සාම්ප්‍රදායික  ජනමාධ්‍ය කලාව අභාවයට යමින් පවතින බවත් මුද්‍රිත මාධ්‍ය ඩයිනෝසරයා මියැදෙමින් සිටින බවත් ඇතමෙක්  තර්ක කරති.එහෙත්  "පත්තරේ" නමැති අගනා මැණිකේ අගය කණයෝ නොදනිති.

එය  තවතවත් ඔපමට්ටම් කළහොත් ඩිජිටල් මාධ්‍යයත් සමඟ උරිනුර ගැටී තරග කළ හැකි හොඳ වෙළෙඳ භාණ්ඩයකි. තතු එසේ වූව ද  පත්තර යනු තවදුරටත් මාර්කට් කළ හැකි වෙළෙඳ භාණ්ඩයක් හෝ කර්මාන්තයක් නොවෙි යැයි කෙනකුට තර්ක කළ හැකිය.එහෙත් ගුණාත්මක පක්ෂය ඉහළ නංවන ඕනෑම වෙළෙඳ භාණ්ඩයකට ඉල්ලුමක් ඇත.වත්මන් මුද්‍රිත පුවත්පත් කලාව ද නූතනයට ඔබින පරිදි වෙනස් විය යුතුය.වෙළෙඳපොළ තර්කණයට අනුව  යථාර්ථයට මුහුණදී වැරැදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යා යුතුය.ලෝකයේ බොහෝ රටවල ජනමාධ්‍ය කර්මාන්තය බිඳ වැටෙමින් පවතී.මෙි වූකලී සනාතන දහමකි.යුග පෙරළියක ආකල්ප පෙරළයකි.
.


ඩිජිටල් යුගය

ඩිජිටල් අවකාශයේ ආගමනය යටකී විපරිවර්තනට දෙස් දෙයි.අද ළමා වැඩිහිටි මහලු කවුරුත් පරිහරණය කරන්නේ  සමාජ මධ්‍යය යි.ඇතමෙක් මුහුණුපොතෙ ඇස අලවාගන සිටිති.සමහරු කෑම, බීම ගනිද්දි පමණක් නොව ශරීරකෘත්‍ය සඳහා වැසිකිළියට යනවිට ද ස්මාර්ට් දුරකතනය රැගෙන යති.ඔවුහු එතරම්ම ඊට ඇබ්බැහි වී සිටිති.මෙනයින් බලන කල ඩිජිටල් යුගයේ ග්‍රහකයෝ ජනමාධ්‍ය කලා විහීනයෝය.ඔවුහු කහ ජනමාධ්‍ය( Yellow journalism )  කලාවට පෙම් බඳින්නෝය.කහ ජනමාධ්‍ය යනු කිම?මෙි වනාහි ඕපාදූප,සමාජ විරෝධී ක්‍රියා,පහත් ලිංගක හැසිරීම් උලුප්පා පෙන්වීමය. අනුන්ගේ කක්කුස්සිවළට, නිදන කාමරයට එඹෙන්නෝ  මාධ්‍යවෙිදීන් නොව  අනුන්ගේ පෞද්ගලිකත්වය  විකුණාගෙන කන අමනෝඥයෝය.
.
මුහුණුපොත වසාගත් දුස්තොරතුරු බෙදාගනිමින් ඔවුහු බොරුවළක වැටී සිටිති.එපණක් නොව අද සමාජ මාධ්‍ය හසුරුවන පිරිස රටක ප්‍රධාන මැතිවරණ පවා කණපිට හරවන ගාමක බලවෙිගය බවට පත්වී සිටිති.ඔවුහු දේශපාලන මතවාද ගොඩනගති.පුරවැසියාට බලපෑම් කරති.න්‍යාය පත්‍ර සකස් කරති.පුහු චරිත පුම්බති. රටක ජනතා නැගිටීම්,සමාජ පෙරළි සිදුවන්නේ යටකී සමාජ මාධ්‍ය හැසිරීම මත නොවෙිද? අද සමාජ සංසිද්ධි එසැණින් අන්තර්ජාලයේ පළවෙයි.එකල මෙන් නොව උණුසුම් පුවත් තත්ක්ෂණයෙන් මුහුණුපොතට ගලා එයි.ජනතාව එදා මෙන් රටතොටෙි සිදුවන දෑ දැනගැනීමට  පත්තර පළවන තුරු මග බලා නොසිටිති.ඔවුහු තම ජංගම දුරකතනයෙන් සියලු තොරතුරු දැන කියා ගති.මෙනයින් බලන කල   සාම්ප්‍රදායික  ජනමාධ්‍ය යනු තවදුරටත් සමාජ පෙරගමන්කරුවකු නොවෙි.මෙි කටුක යථාර්ථය අපි දැන්වත් අවබෝධ කර ගනිමු.

 

පුවත්පත් තව දුරටත් ලිබරල් ද?

ලිබරල්වාදය ජාතික පුවත්පත් කලාවෙි අනුත්තර සහ අවිවාදිත මතය ලෙස තවදුරටත්  පිළිගත නොහැකිය.ලිබරල්වාදය ජාතික පුවත්පත් කලාවට උචිත දර්ශනය ලෙස පිළිගැනීමට පදනම් වන්නේ එහි තිබෙන මධ්‍යස්ථ සහ අපක්ෂපාතී නිදහස්,ස්වාධීන  ස්වභාවය යි.මෙයින් අදහස් කරන්නේ සත්‍ය පුවතකට ලිබරල් චින්තනයෙන් විපුල මෙහෙයක් ලැබෙනු ඇති බවය.එහෙත් එය එසේ නොවෙි.සිංහල පත්තර කලාව තුළ ලිබරල්වාදය රජ ⁣කෙළේ නම් එය සිදුවූයේ එම අර්ථයෙන් ම විනා සත්‍යයේ පාරදෘශ්‍යභාවය හෝ ඥානයේ දානපති යන අර්ථයකින් නොවෙි.මෙි වූකලී ප්‍රභූ පුවත්පත් කලාවෙි මෙන්ම නිර්ප්‍රභූ පුවත්පත් කලාවෙි ද සංකලනයකි.තතු එසේ වූව ද  අද අප අත්දකින පශ්චාත් ධනවාදය තුළ පුවත්පත් කලාව විසින්ම ලිබරල්වාදය අතහැර දමා ඇත.ජාතික රාජ්‍යයන්ගේ ජාතික පුවත්පත් ලෙස පැන නැගුණු මහා ආඛ්‍යාන (Mega Narratives) ශීඝ්‍ර ලෙස බිඳවැටෙමින් තිබෙි.නූතන මිථ්‍යා( Modern Myths ) ලෙස ජාතික පුවත්පත් සතුව තිබුණු සංස්කෘතික අධිකාරීත්වය ජාතික රාජ්‍යයන්ගේ අර්බුද නිසාත් සාමාජ විමුක්ති අඛ්‍යානයන්ගේ විසංවාද නිසාත් තොරතුරු තාක්ෂණයේ වර්ධනය හේතුවෙන් බිඳවැටී ගොසිනි.මෙනයින් ජාතික පුවත්පත් සතුව තිබුණු පැරැණි කීර්ති නාමය හා මහා ආඛ්‍යාන අනන්‍යතාව අද නැත.

 

කර්තෘගේ මරණය 

පශ්චාත් නූතන පුවත්පත් සංස්කෘතිය තුළ ප්‍රවෘත්ති කර්තෘ හෝ ප්‍රධාන කර්තෘගේ මෙිසය උඩට පුවත් ගලා එන්නේ තරමක් පිලුණු වූ පසුවය.එහෙත් මෙකී පිලුණු පුවත්වලින් පාඨකයන්ට පලක් නැත.බොහෝ පාඨකයෝ සමාජ මාධ්‍ය ඔස්සේ නැවුම් පුවත් දැන ගනිති.පසුදා පළවන ජාතික පුවත්තේ පල්වුණු පුවත් බලන්නට ඔවුහු නොපෙලඹෙති.කර්මාන්තයේ කඩා වැටීමට මෙයත් ප්‍රබල සාධකයක් නොවෙිද ?පුවත්පත්  කර්මාන්තයේ කඩාවැටීමත් සමඟ අද බොහෝ ආයතනවල මාධ්‍ය හිමිකරුවෝ  සේවකයන්ට වැටුප්  ගෙවීමට නොහැකිව විශාල ආර්ථික අර්බුදයකට මුහුණපා සිටිති.ලංකාවෙි පමණක් නොව ලෝකයේ ඇතැම් රටවල ද පත්තර හිටිහැටියේ වැසී ගියේය.එයින් සේවකයෝ විශාල පිරිසක් යනඑන මං නැතිව හිස් අතින් ගෙදර ගියහ.ඩිජිටල් මාධ්‍යකරණයේ අවාසනාවන්ත තත්වය වනුයේ මානව සම්පත් නොතකා හැරීමය.මිනිස් බලය ( Man power) මෙහි මහපොදු සාධකය බවට පත් නොවෙි.අද කෘත්‍රිම බුද්ධියෙන් (AI) පවා පුවත්,විශේෂාංග, පළ වෙි.ඊට අවශ්‍ය වන්නේ දත්ත  පරිගණකයට ගබඩා කිරීම පමණි.ඩිජිටල් තාක්ෂණය,ඊමෙිලිං, කපොක්ටිවිටි,ටිවිටර්,වට්ස්ඇප්,මැසෙන්ජර්,ඉන්සටග්‍රෑම්,ඩවුන්ලෝඩිං ආදීහු අද තොරතුරු තාක්ෂණයේ කෙරුම්කාරයෝය.ලිබරල්වාදය දේශපාලන ප්‍රංපචයකි.එහෙත් සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති මවන ආකාරයෙන් එය අහෝසි වී යයි.සමාජ මාධ්‍යයෙන් බොහෝවිට දක්නට ලැබෙන්නේ දුස්තොරතුරුය.එමගින් බුද්ධිමත් ග්‍රහකයාගේ විශ්වසීනත්වය බිඳී යයි.
අවසානයේ පෙන්නුම් කරන්නේ  යටකී ලිබරල් පුවත්පත් කලාවෙි අභාවය පමණක් නොව පුවත්පතේ ප්‍රධාන කර්තෘගේ ද මරණය යි. රෝලන්ඩ් බාත් විසින් සාහිත්‍ය වියමනක අර්ථ ජනනය සම්බන්ධයෙන් පළකළ කර්තෘගේ මරණය ( The death of Author ) පිළිබඳ අදහස ද එමහින් සුවිශද වෙයි.රෝලන්ඩ් බාත්ගේ සංකල්පය වත්මන් පුවත්පත් කලාවෙිදී අනුවර්තනය වන්නේ පත්තරයක ප්‍රධාන කර්තෘගේ මරණයට ය.මෙනයින් බලන කල සාම්ප්‍රදායික  ජනමාධ්‍ය මහගෙදර කැණිමඬලට ගිනිඇවිළී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.අද  පත්තර කර්මාන්තය දුර්වල වෙමින් ද අභියෝගයට ලක් වෙමින් ද අවිනිශ්චිතතාවක පවතී.එහෙත් මෙරට මුද්‍රිත මාධ්‍යයට  ෆීනික්ස් කුරුල්ලකු මෙන් අළු ගසා දමා නැවත නැගිටිය හැකිය.ඊට අවශ්‍යය විභවය සොයාගැනීම කේෂ්ත්‍රයේ නියැළෙන්නන්ගේ වගකීමකි.සමාජ මාධ්‍ය අභිබවා යන සුහුරු මාධ්‍ය ( Smart Journalism ) කලාවක් ගොඩනැගීමට මෙි හොඳම කලාය යි.පත්‍රකලා ප්‍රසාදිනී යනු එසේ  පණ අදින සාම්ප්‍රදායික  මාධ්‍ය ඩයිනෝසරයාට ඔක්සිජන් දීමට ගත් වෑයමකි.එපණක් නොව මෙි වූකලී ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 70 වැනි සංවත්සරිකෝත්ස්වය වෙනුවෙන්  එම සංගමයේ දසක හතක මතක ආවර්ජන කරමින් පිදෙන අගනා සමරු ග්‍රන්ථයකි.ලාංකේය ජනමාධ්‍ය කේෂ්ත්‍රයේ ප්‍රාමාණිකයෝ සහ විද්වත්හු මෙි සඳහා අගනා ලිපි රැසක් සම්පාදනය කරති.ඔවුහු සාම්ප්‍රදායික  මාධ්‍යයේ රෝග නිධානය හඳුනා ගත්තෝය.එහෙත් ඊට පිළියම් සොයන්නෝ කවරහුද?මෙහි පළවී ඇති හරබර ලිපිවලින් එය මොනවට පැහැදිලි වෙි."පත්‍රකලා ප්‍රසාදිනී" ජනමාධ්‍ය කේෂ්ත්‍රයේ දුහුනන්ට අත්පොතකි.