සයිමන් නවගත්තේගම නවකතාකරුවකු විදියට සුවිශේෂයි. ඒක නියම උත්තරයක් නෙවේ. එක සාම්ප්‍රදායී උත්තරයක් පමණයි.

සයිමන් නවගත්තේගමගෙ සුවිශේෂත්වය මොකක්ද කියල හිතුවොත්, ඔහුගේ සුවිශේෂත්වය තමයි ඔහුගේ නවකතාවල තිබුණ සාම්ප්‍රදායී නොවන බව. ඔහුගේ නවකතාවල තිබුණ අසම්මත බව. පුද්ගලයකු විදිහටත් සයිමන් නවගත්තේගම අසම්මත මිනිහෙක්. ඔහු රස්තියාදුකාරයෙක්.

සයිමන් නවගත්තේගම රස්තියාදුකාරයෙක්ය කියල මම කියන්නෙ ඔහුට කරන අපහාසයකින් නොවෙයි. මම ඔහුට රස්තියාදුකාරයෙක්ය කියල කියන්නෙ රස්තියාදුකාරයෙක්ය කියල කියන වචනයේ තියෙන සාමාන්‍ය තේරුමට වඩා පුළුල් අර්ථයකින්. වර්තමානයහි විවාද සම්පන්න ලේඛකයකු වූ සල්මන් රුෂ්ඩි මම දකින්නෙත් ඒ විදියට. ඒ කියන්නෙ සල්මන් රුෂ්ඩිත් මම දකින්නේ රස්තියාදුකාරයෙක් විදියට.

ඔවුන්ගේ නවකතාවල අසම්මත ශෛලිය බිහිවෙන්නෙත්, ඔවුන්ගේ ජීවිත ආත්මීය කොටගත් අසම්මත ජීවන රටාව අන්දමටයි. සයිමන්ගේ ජීවිතය සමාජයට පිටස්තර වුණ සමාජයට පරාරෝපණය වුණ අසම්මත එකක් වූවත් ඔහුගේ ජීවිතය අව්‍යාජයි.

කුමාර වන්නි හත්පත්තුව ගැන, කැලය ගැන ලියන කොට ඒවා නිර්ව්‍යාජ වුණේ ඔහු නවගත්තේගම කියන හද්ද පිටිසර ගමේ ඉපදුන නිසාම නෙවි. ඔහු නගරයේ ඉපදී, නාගරික ජීවිත පදනම් කරගෙන කිසියම් සාහිත්‍යය නිර්මාණයක් සිදුකළා නම් නිතැතින්ම ඒවාත් නිර්ව්‍යාජ සාහිත්‍යය නිර්මාණ වෙනවා.

ඔය ඕනෑම නිර්මාණයකදී වුවත් නවගත්තේගම පාවෙන පුද්ගලයකු වුණේ නැහැ. කිසියම් දැඩි මතවාදයක් වුවත් ඒ කිසිම මතවාදයකට ඔහු හේත්තු කරන්න බැහැ. කිසිම සංකල්පයකට ඔහු යට කරන්න බැහැ.

සාපේක්ෂණීහිදී ඔහු ඇතුළු කරන්නෙ ඉතිහාසය. එහි ඉතිහාස සන්දර්භයක් තිබුණට එය ඉතිහාස කතාවක් නෙවෙයි. ඉතිහාස සන්දර්භය ඔහු වර්තමානයට ගළපනවා. සාපේක්ෂණී ඔහු නිර්මාණය කරන කාලයෙ අපේ රටේ තුවක්කු සංස්කෘතිය උච්ඡතම අවස්ථාවෙ තිබුණෙ. ඒ වගෙ කාලයක සාපේක්ෂණීහි ඉතිහාස සන්දර්භය තුළින් එළියට එන්නෙ වර්තමානය.

ඔහුගේ මුල් කාලයෙ කෙටි කතාවල "සාගර ජලය මදි ඇඬුවා ඔබ හින්දා." වැනි කතාවල ප්‍රධාන තේමාව වෙන්නෙ මව. මිනිසා තම මව සොය යන ආපසු ගමනේදී ඔහුට ලැබේන්නෙ වෙනස් ආදේශකයන්. සියලුම මිනිස්සුන්ට තම මව සොයා යන ආපසු ගමනේදි ඔවුන්ට ලැබෙන්නෙ වෙනත් ආදේශකයන් බව නවගත්තේගම කියන්න උත්සාහ කරනවා.

නවගත්තේගමට ඉතාමත් රමණීය බසක් තිබුණා. නමුත් එහෙම වුණාට භාෂාව ගැන ලොකු විශ්වාසයක් තිබුණෙ නැහැ. භාෂාවෙන් සියල්ලම විස්තර කරන්න බැරි බවයි ඔහු හිතුවෙි.
 
මිනිස් චර්යාවන් විවරණය කිරීමේදී නවගත්තේගම සම්මත අසම්මත කියල බැලුවෙ නැහැ. මිනිස් සංකල්ප ග්‍රහණය කරගන්න අර සාම්ප්‍රදායී මතයෙන් බැහැර වුණා. සමාජ යථාර්ථයෙහි අසම්මත බව ගැබ්වෙලා තියෙනවා. ඒව නැහැයි කියන්නෙ කුහකයෝ. එම කුහකකමින් ඈත්වුණ සයිමන් නවගත්තේගම ඇත්තෙන්ම අගය කළ යුත්තෙක්.