
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝගයක් අනුව ඇමෙරිකන් හමුදා ඩෙල්ටා ෆෝස් හමුදා කණ්ඩායමක් විසින් වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගෙන ඇමෙරිකාවට ගෙන ගොස් නඩු පැවරීමේ සිද්ධිය සමග රට රටවල ආරක්ෂාව මෙන්ම ස්වෛරීභාවය පිළිබඳව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබෙන අතර, ඇමෙරිකාවට තම අභිමතය අනුව පමණක් මෙවැන්නක් සිදු කළ හැකි ද ? මෙම සිදුවීම පසුපස ඇත්තේ වෙනිසියුලාව සතු අතිවිශාල තෙල් නිධි තමන් සතුකර ගැනීමේ අවශ්‍යතාවක් ද? එසේත් නැත්නම් චීන බලපෑමට අභියෝග කිරීමක් ද? මෙම සිදුවීම සම්බන්ධව රටක් ලෙස අප ප්‍රතිචාර දැක්වූ ආකාරය නිවැරදි ද? වැනි කරුණු පිළිබඳව ප්‍රශ්නාර්ථයක් සමාජයෙහි මතුව තිබේ. මේ ඒ පිළිබඳ සංවාදයකි.
ඇමෙරිකාව තම ආධිපත්‍යයට යට නොවන රටවල් අඩපණ කරනවා හෝ විනාශ කරනවා
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක
ඇමෙරිකාවට තම අභිමතය පරිදි වෙනිසියුලාවට ඇතුළු වී ජනාධිපතිවරයා පැහැරගෙන යාමට නීතිමය හැකියාවක් තිබේ ද? සහ එවැනි නීතිමය බලයක් තිබේ ද? යන ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකළ හොත් ඊට දිය හැකි පිළිතුරු 03ක් තිබෙනවා. එනම් හැකියාවක් තිබෙනවා, නමුත් නොකළ යුතුයි, නමුත් එය සිදු කරනවා.
මේක හරි උහතෝකෝටිකයක්. ලෝකයේ අද තියෙන්නේ වෙනස් තැනක. පැරණි ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රවේශ වශයෙන් හෝ පැරණි ලෝක පිළිවෙළ පිළිබඳව තිබෙන අත්දැකීම් වලින් හෝ ජාතික රාජ්‍යයන්හි පැවැත්ම පිළිබඳව තිබෙන ගිවිසුම්, එකඟතා, සම්මුති පිළිබඳව තිබෙන දැනුමෙන් හෝ මෙය අපට තේරුම් ගන්න බැහැ. ඒ නිසා එක්තරා ආකාරයකට මේ ක්‍රියාවලිය සමග නවදැනුමක් නිෂ්පාදනය කරගත යුතුයි.
1910-1915 අතර කාලයේ පළමු ලෝක යුද්ධය ඇතිවුණා. මේ යුද්ධය නිසා අතිවිශාල විනාශයක් ලෝකයට සිද්ධ වුණා. මින් පසුවයි ඇමෙරිකාවේ සිටි ජනාධිපතිවරයා වන වුඩ්රෝ විල්සන් ජාතීන්ගේ සංගමය හැදීමට පුරෝගාමී මෙහෙවරක් සිදුකරන්නෙ. ඔහු විශ්වාස කළ දෙයක් තමයි ජාත්‍යන්තර සම්බන්ධතා හා එකඟතා මගින්, ජාත්‍යන්තර නීතිය මගින්, ලෝකයේ සාමය ඇති කළ හැකියි බව. උදාහරණයක් විදිහට හැමෝම යුද්ධ කරන්නෙ නැහැ කියලා ගිවිසුමක් අත්සන් කරලා තිබෙන විට යුද්ධ කිරීම ජාත්‍යන්තර වරදක් බවට නීති සහ ජාත්‍යන්තර සම්මුති තිබෙන විට ඒ වගේම නිරවිකරණය පිළිබඳ ගිවිසුම් (න්‍යෂ්ටික අවි සහ මිනිසුන් ලක්ෂ ගණනක් එකවර ඝාතනය කළ හැකි ආයුධ තැනීම නොකිරීම) අත්සන් කර තිබෙන විට කිසිවෙක් යුද්ධ කරන්නේ නැහැ කියන මතය ඔහු දැරුවා.
වුඩ්රෝ විල්සන්ගේ අදහසක් අනුව ජාතීන්ගේ සංගමය හැදුවට එය බිහිසුණු විහිළුවක් බවට පත් කරමින් දෙවැනි ලෝක යුද්ධය ඇතිවුණා. එය පළමු ලෝක යුද්ධයට වඩා අති බිහිසුණු මනුෂ්‍ය ඝාතන, දේපොළ විනාශ, රාජ්‍යයන් අඩපණ කිරීම් සහිතව මානව සංහතියට සිදුකළ හැකි විශාලම විනාශය කළා.
වුඩ්රෝ විල්සන්ගේ ජාතීන්ගේ සංගමයේ ගිවිසුම් එකඟතා තිබුණට වුණේ මොකක්ද? අන්තිමට වුඩ්රෝ විල්සන් විහිළුවක් බවට පත්වුණා. වුඩ්රෝ විල්සන් කියන්නේ විඥානවාදියකු ලෙස නොකෙරෙන දේවලට මහන්සි වුණු පුද්ගලයෙක්.
1945 පස්සෙ යටත්විජිතවාදයෙන් නිදහස ලැබූ අලුත් රටවල් වූ ඉන්දියාව, ශ්‍රී ලංකාව එක්ව නොබැඳි ජාතීන්ගේ සමුළුව පිහිටුවා ගත්තා. නොබැඳි ජාතීන්ගේ සමුළුවේ ඉන්දියාව වගේම ශ්‍රී ලංකාවත් ප්‍රබල රටවල් වුණා. ඉන්දියාවේ ජවහල්ලාල් නේරු, ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක, මාෂල් ටිටෝ, සුකර්නෝ, ගඩාෆි තීරණය කළා කඳවුරුවාදී ලෝකෙක කොයි වෙලාවෙ යුදධයක් ඇති වෙයි ද දන්නේ නැහැ, ඒ නිසා අපි නොබැඳි ජාතියක් ලෙස ඉමු කියලා. මේ තුළ ස්වෛරී රාජ්‍යයකට තවත් රාජ්‍යයක් මැදිහත් නොවී ඒ රටේ ස්වෛරීත්වයට ගරු කිරීම ජාත්‍යන්තර නීති බවට පත්වුණා. නමුත් මේ සියලු දේවල් ලෝක බලවත්වාදය ඇතුළෙ අදාළ වන්නේ නැහැ.
ගෝලීය දේශපාලනය ඇමරිකන් පොලිස්කාරයාගේ වැඩ බවට ප්‍රසිද්ධ සන්නාමයක් තිබුණා. නමුත් මේ පාඨය අද වෙනස් කිරීමට සිදුවෙලා තිබෙනවා. පොලිස්කාරයා කියන්නෙ නීතිය සහ සාමය ආරක්ෂා කරන අයට. නමුත් ඇමරිකානු මෙහෙයුම් ඇතුළෙ නීතිය හා සමාය ආරක්ෂාවීමක් සිදුවන්නෙ නැහැනෙ. ඒ වෙනුවට සිදුවෙන්නෙ බලහත්කාරී, ආක්‍රමණශීලි , අනෛතික, සදාචාර විරෝධී, මිලිටරි මෙහෙයුම්. පෙනෙන විදිහට ඇමරිකානු මතය වන්නේ ලෝකයේ ඇමරිකානු මතය මිස විකල්ප දේශපාලන ආකෘති, වාමාංශික ආකෘති, සමාජවාදී කියාගන්නා ආකෘති රුස්සන්නේ නැහැ. හුණුවටය නාට්‍යයේ නතාලියා කියනවානේ මට සාමාන්‍ය මිනිස්සුන්ගේ ගඳ ඉවසන්න බැහැ, මට එතනට යන්න බැහැ කියලා. ඒ වගේ ඇමරිකානු ආත්මය තුළ තිබෙනවා වගේ ගතියක් දැනෙනවා ඔවුන්ගේ ධනේශ්වර න්‍යායපත්‍රයට හා සංස්කෘතියට නොගැළපෙන රටවල් එච්චර රුස්සන්නේ නැති ගතිය. මේක දේශපාලන කාරණයක්. මේක තමයි එක.
දෙවැනි කාරණය වන්නේ ආර්ථික ක්‍රියාවලිය. ලෝකයේ තෙල් ආර්ථිකය ගත්තම එය බරපතළ දේශපාලන ආර්ථිකයක්. මේවා මුල්කරගෙන මුළු ලෝකෙම දේශපාලනය හසුරුවන, තමන්ගේ වෙෙළඳ ආධිපත්‍යයට අභියෝග කරන රටවල් අඩපණකිරීම හෝ විනාශ කිරීම ලෝකයේ සාමාන්‍යයෙන් සිද්ධවෙන දෙයක්.
මේක තමයි ලෝක දේශපාලනයේ යථාර්ථය. මේ ඇත්ත තේරුම් අරගෙන රටවල් තමන්ගේ ගෝලීය දේශපාලන, ආර්ථික ක්‍රියාවලිය හසුරුවා ගන්නේ කොහොමද කියන කාරණය අද දවසේ තීරණාත්මක, බරපතළ අභියෝගය බවට පත්ව තිබෙනවා.
ඇමෙරිකාව එල්‍ල කරන චෝදනා පදනම් විරහිතයි
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහලේකම්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
දීර්ඝකාලීනව වෙනිසියුලාවේ ආණ්ඩු යටත් කර ගැනීම පාලනය කිරීම හෝ පලවා හැරීම සඳහා වන ඇමරිකානු වුවමනාව ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මත රඳාපවතින බව පැහැදිලි සත්‍යයක්. පළමුවැන්න වෙනිසියුලාව සතු මහා ඛනිජ සම්පත් පාලනය කිරීමේ වුවමනාව වන අතර දෙවැන්න වෙනුසියුලාවෙන් බිහි වූ ඇමරිකානු විරෝධී වාමාංශික පාලකයන්ගේ පෞරුෂය සහ දේශපාලන තේරීම් තුළ කලාපයේ ඇමරිකානු වුවමනාව අනතුරට පත්වීමය. ස්පාඤ්ඤ යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා දියත් කළ නිදහස් සටනේ පියා ලෙස සැලකෙන සයිමන් බොලිවර්ගේ අධ්‍යාත්මයෙන් උපත ලැබූ ප්‍රබල වාමාංශික නායකයකු වූ හියුගෝ චාවේස් 1999 දී බලය ලබා ගැනීමෙන් පසුව ඇමරිකානු සමාගම් සතු වූ මහා ඛනිජ සම්පත් නැවත වෙනිසියුලානු ජනතාව සතු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ඇමරිකානු ප්‍රතිප්‍රහාරය වඩා දරුණු වුණා.
වෙනිසියුලාව ලෝකයේ ඛනිජ තෙල් නිපදවන රටවල් විසින් ගොඩනැගූ ඔපෙක් සංවිධානයේ ආරම්භක සාමාජික රටවල් 5න් එකක් වූ අතර පසුකාලීනව 8වැනි විශාලතම නිෂ්පාදකයා බවට පත්විය. එම රටවල් අතරින් විශාලතම ඛනිජ තෙල් සංචිතය සහිත රට ලෙස සැලකෙන්නේ වෙනුසියුලාවයි එය බැරල් බිලියන 303ක්.
ඊට අමතරව වෙනිසියුලාව වානේ, ඇලුමිනියම් හා සිමෙන්ති ඇතුළු බැර ලෝහ කර්මාන්තයේද විශාල කොටසක් අයත් කරගෙන සිටී. වෙනුසියුලාවේ සමස්ත ඛනිජ සම්පත්වල වටිනාකම ඩොලර් බිලියන 14,000ක් හෙවත් ට්‍රිලියන 14ක් ලෙස තක්සේරු කර ඇත. එරට අපනයනවලින් සීයට95ක් ඛනිජ සම්පත් ආශ්‍රිත නිෂ්පාදන වෙයි. වෙනිසියුලාව සතු මෙම මහා ඛනිජ සම්පත් පාලනය කිරීම සහ එරටට ඇමරිකානු අපනයන දිරිමත් කිරීම සඳහා රට තුළ ක්‍රියාත්මක වූ 500කට අධික ඇමරිකානු සමාගම්වල ව්‍යාපාරික වුවමනාව හියුගෝ චාවේස් ජනාධිපතිවරයා යටතේ මෙන්ම ඔහුගේ ආධ්‍යාත්මික හා දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන ජනාධිපති නිකලස් මදුරෝ යටතේ අභියෝගයට ලක් වුණා.
ජනාධිපති නිකලස් මදුරෝ 2013දී බලයට පත්වීමෙන් පසුව දීර්ඝකාලීන ඇමරිකානු සම්බාධකවලට මුහුණදීම සඳහා ප්‍රබල පියවර ප්‍රමාණයක් ගත්තා. ඒ අනුව සම්බාධක නිසා සීයට50ක් බිඳවැටී තිබූ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම යථාතත්ත්වයට පත්කළා. ඒ අනුව 2016 වනවිට වෙනිසියුලාව තම ඖෂධ අවශ්‍යතාවෙන් සීයට80ක් රට තුළ නිපදවනවා. ඒ ආකාරයට සම්බාධක පැනවීමේ ක්‍රියාවලියට වෙනිසියුලාව මුහුණ දෙමින් යටත් නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒ අනුව ඛනිජතෙල් නිරෝධායනය (Oil Quarantine) නමින් ඛනිජ තෙල් අපනයනයට එරෙහිව ඍජු බාධක පනවමින් වෙනිසියුලාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බිඳ වට්ටවා රට යටත් කිරීමේ නව ප්‍රවේශයක් ඇමරිකානු රජය විසින් හඳුන්වා දුන්නා.
එම ක්‍රියාවලියේ එක්තරා උච්චතම අවස්ථාවක් වන්නේ පසුගිය දෙසැම්බර් 10වැනිදා වෙනිසියුලාවේ සිට කියුබාවට ඛනිජතෙල් අපනයන කරමින් තිබූ වාණිජ නෞකාව ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගැනීමයි. ඒ ආකාරයට වෙනිසියුලාවේ සාගර කලාපයෙහි ඇමරිකානු මැදිහත්වීම තවදුරටත් සාධාරණීකරණය කිරීම සඳහා කලාපයේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ චෝදනාව එල්ලකරමින් කුඩා නාවික යාත්‍රාවලට පහරදීමේ ක්‍රියාවලියක්ද ආරම්භ කළා. ඒ අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාව එල්ලකරමින් වෙනිසියුලානු යාත්‍රා 20කට වැඩි ප්‍රමාණයක් විනාශ කර පුද්ගලයන් 80කට අධික පිරිසක් නීති විරෝධී ලෙස ඝාතනය කර ඇති බවට ඇමරිකානු සෙනේට් සභික ක්‍රිෂ් කුන්ස් විසින් චෝදනා කර තිබෙනවා.
වෙනිසියුලාවට මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ චෝදනාව එල්ලකරනු ලැබුවේ 2020 මුල සිටය. ඒ අනුව ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු ෆෙඩරල් අධිකරණය විසින් ඒකපාර්ශ්වීය නඩු විභාගයක් පවත්වා ජනාධිපති නිකලස් මදුරෝ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය දිරිගැන්වීම සහ ඇමරිකාවට කොකේන් ආනයනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට වැරදිකරුවා බවට පත්කරනු ලැබුවා. ඉන්පසුව 2025 අගෝස්තු මාසයේදී ජනාධිපති මදුරෝ අත්අඩංගුවට ගෙන භාරදෙන අයකුට ඩොලර් මිලියන 50ක ත්‍යාගයක් පරිනමන බවට නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව කරනු ලබන චෝදනා ව්‍යාජ සහ පදනම් විරහිත වුවත් එම චෝදනා යටතේ ඔහු වරදකරු කිරීමට උත්සාහ ගන්නේ වෙනිසියුලාවට කඩාවැදීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට බවයි. ඊට අමතරව රට තුළ අර්බුද නිර්මාණය කර ආණ්ඩු මාරුවක් සිදුකිරීමේ ක්‍රියාවලිය අනුව වර්ණ විප්ලව ආකෘතිය යොදාගැනීම සඳහා විපක්ෂයේ මරියා කොරෝනා මචාඩෝ වැනි දේශපාලන චරිත යොදාගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළවූවා. පසුව ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේද ඇමරිකානු න්‍යායපත්‍රයට අනුව ප්‍රචණ්ඩ ක්‍රියා වැපිරීමට සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට නායකත්වය දීම නිසා බව රහසක් නොවේ.
මීට අමතරව වෙනිසියුලාවේ චාවේස් සහ මදුරෝ ඇමරිකානු උදහසට ලක්වීමට චීන - වෙනිසියුලානු සබඳතාද හේතුවක් බව ඉතා පැහැදිලියි. වෙනිසියුලාව චීනයේ සිවුවන විශාලතම තෙල් අපනයනකරුවා බවට පත්වුණා. වෙනිසියුලාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන සංවර්ධන බැංකුව සමග එක්ව චීන වෙනිසියුලානු ඒකාබද්ධ අරමුලද පිහිටුවනු ලැබුවා. 2010දී ඩොලර් බිලියන 10ක ණයක්ද චීන වෙනිසියුලානු ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් යටතේ ඛනිජ තෙල් බැරල් 450,000නිපදවීම සඳහා ඩොලර් බිලියන 16ක ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ සියල්ල මගින් ඇමරිකානු උදහස වර්ධනය වන බව සරල සත්‍යයක්.
මේ සමස්ත ක්‍රියාවලියේ කූටප්‍රාප්තිය වන්නේ ස්වෛරී රාජ්‍යයක සිවිල් සහ මිලිටරි ඉලක්කවලට පහර දෙමින් 80කට අධික සිවිල් වැසියන් ඝාතනය කර එම රටේ නීත්‍යනුකූල පාලකයා අත්අඩංගුවට ගෙන රටින් පිටතට රැගෙන යාමය. ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම නරක පූර්වාදර්ශයක්.
ජාත්‍යන්තර නීතියේ භූමිකාව අර්බුදයට ලක්වෙලා
ආචාර්ය පවිත්‍රා ජයවර්ධන අංශාධිපතිනිය, ජාත්‍යන්තර සම්බන්ධතා අංශය,කොළඹ විශ්වවිදයාලය
ඇමරිකාව විසින් වෙනිසියුලා ජනාධිපති පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධව අප රටක් ලෙස ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව සමාජයේ විවිධ මතවාද පවතිනවා. වෙනිසියුලා ජනාධිපතිවරයා පැහැරගැනීම බැලූ බැල්මටම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්. රාජ්‍යයන්ට මෙය එළිපිට කතා කිරීමේ අපහසුව බල දේශපාලනය මූලික වූ කාරණයක්. එම තීරණයට එන්න මූලධාර්මිකව හෝ ආචාරධාර්මිකව කිසිම ගැටලුවක් නැහැ. විශේෂයෙන් බටහිර අර්ධගෝලයේ ඇමරිකානු බලපෑම ගැන ඉතිහාසයක් තිබෙනවා. ඔවුන්ට දිගින් දිගටම බටහිර අර්ධගෝලයේ නායකත්වය තබාගැනීමේ අවශ්‍යතාව තිබුණා. මේ වනවිට තෙල් සහ ආරක්ෂාව ආදි විවිධ හේතු මත නායකත්වය තහවුරු කරගැනීමේ අවශ්‍යතාව අලුත් දෙයක් නෙවෙයි. ඇමරිකාව ඇති වුණේ කවදාද, එදා සිට ප්‍රාන්ත ව්‍යාප්තියේ සිට මේ කරුණ අපට පෙනෙනවා.
නමුත් මේ සිදුවීම ගැන අපට ජාත්‍යන්තරයේ කතා කිරීමේ අපහසුතාව එන්නේ භූ දේශපාලනය මූලික වී ඇති නිසයි. මෙය ලංකාවට අදාළ කර බැලුවොත් අපට තිබෙන විදේශ සම්බන්ධතා කියන කාරණය ඇතුළෙ අපි ඉන්නෙ කේවල් කිරීමේ හැකියාව අතින් දුර්වලම තැනක. මෙවැනි අවස්ථාවක තීන්දු ගැනීමේදී අපට කොන්දේසි ගණනාවක් තිබෙනවා. ඒ අපහසුතාව තමයි මේ ප්‍රකාශනයෙනුත් පෙනෙන්නෙ. අපට පැහැදිලි ස්ථාවරයක් ගන්න බැරි බවත් පෙනෙනවා වගේම එවැනි ස්ථාවරයක් ගත යුතු බවත් අපි දන්නවා. ඒ දෙක අතර මැද්දේ මොකක්ද කරන්න පුළුවන් කියන එකට බොහොම සැලකිල්ලෙන් වචන තෝරා අරගෙන ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස නිකුත් කර ඇති ප්‍රකාශය සම්බන්ධව මම මේ වෙලාවෙ අදහස් පළකරන්න යන්නෙ නැහැ. කෙසේ නමුත් රටක් විදිහට ප්‍රකාශයක් නිකුත් කිරීමේ අපහසුතාව අප නිකුත් කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.
මේ සිද්ධිය අප ගත යුත්තේ තවත් එක හුදෙකලා සිද්ධියක් විදිහට නෙවෙයි. ලෝකයේ බලය හැසිරුණ විදිය වෙනස් වෙමින් තිබෙනවා. බැලූ බැල්මටම නීති මත පදනම් වූ සම්ප්‍රදායට (Rule Based Order) ඇමරිකාව අභියෝග කරමින් සිටින බව අපට පෙනෙන්න තිබෙනවා. මීට පෙර පැමිණි බදු පැනවීම, යුක්‍රේන සහ රුසියානු යුද්ධයට මැදිහත්වීම මෙන්ම වෙනිසියුලානු සිද්ධිය දිහා බැලුවම ඇමරිකාව ලෝකය හැසිරවීමේ ආයතන පද්ධතිය සත පහකටවත් ගණන් ගන්නේ නැතිව, ජාත්‍යන්තර නීතිය සත පහකටවත් ගණන් ගන්නේ නැතුව හැසිරෙන බවට අපට පෙනෙන්න තිබෙනවා. මේ තුළ අනික් රටවලටත් දැන් නීති මත පදනම් වූ සම්ප්‍රදාය (Rule Based Order) ගැන විශ්වාසය නැතිවෙමින් යනවා. මේ තුළ සෙසු රටවලුත් Self Help හෙවත් “තමන් හිසට තම අතමය සෙවණැල්ල” යන ස්ථාවරයට පැමිණ ස්වයං උපකාරය (Surviver Mode) යන ස්ථාවරයට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර නීතියේ පිහිටක් නෑ, ජාත්‍යන්තර ආයතන පද්ධතියේ පිහිටක් නෑ, ලෝක වෙළෙඳ සංගමයේ පිහිටක් නෑ කියන හැඟීම අනුව හැමෝම තනි තිනිව තම තමන්ගේ වැඩ කරගෙන යන ආකාරයක් තමයි දකින්න තිබෙන්නෙ. ඩාවින්චි වාදයේ කියන පරිදි “ශක්තිවන්තයා ජයගනියි’ යන ග්‍රෝත්‍රිකවාදී තැනට ලෝකය ගමන් කරමින් තිබෙන අයුරක් දක්නට ලැබෙනවා.
මෙවන් පසුබිමක් තුළ අපට ශූර රාජ්‍යතාන්ත්‍රික සේවයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපේ විදේශ සේවය තව තවත් ශක්තිමත් කරගත යුතුයි. ඒ වගේම අපේ සාකච්ඡා කිරීමේ හැකියාව, විවිධ රටවල් සමග තිබෙන සම්බන්ධතා තරකරගැනීම හැර වෙනත් විකල්ප නැහැ. මේ නිසා ආරක්ෂාව, වෙළඳපොළ, සංක්‍රමණික ජනගහනය ආදී කාරණා පදනම් කරගෙන කල්පනාකාරී ගමනක් අප යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය සූර රාජතාන්ත්‍රික සේවයක් අපට දැනට පෙනෙන්න නැහැ. මේ නිසා අප එවැනි සේවයක් ඇතිකර ගත යුතුයි.
මෙම සිදුවීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැසිරීම මට නම් පුදුමයක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බටහිර මූලික වූ, බටහිර නායකත්වය මත පදනම් වූ ආයතන පද්ධතියක් තමයි තිබෙන්නෙ. මේ පද්ධතියේ මූල්‍ය, දෘෂ්ටිවාදීමය බලය තුළ තිබෙන්නේ බටහිර නැඹුරුවක්.
මේකම තමයි බදු පැනවීමේ සිද්ධියේදීත් වුණේ. ලෝක වෙෙළඳාමේ හැසිරවීමේ හැකියාව තිබුණේ ලෝක වෙෙළඳ සංවිධානය (World Trade Organization) සතුවයි. එය නොසලකා ඇමරිකාව බදු පැනවීමෙන් ලෝක වෙළෙඳ සංවිධානය අර්බුදකට ලක්වුණා. දැන් සිදුවෙලා තිබෙන්නෙත් එවැන්නක්. ජාත්‍යන්තර නීතියේ භූමිකාව අර්බුදයකට ලක්වෙලා තිබෙනවා.
නිරෝෂාන් ප්‍රේමරත්න
COMMENTS