IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


කාලිදාසගේ ඍතුසංහාරය රසාලිප්ත පරිවර්තනයක්

ග්‍රන්ථ විචාරය

 

සංස්කෘත කාව්‍ය සෞන්දර්යය

සිංහල කාව්‍යය සමග මුසු කරන

පරිණත සන්නිවේදකයා

කරුණාරත්න අමරසිංහ.

 

ද්‍රමාඃ සපුෂ්පාඃ සලිලං සපද්මං

ස්ත්‍රියඃ සකාමාඃ පවනඃ සුගන්ධිඃ

සුඛා ප්‍රදෝෂා දිවසාශ්ච රම්‍යාඃ

සර්වං ප්‍රියේ චාරුතරං වසන්තේ


තුරු මල් සහිත ය.

දිය පියුම් සහිත ය.

කාන්තාවෝ කාම සහිතයහ.

සුළඟ සුවඳවත් ය.

සැඳෑ සමයයෝ සුව දනවති.

ප්‍රියේ, මේ වසන්තයේ සියලු දෙය

මනහර ය.

 


මහාකවි කාලිදාසකෘත ඍතුසංහාරය යන නම ඇසෙන විට මගේ සිත දිව යන්නේ 1982 වර්ෂයට යි. ඒ අපි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මාණවකයන් වශයෙන් ඍතුසංහාරයේ අර්ථ මාධුර්යය සහ නාද මාධුර්යය විඳ ගත් වකවානුව යි. එවක අපට ඍතුසංහාරය ඉගැන්වූයේ නොබෝදා පුරා අනූනව වසරක් ආයු විඳ දේශයට අහිමි වී ගිය සම්මානිත මහාචාර්ය මහින්ද පලිහවඩන සුධීමතා ය. එතුමා අපට ඍතුසංහාරය ඉගැන්වීම ආරම්භ කෙළේ එහි වසන්ත වර්ණනාවෙනි. මෙහි මුලින් සඳහන් පද්‍යය ද ඒ අතර විය. පසු කලෙක සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලදුව පණ්ඩිත ආචාර්ය අමරදේවයන් විසින් ගායනා කරන ලද ප්‍රියේ මේ චාරුතර වසන්තේ ගීතයට උල්පත වූයේ ද යථෝක්ත

පද්‍යය යි.

පසුගිය දිනෙක අපගේ ශිෂ්‍ය ජීවන සමයේ සිට අප ඉතා ප්‍රිය කළ ප්‍රවීණ සන්නිවේදක කරුණාරත්න අමරසිංහ මහත්මා දූරකථනයෙන් මට කතා කෙළේ ය. ඒ එතුමන් විසින් සිංහල පැදියට නගන ලදු ව පසුගිය කාලයේ මුහුණු පොත මාර්ගයෙන් සමාජගත කළ ඍතුසංහාරයේ පද්‍යමය පරිවර්තනය ග්‍රන්ථරත්නයක් වශයෙන් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරන බව දැන්වීම සඳහා ය. එම ග්‍රන්ථයට පූර්විකාවක් සම්පාදනය කරන මෙන් අපගේ චිරකාලීන සහෘදය කරුණාරත්නයන් විසින් අප වෙත කරන ලද ඉල්ලීම අපට කළ ගෞරවයක් වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

කරුණාරත්න අමරසිංහයන්ගේ සමස්ත කාව්‍ය පරිවර්තනය ඉතා සැලකිල්ලෙන් කියැවීමි. බස නොමරා, රස නොමරා කළ එකව් පිරිවැටුම ගැන පළමු කොට අපගේ ගෞරවය පළ කරනු කැමැත්තෙමි. දෙවනු ව ඍතුසංහාරය ගැන මූලික හැඳින්වීමක් කොට අපගේ චිරකාලීන වැඩිහිටි කල්‍යාණ මිත්‍රයාගේ ඉල්ලීම ඉටු කරන්නෙමි.

ඍතුසංහාරය යනු සර්ග සයෙකින් සමන්විත ඛණ්ඩ කාව්‍යයකි. එහි ග්‍රීෂ්ම, වර්ෂා, ශරත්, හේමන්ත, ශිශිර සහ වසන්ත යන ඍතු ෂට්කය වර්ණිත ය. පෙම්වතා, පෙම්වතියට ඒ ඒ ඍතුවෙහි සුන්දරත්වය පෙන්වා දෙන ආකාරයෙන් සමස්ත ග්‍රන්ථය විරචිත ය. ග්‍රීෂ්මය පද්‍ය 28 කින් ද වර්ෂා ඍතුව පද්‍ය 28 කින් ද ශරත් සමය පද්‍ය 26 කින් ද හේමන්තය පද්‍ය 18 කින් ද ශිශිරය පද්‍ය 16 කින් ද වසන්තය පද්‍ය 37 කින් ද වර්ණිත ය. ඇතැම් ඍතුසංහාර සංස්කරණයක අන්තර්ගත පද්‍ය සංඛ්‍යාව මෙයට වඩා මඳක් අඩු හෝ වැඩි විය හැකි ය.

මෙය කාලිදාස කවියාගේ ද නොඑසේ නම් වෙනත් කවියකුගේ නිර්මාණයක් ද යන ගැටලුව භාරතීය සංස්කෘත කාව්‍ය විචාරකයන් අතර ද තවම නොවිසඳි ගැටලුවකි. කාලිදාසයන්ගේ කර්තෘත්වය සම්බන්ධයෙන් අදටත් අවිවාදිත ග්‍රන්ථ ෂට්කය වන්නේ වික්‍රමෝර්වශී, මාලවිකාග්නිමිත්‍ර, අභිඥානශාකුන්තල යන නාට්‍ය ත්‍රිත්වය, කුමාරසම්භව, රඝුවංශ මහා කාව්‍ය ද්වය සහ මේඝදූතාභිධාන ඛණ්ඩ කාව්‍යය යි.

ඍතුසංහාරය කාලිදාසයන්ගේ කෘතියක් නොවේ ය යන්න ප්‍රකාශ කරන විචාරක විද්වත්තු කරුණු තුනක් වෙත අපගේ අවධානය යොමු කරති.

1. කාලිදාසයන්ගේ නිර්මාණ ග්‍රන්ථ සයකට ව්‍යාඛ්‍යාන කළ මල්ලිනාථ නම් ප්‍රසිද්ධ ව්‍යාඛ්‍යානකරු විසින් ඍතුසංහාරයට ව්‍යාඛ්‍යාවක් සම්පාදනය කොට නොතිබීම.

2. ආලංකාරිකයන් විසින් ඍතුසංහාරයේ කාව්‍ය හෝ කාව්‍යෝක්ති නිදසුන් වශයෙන් උපුටා දක්වා නොතිබීම.

3. කාලිදාසකෘත අනෙක් ග්‍රන්ථ ෂට්කයේ විද්‍යමාන ගැඹුර, දියුණු රචනා ශෛලිය සහ අනෙකුත් කෘතිවල ප්‍රේමණීය හැඟීම් ප්‍රකාශයට පත් කිරීමෙහි ලා දක්නට ලැබෙන සංයත භාවය ඍතුසංහාරයේ විද්‍යමාන නොවීම.

කාලිදාසයනට ම ඍතුසංහාරයේ කර්තෘත්වය හිමි කොට දෙනු රිසි බෙරිඩේල් කීත්, මහාචාර්ය ජයදේව තිලකසිරි ආදි කොට ඇති සංස්කෘත විද්වතුන් මෙන් මෙන් ම අපගේ ආචාර්යෝත්තම මහින්ද පලිහවඩන මහාචාර්යතුමා සහේතුක ව පවසන්නේ මෙහි කර්තෘත්වය කාලිදාසයනට හිමි කොට නොදීම අයුක්තියක් බව ය. ඒ සඳහා ඔවුන් විසින් පෙන්වා දී ඇති පහත සඳහන් කාරණා ත්‍රය වෙත සහෘදය පාඨක ඔබගේ අවධානය යොමු කරනු රිසියෙමි.

1. ව්‍යාඛ්‍යාන අවශ්‍ය වන්නේ දුෂ්කර භාෂා ප්‍රයෝග සංකීර්ණ කාව්‍ය බන්ධන ආදිය ඇති කෘතීනට මිස සරල සුගම බසින් රචිත කෘතීනට නොවන බැවින් මල්ලිනාථයන් විසින් ඍතුසංහාරයට ව්‍යාඛ්‍යාවක් සම්පාදනය නොකරන්නට ඇත.

2. ආලංකාරිකයන් ප්‍රමුඛ සංස්කෘත කාව්‍ය විචාරවාදීන් ඍතුසංහාරයෙන් නිදසුන් නොගන්නට ඇත්තේ කාලිදාසයන්ගේ අනෙකුත් කාව්‍ය ග්‍රන්ථ හා නාට්‍ය ග්‍රන්ථ ආශ්‍රයෙන් ඒවා පැහැදිලි කිරීම වඩා පහසු වූ නිසා විය හැකි ය.

3. භද්‍ර යෞවනයේ සිටින කාව්‍ය රචකයකු අතින් පරිණත කවියකුට වඩා මතුපිටින් ශෘංගාරාත්මක කාව්‍ය ලියැවීම අපේක්ෂා කළ හැකි දෙයකි. කීත් පවසන අන්දමට තරුණ කවියකුගේ ප්‍රථම රචනයෙහි සොබාදහම සහ ලෝකය අවලෝකනය කරමින් ලියු ශෘංගාරාත්මක පද්‍ය අන්තර්ගත වීම සිදුවිය හැකි දෙයකි.

මෙහි අවසන සඳහන් කරුණත් සමග අපට සිහිපත් වන්නේ සංස්කෘත ශතක ග්‍රන්ථ සාහිත්‍යාවලියේ නොමැකෙන සලකුණු තැබූ භර්තෘහරි නාමය යි. ඔහු සිය භද්‍ර යෞවනයේ දී ශෘංගාරශතකයත් මැදිවියේ දී නීතිශතකයත් සිය ජීවිතයේ අවසාන කාලයේ වෛරාග්‍යශතකයත් කළ බව සාමාන්‍ය පිළිගැනීම යි.

වංශස්ථ, මාලිනී, වසන්තතිලකා, උපජාති, උපේන්ද්‍රවජ්‍රා, ඉන්ද්‍රවජ්‍රා, ශාර්දූලවික්‍රීඩිත යන වෘත්ත ඍතුසංහාරයේ භාවිත ය. එහි භාවිත අලංකාර අතර ස්වභාවෝක්ති, පර්යායෝක්ති, පරිකර, උපමා, උත්ප්‍රේක්ෂා, භ්‍රාන්ති, විරෝධ, ප්‍රස්තුතාංකුර, හේතු, කාරකදීප, රූපක, ස්මෘතිමත්, විභාවනා, අප්‍රස්තුතප්‍රශංසා, සහෝක්ති, උදාත්ත, දීපක, සංසෘෂ්ටි, ආක්ෂේප, කාව්‍යලිංග, උල්ලාස, මිලිත, අතිශයෝක්ති, උල්ලේඛ, විරෝධාභාස, විශේෂෝක්ති, අර්ථාපත්ති, සමාධි, විභූත්‍යුදාත්ත යනාදිය විද්‍යමාන ය.

ඍතුසංහාරයට කළ විශිෂ්ට සිංහල ගද්‍ය පරිවර්තනය වන්නේ ඩී. එම්. සමරසිංහ පඬිවරයා විසින් 1931 වර්ෂයේ දී මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරන ලද පදාන්වය සහ විග්‍රහ අන්තර්ගත පරිවර්තනය යි. එසේ ම සැක සංකා සහිත ව කාලිදාසයන්ගේ කර්තෘත්වයට පවරා දී තිබෙන ඍතුසංහාර, ශෘංගාරතිලක සහ ඝටකර්පර යන කාව්‍ය නිර්මාණ ත්‍රිත්වයට L.C.Van Geyzel පද්‍යමය පරිවර්තනය පාදක කොට ගනිමින් හැරල්ඩ් පීරිස් නමැති සංස්කෘත විද්වතා විසින් 1961 වර්ෂයේ දී Kalidasa: The Seasons , The Ornament of Love , The Broken potනමින් ඉංග්‍රීසියට නගන ලද පදාන්වය සහ විවරණ සහිත සාහිත්‍යාත්මක පරිවර්තන ග්‍රන්ථයේ The Seasons නමින් ඇත්තේ ඍතුසංහාරයට අදාළ කොටස් ය. මෙම ග්‍රන්ථය මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් ලියන ලද පූර්විකාවකින් ද සමන්විත ය. එම පූර්විකාවේ මෙවන් සටහනක් ද දෘශ්‍යමාන ය.


Of these minor poems Rtusamhara or Cycle of Seasons has enjoyed great popularity among pundits in India and Ceylon. It was one of the first poems to be studied by the European pioneers of Sanskit learning. It was edited by sir William Jones and printed in Culciutta 7092. It enjoys , therefore , the distinction of being the first Sanskrit text ever printed.


එම්.ආර්.කාලේ නමැති ප්‍රචලිත විද්වතා 1916 වර්ෂයේ දී The Rtusamhara of Kalidasa නම් ග්‍රන්ථය පාඨක ලෝකයට ප්‍රදානය කෙළේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ප්‍රවේශ සටහන් සහ සංස්කෘත පෙළ ද සහිත ව ය. භාරතීය සංස්කෘත විද්වතකු වූ සී. ආර්. දේවධාර් විසිනුදු The Rtusamhara of Kalidasa නමින් සංක්ෂිප්ත ප්‍රවේශ සටහනක් ද සහිත ව 1983 වර්ෂයේ දී සරල ඉංග්‍රීසි පරිවර්තනයක් කරනු ලැබී ය. මේ වනවිට E ග්‍රන්ථ වශයෙන් ද ඍතුසංහාරය කියැවීමේ භාග්‍යය පාඨක ප්‍රජාවට ලැබී තිබේ. කේ. ඇභේ නම් විද්වතා විසින් Rtusamhara: The Six Seasons නමින් 2021 වර්ෂයේ දී පාඨක සමාජාභිමුඛ කළ කෘතිය ඊට එක් නිදසුනකි. හින්දි, ඉංග්‍රීසි ආදි භාෂාවලින් ඍතුසංහාරයට කැරුණු පරිවර්තන ග්‍රන්ථ ද රැසකි. අප දන්නා තරමින් සිංහල භාෂාවෙන් රචනා කරන ලද පද්‍යමය පරිවර්තන ද්වයකින් ද අප සාහිත්‍යය පොහොසත් ය. 1984 වර්ෂයේ දී පියදාස නිශ්ශංකයන් , මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් මහාකවි කාලිදාස යන මාතෘකාව යටතේ සම්පාදනය කරන ලද පූර්ව සටහන ද සහිතව පළ කළ ඍතුසංහාරයේ පද්‍යමය පරිවර්තනය ඉන් එකකි. එම කාර්යය ම මහාචාර්ය සුචරිත ගම්ලතුන් විසින් සිදු කරන ලද්දේ 1987 වර්ෂයේ දී ය. මෙම පද්‍යමය පරිවර්තන ග්‍රන්ථයේ විශේෂත්වය වන්නේ එහි කාලිදාසයන්ගේ කෘති යන මාතෘකාව යටතේ පිටු 26 ක ප්‍රාමාණික ලේඛනයක් ද ඇතුළත් කොට තිබීම ය.

කරුණාරත්න අමරසිංහයන් විසින් අතගසා ඇත්තේ මේ සා සම්භාවිත ග්‍රන්ථයකට ය. ශතක දෙකකට ද මඳක් වැඩි කාලයක් තිස්සේ විවිධ භාෂාවනට පරිවර්තිත ඍතුසංහාරය සිංහල භාෂාවට නිවැරදි ව පරිවර්තනය කිරීමෙහි ලා වන මේ ප්‍රශස්ත ප්‍රයත්නය විශිෂ්ට සාහිත්‍ය සේවාවක් බව සඳහන් කරනු කැමැත්තෙමි. එසේ ම මෙයට පූර්වයෙන් ඍතුසංහාරයට පද්‍යමය පරිවර්තන සිදු කළ පියදාස නිශ්ශංක - සුචරිත ගම්ලත් සුධීමතුන්ගේ නාමයන් ද ගෞරවයෙන් සිහිපත් කොට අප සහෘදය කරුණාරත්න අමරසිංහයන්ගේ මෙම රසාලිප්ත සිංහල පරිවර්තනය පිළිබඳ ව මෙතැන් සිට ලියන්නෙමි.

අමරසිංහයෝ සර්ව සර්ග පූර්වයෙන් ප්‍රවේශ සටහනක් ලියති. ඔහු සිය පද්‍යමය පරිවර්තනය දක්වන්නේ පළමු ව සංස්කෘත පද්‍යය දැක්වීමෙන් පසුව ය. සැඬ හිරු ඇති, ආශා කටයුතු සඳරැස් ඇති, රමණීය සැඳෑ සමයන් ඇති, සන්සිඳුණු අනංගයා ඇති ගිම්හාන සමය එළැඹියේ ය යන අරුත දෙන ග්‍රීෂ්ම ඍතු වර්ණනාගත ප්‍රචණ්ඩසූර්යඃ ස්පෘහණීය චන්ද්‍රමාඃ ආදි වශයෙන් සමාරබ්ධ ප්‍රථම පද්‍යය එහි අර්ථයට කිසිදු හානියක් නොකොට අමරසිංහයෝ මෙසේ සිංහලයට නගති.


හිරු ගිනිගෙන දැවේ සඳු පියකරු වන්නේ

විල් දිය සිඳේ දන නිරතුරු නැමෙන්නේ

සුව දේ සැඳෑ කල මලවිද මැලවෙන්නේ

සොඳුරියෙ ගිම්හානයයි සපැමිණ ඉන්නේ


ග්‍රීෂ්ම ඍතුගත සිවුවැනි පද්‍යයේ කාව්‍යමය පරිවර්තනය සිදු කරන්නේ සිංහල කවියට ආවේණික කාව්‍ය සුන්දරතා ගැන සතිමත් වෙමිනි. එහි දී ඔහු නැඹුරු වන්නේ සංස්කෘත කවිසමයට නොව සිංහල කවි සමය වෙතට යි. එකව කියවන විට අපට දැනෙන්නේ අතීතයේ එක්තරා යුගයක දී වෑත්තෑවේ හිමියන් විසින් ගුත්තිල කාව්‍යයේ දීත් අලගියවන්න මුකවෙටිතුමන් විසින් කුසදා කවේදීත් අපට ප්‍රදානය කළ කාව්‍ය සුන්දරත්වය යි.


මෙවුලැති පුළුලුකුළු දුහුලින්

වැසේ යා

සඳුනෙන් තෙත් දෙතන මුතුහර දිසේ යා

වරලස සුවඳ විහිදේ හැම

දෙසේ යා

එළඳුන්ගෙන් සලෙලු කම් ගිම් නැසේ යා


ග්‍රීෂ්ම ඍතු වර්ණනාවේ එන 22 වර්ෂා ඍතුගත 02 ශරත් ඍතු වර්ණනාවේ එන 05, 06, 12, 17, 23 පද්‍ය හේමන්ත ඍතු වර්ණනයේ එන 03, 11 පද්‍ය ශිශිර ඍතුගත 03, 10 වසන්ත ඍතු වර්ණනයේ අන්තර්ගත 06, 12, 15, 21 පද්‍ය සිංහලයට නගා ඇති ආකාර ඊට නිදර්ශන යි. එහෙත් මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අප අමරසිංහ කවියා ඒවා අනුකරණය නොව ඉන් ආභාසය ලැබීම සිදු කොට ඇති බව යි. මන්ද අනුකරණය සහ ආභාසය යනු එකක් නොව දෙකක් බැවිනි. කිසියම් කෘතියක විද්‍යමාන කාව්‍ය ස්වරූපයක් තවත් භාෂාවකින් පැහැදිලි කිරීමේ දී ඇතැම් විට අනුකරණය අවශ්‍ය විය හැකි ය. එබඳු තැනක දී එය වරදක් හෝ චෞරකරණ දෝෂයක් වන්නේ නැත. එහෙත් කාව්‍යය සම්බන්ධයෙන් ශෝභාකර ධර්මතාවක් වශයෙන් සැලකිය හැකි වන්නේ අනුකරණය නොව ආභාසය යි. අනු උපසර්ගය පූර්වයෙන් යෙදී කෘ ධාතුවෙන් සැදෙන අනුකරණ යන්නෙහි අරුත අනුව කිරීම යි. වෙතට, දක්වා යන අර්ථවල යෙදෙන ආ අව්‍ය පදය මුලින් යෙදී බැබළීම, ආලෝකය දීම යන අරුත්හි යෙදෙන භාස් ධාතුවේ අර්ථය වන්නේ එක් දෙයක් තවත් දෙයක් බැබළීම, ආලෝකවත් කොට ගැන්ම උදෙසා යොදා ගැනීම යි. මහාකවි කාලිදාසයන්ගේ ආලක්ෂ්‍යදන්තමුකුලාන්නනිමිත්තහාසෛඃ ආදි වශයෙන් එන අභිඥානශාකුන්තල නාට්‍යගත පද්‍යය දත් කැකුළු පෑලා ආදි වශයෙන් සිංහලයට නගමින් කවිකුල ශිරෝමණී තොටගමුවේ සිරි රහල් සමිඳුන් විසින් කරන ලද්දේ ආභාසය මූර්තිමත් කිරීම මිස කිසිසේත් ම අනුකරණයක් නොවේ. කාලිදාසයන්ගේ පද්‍යයෙන් විද්‍යමාන වන්නේ සංස්කෘතයට ආවේණික සුන්දරත්වය යි. සිරි රහල් හිමියන්ගේ යටකී හෙළ පැදියෙන් ප්‍රකාශයට පත් වන්නේ සිංහලයට ආවේණික සුන්දරත්වය යි.

අප අමරසිංහ කවියා අවශ්‍ය තැනදී සම්භාව්‍ය සිංහල කවියේ ආභාසය ලබා ඍතුසංහාර පද්‍ය සිංහලයට නගන්නේ ස්වායත්ත කාව්‍ය කෞශල්‍යය ද අහිමි කොට නොගනිමිනි. පහත දක්වනු ලැබ ඇති සනිදර්ශන පද්‍යය මෙකරුණ පැහැදිලි කිරීමෙහි ලා උපකාරී වනු ඇත.


දැවේ හැල් කරල් ළැව් ගිනි

දැලේ යා

පරඬැල් විසිර පාවෙයි සැඬ

නලේ යා

ගිනියම් හිරු සිඳියි දිය හැම

විලේ යා

වන පෙත දකින සිත බිය ගෙන සැලේ යා


ඒ ඍතුසංහාරයේ ග්‍රීෂ්ම ඍතු වර්ණනයේ එන 22 වැනි පද්‍යය වන

පරුෂපවනවේගෝත්ක්ෂිප්තසංශුෂ්කපර්ණාඃ ආදි වශයෙන් ආරබ්ධ පද්‍යය සිංහල කවියට නගා ඇති ආකාරය යි. මෙහි මූල පද්‍යයේ අන්තර්ගත සමස්තාර්ථයට හානි නොකොට සංස්කෘත භාෂා නාද මාධුර්යය නොව සිංහල භාෂා නාද මාධුර්යය ගැන සතිමත් ව පරිවර්තක කවියා විසින් සිය කවි කෘත්‍යය සිදු කරනු ලැබ ඇත.


තැනෙක නිල් උපුල් පෙති පැහැ ගැසේයා

තැනෙක නිල් අඳුන් කුඩු රැස ලෙසේයා

තැනෙක ගැබිනි තනපුඬු සේ

දිසේ යා

විසිරේ වැහි වලාකුළු නුබ

කුසේ යා


ඒ ඍතුසංහාරයේ වර්ෂා ඍතුවර්ණනාගත දෙවැනි පද්‍යය වන නිතාන්තනීලෝතපලපත්‍රකාන්තිභිඃ පද්‍යය සිංහලයට නගා ඇති ආකාරය යි.


අහස දිළේ නිලඳුන් ගෑ

ලෙසේ යා

රතු බඳු වද මලින් පොළොව ම වැසේ යා

සුවඳැල් හැල් පැසුණු කෙත් වතු දිසේ යා

එඅසිරි යොවුන් සිත් ඉවසනු

කෙසේ යා


ඒ ඍතුසංහාරයේ ශරත් ඍතුවර්ණනාගත පස්වැනි පද්‍යය වන භින්නාඤ්ජනප්‍රචයකාන්තිනභෝ මනෝඥඃ පද්‍යය සිංහලයට නගා ඇති ආකාරය යි.


මල් මදිරා සුවඳ මුහුණින්

විහිදේ යා

සුසුම් සුවඳ නල සියොලඟ

දැවටේ යා

රති රසවතුන් උනුනුන්ගේ

තුරුලේ යා

සිරුරු වැලඳ සුව නින්දේ

සැතපේ යා


ඒ ඍතුසංහාරයේ හේමන්ත ඍතුවර්ණනාගත එකොළොස් වැනි පද්‍යය වන පුෂ්පාසවෝමෝදි සුගන්ධවක්ත්‍රෝ පද්‍යය සිංහලයට නගා ඇති ආකාරය යි.


සඳුනෙහි සඳුගෙ කැලුමෙහි

සීතලේ යා

සරා සඳ සෙ දිළි සඳලුව

තුළේ යා

හිම සේ සීත වැද හමනා

කලේ යා

සිසිර කල දනන් සිත නොම

ඇලේ යා


මේ ඍතුසංහාරයේ ශිශිර ඍතුවර්ණනාගත තෙවැනි පද්‍යය වන න චන්දනං චන්ද්‍රමරීචිසීතලං පද්‍යය සිංහලයට නගා ඇති ආකාරය යි.


තඹ වන් ළපලු හා මල් කැන්

දිළේයා

පොකුරු පොකුරු බර වී අතු සැලේයා

මී අඹ තුරු සුළඟෙ රඟනා

කලේයා

අනුරා විලේ ළද ලිය ළය

ගිලේයා


ඒ ඍතුසංහාරයේ වසන්ත ඍතුවර්ණනාගත පසළොස් වැනි පද්‍යය වන තාම්‍රප්‍රවාලස්තවකාවනම්‍රාඃ පද්‍යය සිංහලයට නගා ඇති ආකාරය යි.

මෙහි පසුව සඳහන් කළ පද්‍ය පඤ්චකය ගැන කිව යුත්තේ ද ප්‍රථම නිදර්ශනය ගැන කී දේ ම ය. එනම් ඒ සියල්ල ද සිංහලයට ආවේණික කාව්‍ය සුන්දරත්වය නොමරා අවශ්‍ය තැන දී සම්භාව්‍ය සිංහල කවියේ ආභාසය ද ලබමින් ස්වායත්ත කාව්‍ය කෞශල්‍යය ද අහිමි කොට නොගනිමින් සිංහලයට නගා ඇති බව ය.

මෙයිනික්බිති අපගේ අවධානය යොමු වන්නේ ඒ ඒ ඍතූන්ගේ ආගමනය පිළිබඳ ව සංස්කෘත කවියාගේ සහ සිංහල කවියාගේ ඉදිරිපත් කිරීම් ගැන යමක් සඳහන් කිරීමට ය. කාලිදාස කවියා ප්‍රියේ එළැඹුණා ගිම්හානය යන අදහස නිදාඝකාලෝ සමුපාගතඃ ප්‍රියේ යැයි කියන විට අමරසිංහ කවියා ඒ අදහස ප්‍රකාශයට පත් කරන්නේ සොඳුරියෙ ගිම්හානයයි සපැමිණ ඉන්නේ යන කාව්‍යෝක්තියෙනි. කාලිදාස කාමීජනයාට ප්‍රිය වූ වර්ෂා සමය නරපතියකුගේ ශෝභාවෙන් එළැඹි බව ප්‍රකාශයට පත් කිරීම සඳහා සමාගතෝ රාජවදුද්ද්‍යුතිර්ඝනාගමඃ කාමිජනඃ ප්‍රියඃ ප්‍රියේ යන සංස්කෘත කාව්‍යෝක්තිය භාවිත කරද්දී අමරසිංහ කවියා එය වැසි කල විත් ළඳේ රජ විලස් ගනිමිනි යන සිංහල කාව්‍යෝක්තියෙන් ඒ අදහස ප්‍රකාශයට පත් කරයි.

ශරත්ඍතුවේ ආගමනය පිළිබඳ ව කාලිදාස කියන්නේ සුන්දරාර්ථවාහී රමණීය පද්‍යයකිනි. එපැදියත් සමග අපට සිහිපත් වන්නේ මහින්ද පලිහවඩන මහාචාර්යතුමන් විසින් මෙයින් දශක සතරකට පෙර දිනයක මෙය ද ඇතුළු ව ඍතුසංහාරයේ පද්‍ය සරසවි දේශනශාලාවක දී අපට ඉගැන් වූ ආකාරය යි. ඒ අනුස්මරණීය අතීතයත් සමග එපැදියත් එහි සිංහලාර්ථයත් දක්වා එයට අමරසිංහයන් විසින් කරන ලද පද්‍යමය පරිවර්තනය ද දක්වනු රිසියෙමි.

 

කාශාංශුකාවිකචපද්මමනෝඥවක්ත්‍රා

සෝන්මාද හංසරවනූපුරනාදරම්‍යා

ආපක්වශාලිරුචිරා තනුගාත්‍රයෂ්ටිඃ

ප්‍රාප්තාශරන්නවවධූරිව රූපරම්‍යා


වැලුක් මල් නමැති වත් ඇති, පිපුණු පියුම් නමැති මනා මුහුණු ඇති, උන්මාදනීය හංස රාවය නමැති නූපුර හඬින් රමණීය වූ, හාත්පස පැසුණු හැල් වන් සිහින් සිරුරක් ඇති, ශරත් සමය තොමෝ රූපයෙන් රමණීය වූ නවඟනක මෙන් පැමිණියා ය.

කරුණාරත්න අමරසිංහයෝ අර්ථ මාධුර්යය මෙන් ම සිංහලයට ආවේණික නාද මාධුර්යය ගැන සතිමත් වෙමින් යථෝක්ත පද්‍යය මෙසේ සිංහලයට නගති.


වැලුක් සේලයෙන් මුව පියුමෙන් දුලනා

මදමත් හංස රාවෙන් නූපුර

සලනා

සිරුරැති හැල් කරල් වන් සුළඟින් වෙළනා

ඇවිදිල්ලා සරත් කල් මනකල් ලලනා


සංස්කෘත පද්‍යයේ සමස්තාර්ථයට හානි නොකරමින් උචිත පරිදි වැඩි වශයෙන් ල කාරය ගබ් වූ වදන් සංඝටනය වන පරිදි භාවිතයට ගනිමින් රසභාවපූර්ණ සිංහල පද්‍යයක් රසිකාභිමුඛ කිරීමට අප පරිවර්තකයා සමත් ව ඇති බව සඳහන් කළ මනා ය. එසේ ම සඳරැස් වැටුණු වන පෙතක ඇති අසිරිමත් සෞන්දර්යය ඔහු රසික අප වෙත ප්‍රදානය කොට සිටින්නේ කාලිදාසයනට නොදෙවෙනි වෙමිනි. අමරසිංහයන් විසින් ශරත් ඍතුවර්ණනාගත දෙවැනි පද්‍යය සිංහලයට නගා ඇති ආකාරය ඊට නිදර්ශන යි.


වැලුක් මලින් පොළොව ද රැය සඳ රැසිනී

ගංදිය හංසයන්ගෙන් විල් කොඳ මලිනි

වනපෙත මලින් බර රුක් අත්තන රුකිනි

සමන් මලින් ගෙඋයන් සුසුදු ව දිළුණි


සිය පද්‍ය පරිවර්තනයේ දී පරිවර්තක කවියා සම්මත කාව්‍ය රීති ගැන ද සැලකිලිමත් වෙයි. අදාළ පද්‍ය යවහන් දෝෂයෙන් විනිර්මුක්ත ව රචනා කොට තිබීම ඊට එක් නිදසුනකි. පහත සඳහන් පද්‍යය මෙහි ලා උපුටා දක්වනු ලබන්නේ වාක් කෝශයක් ඇති හොඳ කවියකුට සම්මත කාව්‍ය රීති බාධකයක් නොව අලංකරණයක් වන ආකාරය තහවුරු කරනු පිණිස ය.


කුමුදු සිප හමන නල රැල්

සිහිලැල් ය

වලාකුළු සිඳුණු දසතම

.මනකල් ය

වියළී පොළොව ගලනා දිය

සුනිමල් ය

අහස සැරසුවේ සඳ හා තරු

වැල් ය


සැම ඍතුවකට ම ආවේණික සුන්දරත්වයක් තිබේ. අපට උණුසුම් කුටියක රැඳී සිටින්නට සිතෙන්නේ වැසි වැටෙන, ශීතල ගතට දැනෙන වර්ෂා සමයේ දී ය. ඒ අපි ම ග්‍රීෂ්මයේ දී වැසි වැටෙන තෙක් මහදාපේක්ෂාවෙන් බලා සිටිමු. ගිම්හානයේ වර්ෂාවේ ශරත් සමයේ සුන්දරතා මෙන් ම ගති ලක්ෂණ වර්ණනාත්මක ව ප්‍රකාශයට පත් කළ කාලිදාස කවියා තදනන්තර ව එළැඹෙන්නේ හේමන්තය වර්ණනා කිරීම වෙත ය. සංස්කෘත සාහිත්‍යාගත ප්‍රචලිත ප්‍රකාශයකට අනුව හේමන්තය සුන්දර වන්නේ, ශෝභමාන වන්නේ හිම තිබුණහොත් පමණි.

නිර්හිමං න ශෝභතේ හේමන්තේ

.මෙය මනා ව අවබෝධ කොට ගෙන සිටි කාලිදාස කවියා, හේමන්ත ඍතු වර්ණනය උදෙසා කමනීය පද්‍ය දහඅටක් වෙන් කරයි. ඔහු පවසන්නේ නව දලු නැගීමෙන් සිත්කලු වූ ගොයම් ඇති, සුපිපි ලොත් ඇති, පැසුණු හැල් ඇති, හැකුළුණු පියුම් ඇති, වැටෙන පිනි ඇති හේමන්ත සමය එළැඹි බව ය. මෙඅරුත නොසිඳ, කව් රස නොමරා අප පරිවර්තක කවියා හේමන්තය එළැඹි ආකාරය සිතට මෙන් ම ගතට ද දැනෙන සේ මෙසේ ඉදිරිපත් කරයි.


නව ළා කරල් ලියලන හැල්

ළකල්ලා

පියුමන් මැලවිලා ලොත් මල් සුපුල්ලා

සුවඳැල් පැසීලා අස්වනු

විපුල්ලා

හිම කැටි වැටෙන හේමන්තය ඇවිල්ලා


පරිවර්තකයාගේ කාව්‍ය කෞශල්‍යය විශද කරනු වස් හේමන්ත ඍතුගත කාව්‍යොක්ති කිහිපයක් ඒවාට කළ සිංහල පද්‍ය පරිවර්තන ඛණ්ඩ ද සමග දක්වනු කැමැත්තෙමි. ඒ රසිකයාට ම සන්සන්දනාත්මක ව බලා එකරුණ අවබෝධ කොට ගනු පිණිස ය. ඒවා අංකනය කොට ඇත්තේ පහසුවෙන් එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීම සඳහා ය.


1. ශිරාංසි කාලාගුරුධූපිතානි

කුර්වන්ති නාර්යඃ සුරතෝත්සවාය


වරලස කළු අගිල් සුවඳැති

දුම් අල්ලා

පේ වෙති ලියෝ රති රැඟුමට මනලොල්ලා


2. තෘණාග්‍රලග්නෛස්තුහිනෛඃ පතද්භි

රාක්‍රන්දතීවෝෂසි ශීතකාලඃ


රිදවන දුක දැනී හේමන්තය ලලන

හඬනු වැනි උදය පිනි තණපත් සලන


3.ස්‍රස්තාංශදේශලුලිතාකුලකේශපාශා -

නිද්‍රාංප්‍රයාතිමෘදුසූර්යකරාභිතප්තා


වරලස අවුල් වී උර මත හැලීලා

නිදි යයි ලියක් හිරු කිරණින් තැවීලා


4.විනිපතිතතුෂාරඃක්‍රෞඤ්චනාදෝපගීතඃ -

ප්‍රදිශතු හිමයුක්තස්ත්වේෂ කාලඃ සුඛං වඃ


ලිහිණින් ගයන ගී නද දසතින් ඇසෙන

හේමන්තයේ සැනසේවා සැම තොසෙන


ශිශිර ඍතු වර්ණනය කාලිදාසයන් විසින් සිදු කරනු ලැබ ඇත්තේ තදර්තුගත ගුණ රුව පාඨක සහෘදයන් වන අප හදට ද ඇසට ද දැනෙන - පෙනෙන ආකාරයෙනි. සංස්කෘත කවියාගේ හෘදයාභිලාෂය අප පරිවර්තක කවියා විසින් මනා ව අවබෝධ කොට ගෙන සිය නිර්මාණ කෘත්‍යය සිදු කොට ඇති බව පෙනෙන්නේ තද්රචකයන් දෙදෙනාගේ නිර්මාණ එක තැනක තබා සන්සන්දනාත්මක ව අධ්‍යයනය කරද්දී ය. මෙහැඟුම ප්‍රබලාකාරයෙන් මසිත පිළිසිඳීමට බලපෑවේ ඍතුසංහාරාගත ශිශිර වර්ණනයේ සිවුවැනි පද්‍යය කියවද්දී ය. හිම කැටි වැටීමෙන් සිසිල් වූ, යළිදු සඳ පහනින් ද සිහිල් කරන ලද සුදුමැලි තාරකා සමූහය නමැති මනෝහරණීය අලංකරණ ඇති රජනීහු, ජනයා විසින් සේවනය කටයුතු බවට නොයෙති. මේ තත් පද්‍යයේ සිංහලාර්ථය යි. කාලිදාසයන්ගේ පද්‍යය පළමු ව දක්වා අමරසිංහයන්ගේ පරිවර්තන පද්‍යය දෙවනු ව දක්වන්නේ නිර්මාණකරුවන් දෙදෙනාගේ භාෂා කෞශල්‍යය සහ නිර්මාණ කෞශල්‍යය සහෘදය රසික පාඨක ඔබගේ හදින්, ඔබගේ ඇසින් විඳ දැක ගැන්මට අවකාශ සලසා දෙනු පිණිස ය.


තුෂාරසංඝාතනිපාතශීතලාඃ -

ශශාංකභාභිඃ ශිශිරීකෘතාඃ පුනඃ

විපාණ්ඩුතාරාගණචාරුභූෂණා -

ජනස්‍ය සේව්‍යා න භවන්ති රාත්‍රයඃ


සීතල සඳ කැලුම් හා හිම කැටි වැටෙනා

පඬු පැහැ තාරකා ආකාසේ පෙනෙනා

සිසිර සමේ රෑ කල වන මුත් සොබනා

නොවිඳිති දනෝ කිසි රස මිහිරක් රැයෙනා


ශිශිර ඍතු වර්ණනයේ එන සවැනි පද්‍යය ද කලින් සඳහන් කළ කරුණ තහවුරු කිරීම උදෙසා දිය හැකි තවත් පද්‍යයකි. කෘතාපරාධාන් බහුශෝපි තර්ජිතාන් ආදි වශයෙන් ආරබ්ධ තත් පද්‍යයෙන් කියැවෙන්නේ වරද කළ සැමියනට කිපී ඔවුනට බොහෝ සෙයින් අවමන් කළ සුරතාභිලාෂී පතිනියන් මේ ශිශිර ඍතුවේ දී එවැරදි අමතක කොට දැමූ බව ය. මෙම අදහස ගබ් වූ සංස්කෘත පද්‍යය අප පරිවර්තකයා සිංහල පද්‍යයට නගන්නේ සංස්කෘත පද්‍යයට ආවේණික නද මිහිර නොව සිංහලයට ආවේණික නද මිහිර ගැන සතිමත් වෙමිනි.


වරදෙහි බැඳුණු සැමියන් හට හැර පෙම්මා

බිරියන් කිපී කළ අවමන් නැත නිම්මා

සිටි උන් දැක බියෙන් ළං නොව එතරම්මා

බිරියන් රති මතින් එවැරදි හැර දැම්මා


මේ ශිශිර සමය ඔබට සුව සෙත සලසාවා යන අර්ථය දෙන ශිශිරසමය ඒෂඃ ශ්‍රේයසේ වෝස්තු නිත්‍යම් යන ආශංසනගර්භ කාව්‍යෝක්තිය අන්තර්ගත තදර්තු වර්ණනයේ අවසන් පැදිය ද පරිවර්තකයා සිංහල රසික පාඨකාභිමුඛ කරන්නේ සකු වදන් නොව හැකිතාක් හුදු හෙළ වදන් මෙසේ භාවිතයට ගනිමිනි.


හැල් කෙත් උක් උයන් උක් හකුරින් හොබනා

මදරද අබිමනින් රති රැඟුමන් රඟනා

රති රසවතුන් නැති අයහට සිත් තවනා

සිසිර කල ඔබට සෙත සලසයි නිතිනා


ඍතුසංහාරය ආශ්‍රයෙන් මහාකවි කාලිදාසයන්ගේ කවිතාව විග්‍රහ කළ පෙරපර දෙදිග බොහෝ විචාරකයන්ගේ නොමඳ අවධානයට ලක් වූයේ එහි වසන්ත වර්ණනය යි. එවක ව්‍යවහාර සංස්කෘත ඉගැන්වීම සඳහා භාරතයේ සිට විදුදය සරසවියට පැමිණ සිටි මහාචාර්ය රමා ඩුබ්ලිශ් සුවිද්වතිය ඇයගේ මනබන්ධනීය කටහඬින් ඒවා ගායනා කළා මට මතක ය. අද සංස්කෘත විෂය ක්ෂේත්‍රයේ විද්වත් කුලකය නියෝජනය කරන ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමින් වහන්සේ, ආචාර්ය ලබුගම නාරද ස්වාමීන් වහන්සේ, දාපනේ සුමනවංස බඳු යති පඬිවරු ද අද්‍යතනයේ පිරිවෙන් ක්ෂේත්‍රයේ සංස්කෘත විෂය පිළිබඳ ගුරූපදේශකයකු වශයෙන් කටයුතු කරන සුජිත් පියරත්න හපුආරච්චි මහතා මෙන් ම මේ වන විට සෞන්දර්ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින සුභානී අමරදේව ආදිසිසු දියණිය ද ඇතුළු ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව එතුමියගේ ව්‍යවහාර සංස්කෘත පන්තිවල සිටියා මට

මතක ය. එවක විදුදය සරසවියේ ආරාධිත කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි මම ද ඒ පන්තිවලට අඛණ්ඩ ව සහභාගි වූයෙමි. එසේ ඇසුණු එක් පද්‍යයක් පමණක් මෙහි ලා උපුටා දක්වන්නේ අමරසිංහ පරිවර්තන කෘත්‍යයට තවත් ප්‍රවේශයක් ගැනීමේ අරමුණ ද ඇති ව ය.


කර්ණේෂු යෝග්‍යං නවකර්ණිකාරං -

චලේෂු නීලේෂ්වලකේශ්වශෝකම්

පුෂ්පං ච ඵුල්ලං නවමල්ලිකායාඃ -

ප්‍රයාන්ති කාන්තිං ප්‍රමදාජනානාම්


එදා විඳි ඒ සංස්කෘත නාද මාධුර්යය පිළිබඳ අනුස්මරණීය මතක පොතට අද සිට හෙළ නද මිහිර ද එකතු වෙයි. ඒ කරුණාරත්න අමරසිංහයන්ගේ මේ සෞන්දර්යාත්මක පරිවර්තන කාව්‍ය ප්‍රවේශයත් සමග ය.


දෙසවන පැලඳි කිණිහිරි කුසුමන් සැලෙනා

නිල් කියඹුවේ හෝපලු දැසමන් ලෙළෙනා

මනකල් සුපුල් ඒ මල් සිරියෙන් දිළෙනා

මද මත් ලද ලියන් රූසිරි හද වෙළෙනා


සොබාදහම තුළ, සත්ත්ව චර්යා තුළ මිනිස් ස්වභාව දැකීම කාලිදාසයන්ගේ කවිතාවේ සුවිසෙස් ලකුණකි. මුළු මහත් ඍතුසංහාරය පුරා මෙලකුණ විද්‍යමාන ය. මෙම සංරචනයේ දී එබඳු තැන් කිහිපයක් වෙත ද සාවධාන වනු කැමැත්තෙමි.

සඳ, රාත්‍රී කාලයෙහි සුදු මැදුරුවල සඳලුතලවල සැතැපෙන යුවතියන්ගේ සුවසේ නිදිගත් මුහුණු දෙස බලා ඒකාන්තයෙන් වෙසෙසින් කලකිරී ලජ්ජාවෙන් මෙන් ප්‍රභාතයේ පඬුවන් පැහැයට යයි. වංශස්ථ වෘත්තයෙන් රචිත උත්ප්‍රේක්ෂාලංකාරයෙන් භූෂිත වූ යථෝක්ත අර්ථගර්භ සංස්කෘත පද්‍යය පරිවර්තකයා සිංහලයට නගන්නේ විරිත නොව අරුත සහ තදලංකාරය පිළිබඳ ව සතිමත් වෙමිනි. එක් බසෙක ඇති අදහසක් සිංහලයට නැගීමේ දී පරිවර්තකයකු සතු ස්වාධීනතා ද අහිමි කොට නොගනිමින් නිර්මාණකරණයෙහි යෙදිය හැකි ආකාරයට සිතේෂු හර්ම්‍යෙෂු ආදි වශයෙන් ආරබ්ධ යටකී කවට අමරසිංහයන් කළ පිරිවැටුම් කව කදිම නිදසුනකි.


මුළු රෑ වෙහෙස විඳ ලද ලිය මද යුදෙනී

සුදු පැහැ සඳලු තල මත සැතපෙති සුවෙනී

වසඟව බලා හිඳ උන් වත දෙස රමණී

විළි වැද සුදුමැලිව යයි සඳු

අලුයමිනී


වර්ෂා සමයේ දී ප්‍රචණ්ඩ වී ගලා යන නදිය කාලිදාස සුදුෂ්ට කාන්තාවකටත් ශරත් සමයේ ගලන නදිය ප්‍රේමණීය සකාමී කාන්තාවකටත් සම කරයි. තදරුත් ගබ් වූ කාව්‍යෝක්තීන්ගේ ගුණරුව මනා ව අවබෝධ කොට ගනිමින් ඒවා අප පිරිවැටුම් කිවිඳුන් වෙතින් හෙළ බසට නැගෙන්නේ මෙසේ ය:


මද කිපි සලෙලු විලසනියක විලසින්නේ

වැසි කල නදී මහ සයුරට දිව යන්නේ


සුවිසල් වැලිතලා පුළුලුකුළින් සැදිලා

ගංගා ගලයි මද මත් ලිය සේ

ළකලා


සොබාදහම තුළ මිනිස් ස්වභාව දකින ආකාරය විද්‍යමාන කාව්‍යෝක්ති සාර්ථක ව සිංහලයට නැගූ අවස්ථාවනට පහත පද්‍ය ඛණ්ඩ ද නිදසුන් කළ හැකි ය.


රිදවන දුක දැනී හේමන්තය

ලලන

හඬනු වැනි උදය පිනි තණ පත් සලන


පෙම්බරයා අහිමි විරහිනි ලෙසින්නේ

සොඳුරියෙ එවැල් පඬු පැහැයට හැරෙන්නේ


දන හද දැදුරු කරනට රති සුව විඳින

සොඳුරියෙ වසන්තය දුනුකරු ඇත පැමිණ


කොවුලා මත්ව මී අඹ රස මී

විතිනී

කෙවිලිය සිඹියි බමරිඳු ගුම් නද දෙමිනී


වරෙක සුප්‍රකට සංස්කෘත සාහිත්‍ය විචාරක බෙරිඩේල් කීත් පඬිවරයා පැවසුවේ භාරතීය කවීන් විසින් ඍතු සයකට බෙදා වර්ණනය කළ නිර්මාණයන් අතර එන සුවිශිෂ්ට කාව්‍යමය වර්ණනය ඍතුසංහාරය බව යි.

It is a highly practical discription of the six seasons into which the indian years devided by Sanskrit poets.

අපගේ වැඩිහිටි චිරකාලීන කලණ මිත් කරුණාරත්න අමරසිංහයන් විසින් අත ගසන ලද්දේ එක්තරා යුගයක ජීවමාන ව හිඳිමින් මෙදෙරණ සිය නැණ දියෙන් තෙමාලූ ඉහත කී මහා විද්වතුන් විසිනුදු වර්ණිත, පමණින් කුඩා, ගුණයෙන් විසල් සුන්දරාර්ථවාහී ග්‍රන්ථ රත්නයකට ය.

චිරකාලීන සහෘදයාණෙනි, ප්‍රශස්ති වශයෙන් නොව ඇත්ත ඇති සැටියෙන් දැකීම පිළිබඳ ව වන අපගේ මහදභිරුචියට අනුව මේ වූ කලී සැබැවින් ම සිංහල සාහිත්‍ය වංශයට සංස්කෘත සාගර ජලය මුසු කිරීමකි. රසාලිප්ත සාහිත්‍ය ධාරාවකින් සිංහල රසික සමාජය සමාලිප්ත කිරීමකි. නිර්මාණ සහෘදය සුජන සංසදයේ හෘදයමණ්ඩල සංස්පර්ශ කිරීමකි.

මෙම ලේඛනය අවසන් කරන්නේ ඍතුසංහාරගත වර්ෂා ඍතු වර්ණනාවසානයේ එන ආශංසන පද්‍යයත් එයට ඔබ කළ සුරස පැදියත් උපුටා දක්වමිනි.

එපැතුම සුප්‍රිය සහෘදය චිරකාලීන මිත්‍ර කරුණාරත්න අමරසිංහයන්ගේ ආදරණීය ජීවිතයත් ඔහුගේ නිර්මාණ කෞශල්‍යයත් වෙත පිදෙන උවසර කුසුමක් ම වේවා!


බහුගුණරමණීයඃ කාමිනීචිත්තහාරී -

තරුවිටපලතානාං බාන්ධවෝ නිර්විකාරඃ

ජලදසමය ඒෂ ප්‍රාණිනාං ප්‍රාණභූතෝ -

දිශතු තව හිතානි ප්‍රායශෝ වාඤ්චිතානි


මද මත් ළඳුන් සිත වඩවන රති ලොල්ලා

තුරුවැල් සනසනා මිතු සෙනෙහස දල්ලා

සව් ලෝ සතට ජීවය වන්

සුවිපුල්ලා

සුව දේවා ඔබට වැසි කල මනකල්ලා



අදහස් (0)

කාලිදාසගේ ඍතුසංහාරය රසාලිප්ත පරිවර්තනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1572 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site