කරගත්තා.
රූපවතී ආච්චි සැර ගෑනියෙක් නෙවෙයි. පුතාට මනමාලි හොයලා දුන්නෙත් ආච්චිම තමයි. ඒත් අවුරුද්දක්වත් එක ගෙදර වසන්න ලේලිට බැරි වුණා. කනු කුනු ගාලා පුතාවත් ඇදගෙන ටවුමේ කුලී ගෙයකට ගියා. මුල් කාලෙදි රෙදි කෑල්ලක් අරගෙන අවුරුද්දකට වතාවක්වත් ඇවිත් ගියාට දැන් අවුරුදු තුන හතරක ඉඳලා මහ ගේ පැත්ත පලාතක ලේලි ආවේ නැහැ.
ළමයින්ගේ තාත්තා ආන්තරා වුණාට පස්සේ දූලා නම් කිව්වේ ගේ වහලා දාලා උන් එක්ක යමුයි කියලයි. ඒත් මහ මනුස්සයගේ හුස්ම පොදේ සුවඳ මැකෙන්නත් කලින් ගේ වහලා දාලා යන්න රූපවතී ආච්චිට හිතුණේ නැහැ. පස්සේ ඒ තනිකමට හුරු වුණා. දූලා දෙන්නා විඩෙන් විඩේ ඇවිත් බලලා ගියා. බඩු කළමනා ගෙනත් දුන්නා. උන්ට පුළුවන් විදියට අතට කීයක් හරිත් දුන්නා. වැඩ්හිටි ආධාරයත් ලැබුණා. අඳේට දීලා තියෙන කුඹුරු කෑල්ලෙන් වී ටික ලැබුණා. රූපවතී ආච්චිට අහේනියක් තිබුණේ නැහැ.
බිත්ති ඔරලෝසුවේ බැටරි මාරුකරගන්න කෙනෙක් නැති නිසා වෙලාව නැවතිලා. ඒ වෙනකොට දෙකට විතර ඇති කියලා හිතුණා. පීකරය බෙග් මහත්තයාව අතහැරලා රූපවතී ආච්චි අහලා නැති සිංදු කියන්න වුණා. උදේට රොටියක් පුච්චගෙන කාපු නිසා දවල්ට කන්න බඩගින්නක් තිබුණෙත් නැහැ. අසූවත් පැනලා වුණාට රූපවතී ආච්චිට ඒ තරම් වයසක් පේන්නේ නැහැ. සුදුයි, පුංචී, සිරියාවන්තයි. ඒ කාලේ හොඳ හැඩකාරි කියලා ගමේ පරණ උන්දැලාටනම් මතකයි.
කොස් ඇට දාලා උයාගත්ත මෑ කරල් මාළුවත් එක්ක බත් ටිකක් බෙදාගත්තට කන්න පිරියක් තිබුණේ නැහැ. දරුවෝ කසාද බඳින්න කලින් වෙසක් බලන්න ගිහින් කෑවට පස්සේ දන්සලකින් කෑවේ නැහැ.
" දන්සල පැත්තේ ගිහින් එන්න ඕනෑ."
එක පාරටම හිතුණා. අලුත් ඇඳුම් ඇඳගෙන හිටපු නිසා ඇඳුම් මාරුකරන්න ඕනෑ වුණෙත් නැහැ. ප්‍රශ්නයකට තිබුණේ දකුණු කකුල. වාත අමාරුව නිසා දවස් ගානක ඉඳලා කකියනවා.
" නැවතිල්ලේ හෙමිහිට යනවා ."
රූපවතී ආච්චි හිතුවා. ඉස්සරහ දොර ඇදගෙන එළියට බැස්සට පස්සෙයි කූඩේ මතක් වුණේ.
" දැන් ගිනි මරේට පෑව්වට හවහට වැහි පොදක් වැටෙන්න බැරි නෑ "
ආයෙත් දොර ඇරගෙන ආව රූපවතී ආච්චි කුඩෙත් ඉහලගෙනම එළියට බැස්සා. මැයි මාසෙට පායන අව්වේ සැර බාල කරන වෙසක් හුළඟ නිසා වැඩි රස්නයක් දැනුණේ නැහැ. පාර දිගට හම්බවෙන අය එක්ක කතා කරකර, වැටවල් ළඟ නැවති නැවතී ආ නිසා කකුල් අමාරුව ගානක් වුණෙත් නැහැ. දන්සල ළඟට එනකොට එතන එහෙ මෙහෙ දුවන ගැටව් ගැටිස්සියෝ මිසක දන්සලක් තිබුණේ නැහැ. හදලා තිබුණු මඩුවේ පිළිවෙලකට පුටු තියලා තිබුණට කවුරුවත් හිටියේ නැහැ.
" පුතේ ,
අද නෙවෙයිද දන්සල "
රූපවතී ආච්චි තරුණ පිරිමි ළමයෙකුගෙන් ඇහුවා.
" අද තමයි ආච්චියේ .
ඒත් තවම දෙකටවත් නැහැනේ.
දන්සල පටන්ගන්නේ හයට."
" එහෙමද ,
ඒතරම් හවස් වෙනකම් ඉන්න බැහැ පුතේ .
මම යන්නම්."
" යන්න එපා ආච්චියේ
ආච්චි ඇතුළෙන් වාඩි වෙලා ඉන්න.
ආපු එකේ දන්සල වැඳලම යන්න. "
කෙල්ලෝ දෙන්නෙක් රූපවතී ආච්චිගේ අතින් අල්ලගෙන ගිහින් ඇතුළෙන් වාඩි කළා. රූපවතී ආච්චි මඩුවේ පුටුවක වාඩි වෙලා බලාගෙන හිටියා. කෙල්ලෝ, කොල්ලෝ එහෙ මෙහෙ දුවනවා. පුටු උස්සගෙන එනවා, පිඟන් හෝදනවා. කඩි වගේ වැඩ. ආච්චිව වාඩිකරවලා ගිය කෙල්ලෝ දෙන්නා ආයෙත් ආවා.
" ආච්චිට පාළුද ?
පාළු නම් එන්න වැඩට උදව් වෙන්න."
රූපවතී ආච්චි බොහොම කැමැත්තෙන් කෙල්ලෝ දෙන්නා එක්ක මඩුව පිටිපස්සට ගියා. එතන එකම ජරමරයයි. පොල් ගානවා, පොල් මිරිකනවා, ලූනු සුද්දකරනවා, කහ බත් හදන්නයි ලෑස්තිය. රූපවතී ආච්චිත් ලූනු සුද්දකරන තැනින් කොලොම්බු කොටයක් අරගෙන වාඩි වුණා. කකුල් අමාරුව ඇරෙන්න දෙයියන්ගේ පිහිටෙන් වෙන අමාරුවක් රූපවතී ආච්චිට නැහැ. ඇස් දෙකත් හොඳට පේනවා.
" ආච්චියේ,
ආච්චිලගෙ කාලෙත් මේ වගේ දන්සල් දුන්නද ?"
එහෙම ඇහුවේ දෙණිය ළඟ පේමසිරිගේ පුතා බව රූපවතී ආච්චි අඳුනගත්තා.
" මට නම් එහෙම මතකයක් නැහැ පුතේ.
ඒ කාලේ අපිව හිතු මනාපෙට වෙසක් බලන්න කියලා ගෙවල්වලින් ඇරියෙත් නැහැනේ. ගියානම් ගියේ අම්මා තාත්තා එක්ක. දෙතුන් පාරක් බරබාගවලින් තොරණ බලන්න ගියා නම් මතකයි. කසාද බැන්ද අලුත අපේ එක්කෙනා එක්ක වෙසක් එකට අටමස්ථානෙ වඳින්න ගිහින් වෙසක් දවසෙ අනුරාධපුරයේදී කැන්ද කොළවලට බෙදපු මඤ්ඤොක්කයි පොල් සම්බෝලයි කෑවා.
අපේ එක්කෙනත් වැඩිය ඇවිදින්න මනාප කෙනෙක් නෙවෙයිනේ. ළමයි ලොකු වුණාට පස්සේ නම් උං එක්ක වෙසක් බලන්න ගිහින් දන්සල්වලින් කෑවා. උනුත් කසාද බැඳලා ගියාට පස්සේ සිල් ගන්න පන්සලට යනවා ඇරෙන්න මම වැඩිය කොහාටවත් යන්නේ නැහැ.
ඒ වෙලාවෙම තමයි ගුණවතී දූලා දෙන්නත් එක්ක පොල් වණ්ඩු එක්ක තේ අරගෙන ආවේ. රූපවතී ආච්චිත් වණ්ඩු කාලා තේ බිව්වා. කොල්ලෝ, කෙල්ලෝ බොහොම ආසාවෙන් ආච්චි කියන දේවල් අහගෙන වැඩ කළා. අතුරු ප්‍රශ්න ඇහුවා. තමුන්ගේ තරුණ කාලයට වඩා දැන් තරුණ ළමයි මොන තරම් ඉදිරියෙන් ඉන්නවද කියලා රූපවතී ආච්චිට හිතුණා. කොල්ලෝ කෙල්ලෝ එකට වැඩකළා, විහිළු කරගත්තා, හිනා වුණා. මනමාල කොමක් ගෑවිලාවත් නැහැ නේද කියලා හිතෙනකොට පුදුමත් හිතුනා. රූපවතී ආච්චිට නොදැනුනාට ඇස් වලින් කතාබහ කරන ජෝඩු දෙක තුනකුත් එතන හිටියා.
කාලය ගෙවිලා ගියා. රූපවතී ආච්චි හිටියේ හරිම සන්තෝසයෙන්. ඒත් ටික ටික අඳුර වැටීගෙන එනකොට ටිකක් කලබල වුණා.
" එහෙමනම් මම ගිහින් එන්නම් පුතේ "
රූපවතී ආච්චි දණහිස් දෙකට අත ගහලා නැගිට්ටා.
" ආච්චි කොහේ යන්නද ?
කාලම යමු.
අපි ගිහින් ඇරලවන්නම් "
කොල්ලෝ දෙතුන්දෙනෙක්ම ඉදිරිපත් වුණා.
" වණ්ඩු කාලා තේ බිව්වැයින් බඩගින්නක් නැහැ වගේ."
ආච්චි එකල මෙකල වුණා.
උයලත් ඉවර වුණා. එතකොට වෙලාව හයටත් කිට්ටුයි. කවුරුත් බලාගෙන හිටියේ දන්සල විවෘත කරන්න මැම්බර් මහත්තයා එනකම්. ටිකෙන් ටික දන්සල් පෝලිමත් දික්වුණා. ලයිට් වැල් වලින් වෙසක් සිරිය වෑහුණා. පීකරය දම් රසය ගමටම බෙදුවා.
හයහමාරත් පහුවුණා. ඒත් මැම්බර් මහත්තයා නැහැ. කොලු කෙලි නඩය කලබල වුණා. දන්සල් පෝලිම නොසන්සුන් වුණා. රූපවතී ආච්චි යන්න නැගිට්ටා.
" මේක හරියන්නේ නැහැ.
අපි දන්සල විවෘත කරමු.
හතරේ ඉඳලම මිනිස්සු පෝලිමේ රස්තියාදු වෙනවා. "
සභාපති ළමයා කිව්වා.
" එතකොට ආරාධිත අමුත්තා ? "
"එයා එන වෙලාවක ආපුදෙන්.
මේකට මහන්සි වුණේ අපි.
අපි තීරණයක් ගනිමු "
" එහෙනම් දන්සල විවෘත කරන්න රූපවතී ආච්චිට කියමු "
ලේකම් ගෑනු ළමයා කිව්වා. හැමෝම අප්පුඩි ගැහුවා.
රූපවතී ආච්චි පහන පත්තුකළා. මුල්ම බත් පිඟාන බෙදලා ආච්චි අතට දුන්නා. ආච්චිගේ ඇස් ලයිට් එළියෙන් දිලිසුණා. වෙසක් හඳ අහසේ ඉඳගෙන හිනා වුණා.
ෂර්මිලා බංදුනී දංවත්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd