දුරකතනය තව වරක් වැදුණා. ඔහේ වදින්න ඇරලා අංජලී ලිපි ගොනු අතර හිස සඟවාගත්තා. ඒත් හිත තිබුණේ බොහොම දුර ඈතක. ඒක හොඳට හුරු අංකයක්. ඉස්සර නම් දිනපතා ඇමතුම් ලැබුණු අංකයක්. ඒත් පහුගිය කාලය පුරාම ගොළුව හිටි අංකයක්. ඇමතුම් සීයකට වඩා දුන්නත් පිළිතුරු නොලැබුණු අංකයක්. 

" ඔහේ වැදිච්ච දෙන්
මම ගන්නේ නැහැ."
         අංජලී හිත තදකරගත්තා.
           විනාඩි දහයකට විතර පස්සෙ දුරකතනය ආයෙමත් අඬන්න ගත්තා. අංජලී තමන්ගේ පාඩුවේ වැඩ.

" මොකද වෙලා තියෙන්නේ? 
ඔන්න ඕක ආයෙත් වැදෙනවා.
ආන්සර් කරන්නේ නැද්ද? "
     අල්ලපු මේසේ ඉන්න නිලූකා ටිකක් තදින් කිව්වා. නින්දෙන් ඇහැරිලා වගේ වට පිට බලපු අංජලී දුරකතනය කනේ තියාගත්තා.

" හලෝ "
" හලෝ අංජලී "
            එහා පැත්තෙන් ඇහුණේ අංජලී අහන්න ආසම කරන කට හඬ. සංසාරයක් හුරු පුරුදු කට හඬ. කවදාවත්ම හිතෙන් අමතක කරන්න බැරි කට හඬ. අංජලීගේ උගුර තද වෙලා ඇස් වලට කඳුළු පිරුණා.

" අංජලී , ඔයා අහගෙන නේද ඉන්නේ "
           නිරංජන් ඇහුවා. 

" ඔව් "
        අංජලී තනි වචනෙන් උත්තර දුන්නා.

" මට ඔයාව හම්බවෙන්න ඕන "
     බැහැයි කියන්න කියලා හිත කිව්වත්

" කවදද? "
           අංජලී ඇහුවා.

" අද
වැඩ ඇරිලා පුරුදු තැනටම එන්න .
මම එතැන ඉන්නවා ."
             හා කිව්වෙත් නැතිව බෑ කිව්වෙත් නැතිව අංජලී දුරකතනය තිබ්බා. ඒ කොහොම වුණත් නිරංජන් බලාගෙන ඉන්න බව අංජලී දන්නවා.
           අංජලී වෙලාව බැලුවා. හතරට කිට්ටුයි. ඒ වෙනකොටත් සමහර මේස වල කට්ටිය ගෙදර යන්න ලෑස්ති වෙනවා. 

" නෑ මම යන්නේ නැහැ."
            හිත තදකරගත්ත අංජලී බල බලා හිටපු ලිපි ගොනුව ආයෙමත් මුල ඉඳලා බලන්න පටන් ගත්තා. එක්කෙනා දෙන්නා පිටවෙලා යන හඬ ඇහුණත් අංජලී ඔළුව ඉස්සුවේ නැහැ. 

" ඇයි අද යන්නේ නැද්ද ?"
       නිලූකා අංජලීගේ පිටට තට්ටුවක් දාගෙන ගියා. ඔළුව උස්සලා බලනකොට වෙලාව 4.20 යි. අංජලී නැගිට්ටා. මේසය අස්කරා. බෑග් එකෙන් පනාව අරගෙන ඔළුව පීරගත්තා. 
           කෝච්චිය හතරයි පනහා. ස්ටේෂන් එකට පයින් යන දුර නිසා වැඩි කලබලයක් නැහැ. බෑග් එකත් කරේ දාගෙන අංජලී කන්තෝරුවේ පඩි පෙළ බැස්සා. පාර අයිනේ ඉඳගෙන කල්පනා කළා.

" යනවද?
  නැද්ද? 
නෑ, යන්නේ නෑ "
         ඒත් අංජලීගේ කකුල් හැරුණේ නෙරංජන්ගේ පැත්තට. 
          අංජලී කොෆි ෂොප් එක ළඟට එතකොටම මල් වැස්සක් වැටෙන්න පටන්ගත්තා. කුඩය ඉහලන්න කම්මැලි කමට මල් වැස්සේ තෙමීගෙනම කොෆි ෂොප් එකට ගොඩවුණා. හුඟ කලකින් ආවේ නැතත් පරණ පුරුදු සේවිකාව හිනාවකින් අංජලීව පිළිගත්තා. වැහි අඳුර නිසා ඇතුළේ මද ආලෝකයක් දැල්වුණා. නෙරංජන් මැයි මල් ගහ දෙසට මුහුණලා තියෙන පරණ පුරුදු මේසයේම වාඩි වෙලා හිටියා. ඒ මේසය වෙන් කරලා තිබුණේ දුම් බොන්නන්ට. අංජලී කොච්චර එපා කිව්වත් නෙරංජන් කවදාවත්ම ඒ නරක පුරුද්ද අතහැරියේ නැහැ. 
           අංජලීව දැක්ක ගමන්ම නෙරංජන් දුම් වැටිය අලු බඳුනේ ඔබලා නිවා දැමුවා. හිස මුදුනට වෙන්න බැඳපු කැරලි කොණ්ඩය, කනක දාගෙන ඉන්න කඩුක්කම තවම එහෙමමයි. කතා නැතිවම අංජලී පුටුවක් ඇදගෙන නෙරංජන් ඉදිරිපසින් වාඩි වුණා. තත්පර දෙක තුනක් ගතවුණත් දෙන්නම කතාකරන්න ඉක්මන් වුණේ නැහැ. අංජලී තීන්ත කැලැල් ඉතිරි වුණු නෙරංජන්ගේ අත්වල  ඇඟිලි දිහා බැලුවා. ඒ දිගටි ඇඟිලිවලින් පින්සල අල්ලන හැටි මැවිලා පෙනුනා.
           කතාවක් සිනහවක් නැතිව තවත් තත්පර කීපයක් ගතවුණා. කවුරු ඉස්සර වෙයිද කියලා දෙන්නම බලාගෙන හිටියා.

" චුට්ටක් විතර මහත් වෙලා
සුදු වෙලා
ලස්සන වෙලා "
       නෙරංජන් නිහඬතාව බින්දා.
         අංජලී රතු වුණා. දෙන්නාට දෙන්නා අමුත්තෝ වගෙයි. මේ දැනෙන හැඟීමට නමක් දෙන්න හිතනවා වගෙයි.
              ඔයාට හම්බවුණු සම්මානය ගැන ප්‍රවෘතිවලින් දැක්කා. ෆේස් බුක් එකෙන් කියෙව්වා. කතාකරලා සුබ පතන්න හිතුවත් ඔයා ගන්න එකක් නැහැ කියලා හිතුණා. 
කවද්ද ලංකාවට ආවේ ?"
       අංජලී ඇහුවා.

" ගිය සතියේ.
අද තමයි වැඩ ටික පිළිවෙළක් කරගෙන ස්ටුඩියෝ එක අස් පස් කරගත්තේ ."

" ආයේ යන්නේ නැද්ද ?"

" යන්නේ නැහැ කියන්න බැහැ. ඒත් ටික කලකට යන්නේ නැහැ. "

" ඒ සම්මානය මගේ නෙවෙයි ඔයාගේ .
ඒ පේන්ටින් එකේ ඉන්නේ ඔයයි කියලා කව්රුවත් දන්නේ නැති වුණාට ඔයයි මමයි දන්නවා.
ඇත්තටම මම මේ පාර ආවේ ඔයා නිසා."
       නෙරංජන් වැස්ස දිහා බලාගෙන කිව්වා.
   
"ඇයි එහෙනම් මගේ කෝල්ස් ආන්සර් කළේ නැත්තේ "
       අංජලී නෙරංජන්ගේ ඇස් දිහා බලාගෙන ඇහුවා.

            " මට හිතුණා ඒකෙන් ඔයාගේ පිළිවෙලක් වෙමින් යන ජීවිතය ආයෙම අපිළිවෙල වෙයි කියලා. ඔයාට තීරණයක් ගන්න බැරිවෙයි කියලා. මම වගේ තැන තැන ඇවිදින අහිගුණ්ඨික ජීවිතයක් ගතකරන කෙනෙක් ඔයාට ගැළපෙන්නේ නැහැ. ඔයාට හරියන ජීවිතය තමයි ඔයාට දැන් ලැබිලා තියෙන්නේ."
          නෙරංජන් තුන්වෙනි කෝපි කෝප්පයත් ගෙන්නව ගත්තා.

" ඒත් අපි දෙන්නම එකතුවෙලා ගන්න ඕන තීරණයක් ඔයාට එහෙම තනියම ගන්න පුළුවන්ද?
මගේ සතුට තීරණය කරන්න ඕනෑ මම නේද? "
      අංජලීගේ හඬ ටිකක් උස් වුණා.

" ඔයා වැරදි තීරණයක් ගනී කියලා මම බය වුණා. ඒ නිසා මම නිහඬ වුණා. "

" ඒකෙන් මම විඳෙව්වා. "
          අංජලී ලේන්සුවෙන් ඇස් දෙක පිසදැම්මා.
        වැස්සත් එක්කම මැයි මල් හැලෙන දිහා දෙන්නම නිහඬව බලාගෙන හිටියා. හයයි දහය කෝච්චිය මගහැරුණොත් ගෙදර යන්න තවත් රෑ වෙන බව අංජලීට මතක් වුණා. අංජලී හෑන්ඩ් බෑග් එක ළඟට ඇද ගත්තා. 

" තව ටිකක් ඉඳලා යන්න"
      නෙරංජන් හෙමින් කිව්වා. 

" මට ඕනෑ වුණේ හැමදාම ඉන්න.
ඔයයි පැනලා ගියේ 
දැන් මට තනි තීරණ ගන්න බැහැ.
මම එනකම් බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා "
       අංජලී නැගිට්ටා.
මල් වැස්ස මහ වැස්සක් බවට පත් වුණා.