තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි
බටහිර යුරෝපා ලෝකයෙහි කොරෝනා වසංගත රැල්ල කෙමෙන් කෙමෙන් පහවී යද්දී පෙරදිග ලෝවැසියන් කෙරෙහි දැන් එය දරුණු ලෙස හමා ඇවිත් ඇත. 2565 වෙසක් බුද්ධ ජයන්තියේ සඳ රැස් වැටීගෙන එන්නේ මෙබඳු භයංකර අන්ධකාරයක් මැදිනි. ශෝකයේත් ත්‍රාසයේත් ගිලී සිටින අප විපත් අඳුරේ ම දුක්බර ව ඇවිද යනු වෙනුවට වෙසක් සඳේ සොමි රැස් දහරින් එළිය ලබා විපතින් නැඟිට ප්‍රඥාවේ එළි දල්වා ගෙන සුවපත් මඟක්, කයිනුත් සිතිනුත් සුවපත් වූ මඟක් වහ වහා සොයා යෑමට උත්සුක විය යුතු ය. එය නව්‍ය මාර්ගයක් නොවේ.
වසර 2550කටත් අධික කාලයක් තිස්සේ ථේරවාදයේ උරුමයක් ලෙස හැදී වැඩී පෝෂණය වුණු බෞද්ධ සභ්‍යත්වය තුළ ප්‍රායෝගික ව අත්හදා බලා ඇති ආර්ය මාර්ගයෙකි. ඒ සාර්ථක ගමන් මඟේ මිනිසාට මතු නො ව සමස්ත සත්ව-ශාක පරිසරයට ම හිතකර වූ නවීන විධි ක්‍රම ද භාවිත කරමින් ධරණීය සංවර්ධනයක් කරා මානුෂීය එක්සත් බවකින් ඉදිරියට යෑම සියලු ලක් වැසියනට ම අයත් කාර්ය භාරයෙකි. අප්‍රමාදය මූල ධර්මයක් සේ ඉගැන්වෙන බුදු දහමින් ඒ සඳහා ලබාගත හැකි එළි දහර සුළු පටු නොවේ.
බුද්ධ චින්තාව යනු බුදුරජාණන් වහන්සේට ආවේණික වූ චින්තන මාර්ගය යි. නැතහොත් සම්බුද්ධ ඥානය යි. බුද්ධ ධර්මය යනු ඒ අවබෝධයේත් ඥානයේත් ප්‍රකාශනය යි. බුදුරදුන් දේශනා කැර ඇත්තේ උන් වහන්සේ අවබෝධ කළ ධර්මයේ සුළු ප්‍රමාණයක් බව ධර්මයෙහි සඳහන් ය. එය මහ වනයක කොළ ප්‍රමාණයෙන් බැලුවහොත් අතට ගත හැකි කොළ මිටකට සමාන ය. පුද්ගලයා සන්තානගතව ද සමාජගතව ද සංසාරගතව ද විඳින අනේකවිධ දුඃඛස්කන්ධය මැනැවින් විභාග කැර පෙන්වූ බුදුපියාණන් වහන්සේ එය ඇති වන හේතුවත්, නැති කිරීමත්, ඒ දුකින් මුළුමනින් ම මිදෙන මඟත් සියලු සත්වයනට මහා කරුණාවෙන් විවෘත ව පෙන්වා වදාළහ.
බුදු සමය හේතු-ඵලවාදී චින්තනයෙකි. බුදුපියාණන් වහන්සේ මේ දුකත් දුකින් මිදීමත් පැහැදිලි කරන්නේ එකී හේතු-ඵල විවරණයෙනි. මෙලොව අප මුහුණු දෙන්නා වූ කායික-මානසික-සමාජීය ඕනෑම ගැටලුවක් නිරාකරණය කැරගැනීම අරබයා උපයෝගී කැරගත හැකි සාර්ථක ධර්ම න්‍යාය වන්නේ ඉහත සඳහන් හේතු-ඵල වාදය යි. ඒ උපයෝගීතාවේ අභ්‍යාසයෙන් බැහැර ව ක්‍රියා කරන්නට යෑම නිසා සමාජ-ආර්ථික-දේශපාලනික පරිසරය තුළ මතු වී ඇති සංකීර්ණ ප්‍රශ්න තුළ ම මිනිසාට තව තවත් කිඳා බසින්නට සිදු ව ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. ශාස්ත්‍රීය වශයෙන් බුද්ධ ධර්මයේ ආභාසය, ථේරවාදයේ උරුමය, අතීත ශ්‍රී විභූතිය පිළිබඳ ගැඹුරු අධ්‍යයන, විශ්ලේෂණ, සම්මන්ත්‍රණ කොතරම් පැවැත්වුවත් එය පෞද්ගලික හා සමාජීය ප්‍රායෝගික අභ්‍යාසයට විධිමත් ව ගෙන නොඑන තාක් කල් ධාර්මිකත්වයේ මධුර ආස්වාදනය හා සතුට සමාජයට උරුම වන්නේ නැත. ධර්මයේ සඵලත්වය උරගා බැලිය හැකි වන්නේ දහම පිළිපදින්නාට ය යනු බුද්ධ භාෂිතයෙකි.
පංච ශීලය වශයෙන් උගන්වන සුචරිත ධර්ම පහ පමණක් ගෙන බැලුවත් එයින් පුද්ගලයාටත් සමාජයටත් වන අර්ථ සිද්ධිය ප්‍රමාණ කළ හැකි ද? විශිෂ්ට මානව ධර්ම පහක් ලෙස ශීල ශික්ෂාවේ ඉගැන්වෙන එම ගුණාංග පස පුද්ගලයාගේ මෙලොව ජීවිතයේ දියුණුවටත් පරලොව දියුණුවටත් ලොවුතුරු විමුක්තියටත් හේතු පාදක වන බව අපි දනිමු. එය සරල එහෙත් ගැඹුරු ප්‍රතිපදාවකි. සමාජයක් ශිෂ්ටත්වයෙන් ආචාරශීලීත්වයෙන් හා යුක්ති ගරුක භාවයෙන් දියුණු වීමට පංචශීලයෙහි ඇති සනාතන අගය වත්මන්හි අධ්‍යයනයට පමණක් සීමා කැරගෙන තිබෙන බව සමාජීය ගමන් රටාව දෙස බලන විට පැහැදිලි වන කරුණෙකි. කවර ම රටක් හෝ සමාජයක් හෝ ශිෂ්ට සම්පන්න යැ යි මනිනු ලබන්නේ මේ කරුණු පදනම් කැරගෙන ය. ඒ මිනුම් දඬුවලින් බලන කල බෞද්ධ නොවන ඇතැම් රටවල් උන්නතිය කරා ගමන් කරන අයුරුත් අප රට අවනතිය කරා පියමං කරන අයුරුත් දැකගත හැකි වනු ඇත.
හේතු ඵලවාදී ව මේ තත්ත්වය දෙස බලන විට අප ධර්මයෙන් ඈත් වී මානව දයාවෙන් ශුන්‍ය වී ආත්මාර්ථකාමීත්වයෙන් ද තෘෂ්ණා දාසත්වයෙන් ද මැඩපැවැත්වී ආත්ම සංයමයෙන් හා චිත්ත දමනයෙන් තොර ව යන ගමනෙක විකෘතිය දැකගත හැකි වනු ඇත. නිසරු තැන සාරය නො සොයා සාරය තුළ ම සාරය සොයා යෑමේ ගමන් ඇරැඹීම යථාර්ථවත් වූ ප්‍රතිපත්ති පූජාවෙකි.
අධර්ම රාගය හා විෂම ලෝභය පුද්ගලයාත් සමාජයත් පෙළන, දුක්ඛිත සමාජ පරිසරයක් නිර්මාණය කරන ක්ලේශ ධර්ම දෙකක් ලෙස ධර්මයෙහි පැහැදිලි වේ. සමාජ සංස්කෘතිය කෙමෙන් සෝදාපාළුවට යන්නේත් ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය විවිධ දුෂ්කෘතයන් කරා සමාජය පොළොඹවන්නේත් අර්ථපතියන් අතෘප්තිකර ලෙස මහජන දුක නො සලකා මහජනයා තළා පෙළා දන උපයන්නේත් ජන ප්‍රධානීන් අත්තනෝමතික ලෙස නිසි කළමනාකරණයකින් තොර ව වංචා-දූෂණ-අගතීන්ට යටත් ව ආයතන පරිපාලනය කරන්නේත් ගොවි-ගුරු-කම්කරු ආදී විවිධ වෘත්තිකයන් ජන මනසත් ජනතාව ගේ සෞඛ්‍යයත් කෙලෙසමින් ක්‍රියා කරන්නේත් මේ අධර්ම රාගය හා විෂම ලෝභය නිසා ය.
බෞද්ධ සංස්කෘතිය යනු ලොවේ ඕනෑ ම කෙනකුට ආස්වාදනීය ව ස්පර්ශ කළ හැකි සදාචාරය හා මානව දයාව මූලික කැරගත් සහකම්පන ගුණයෙන් පෝෂිත සභ්‍යත්ව වින්‍යාසයෙකි. ඒ තුළ වර්ධනය වනුයේ සංතෘප්තිමත් ප්‍රියංකර ජීවන රටාවෙකි, නිර්බාධිත පවුල් ඒකකයෙකි, සමඟියේ ප්‍රහර්ෂය අත්විඳින සුඛිත මුදිත සමාජයකි. එය සාධාරණ භෝගී, සමානාත්මතා සමාජ යාන්ත්‍රණයකට දොර ඇර දේ. ඒ සංස්කෘතිය තුළ හැඩගැසුණු රාජ්‍ය පාලකයෝ රටවැසියන් ගේ දුක් වේදනා මැනැවින් දැන හැඳින සංවේදී ව, ප්‍රඥා සම්පන්න ව, පක්‍ෂ-ප්‍රතිපක්‍ෂ භේද නො සලකා ජන රංජනය කරති. වෙනත් අයුරකින් කිව හොත් ධර්ම විජිත ධර්මතාන්ත්‍රික පාලනයක් ස්ථාපිත කරති.
ධාර්මික වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන අවංක වූ එබඳු පාලන තන්ත්‍රයක් ඇති කල අකාලයේ ඇති වන ස්වාභාවික විපත්වලින් රට නිදහස් වෙයි. සොර සතුරු වසංගත රෝග බිය දුරු වෙයි. කෙත් වතු මැනවින් අස්වැද්දෙයි. කලට වැසි වසී. හරිත පරිසරය රටවැසියා ගේ සෞඛ්‍යයත් ප්‍රීතියත් වැඩෙන අයුරින් සංරක්‍ෂිත වෙයි. එබඳු ප්‍රගාමී සංස්කෘතික පරිසරයකට අපට අද හිමිකම් කිව හැකි ද? යථෝක්ත සංස්කෘතික පරිසරයක් තුළ අප සංරක්‍ෂිත වූවා නම්, මිනිසාටත් පරිසරයටත් හිතකාමී ආකල්පවලින් අප සුපෝෂිත වූවා නම් කොරෝනා බඳු දරුණු වසංගත රෝගවලින් ද ඒකාන්තයෙන් ම අප රට නිදහස් කැර ගන්නට හැකියාව තිබිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එක සභා වාරයක් නැරඹුව හොත් අපේ සංස්කෘතියේ ඛේදනීය බිඳවැටීමත් ඉදිරියට රට මුහුණ පාන ඛේදවාචකයත් මැනැවින් වටහාගත හැකි වනු ඇත. නිර්මල සංස්කෘතියක අලංකාරවත් සළු පිළි අබරණ කෙමෙන් ගිලිහී යන අයුරුත් පුෂ්ටිමත් ආධ්‍යාත්මික දේහයේ හෘදයාභ්‍යන්තරය දෙදරා යන අයුරුත් එහි දී මොනවට දැකගත හැකි වනු ඇත. එබඳු අඳුරු තැන් සොඳුරු ප්‍රඥා ප්‍රදීපාලෝකනයෙන් එළි ගැන්විය හැකි නම් එය ධර්මද්වීපයේ ද්වාරය ව විවෘත කිරීමක් වනු ඇත.
රාජ්‍ය පාලනයෙහි ලා ප්‍රමුඛ ව අවධාරණය කැරෙන දශ රාජ ධර්ම රාජ්‍ය යන්ත්‍රණයෙහි මූලධර්ම ලෙස උපයෝගී කැරගත යුතු ය. ඊට ආගමික හංවඩුවක් ගැසීම අවශ්‍ය නැත. දාන-ශීල-පරිත්‍යාගාදී වූ ඒ දසරජ දම් කවරම වූ ද රාජ්‍ය තන්ත්‍රයකට ආගමකට ජන සමාජයකට එක ලෙස උපයෝගී කැරගත හැකි දාර්ශනික ක්‍රමෝපායයෙකි. රාජ්‍ය පාලකයාට පමණක් නොව රටවැසියාට ද ඒ ධර්ම ප්‍රායෝගික ය. රාජ්‍ය පාලකයා ද රටවැසියන් ද ධර්මයෙන් ප්‍රතිබද්ධ ව ප්‍රභාවිත වූ විට ය රාජ්‍යයක් සුඛිත මුදිත වන්නේ. ‘අපි ඔක්කොම රජවරු - ඔක්කොම වැසියෝ - තුන් සිංහලයම නෑදෑයෝ’ යැයි සැබෑ ලෙස උදම් ඇනිය හැක්කේ එවිට ය. දානය - ප්‍රිය වචනය - අර්ථචර්යාව - සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු ද බෙහෙවින් රාජ්‍ය පාලකයා වෙත ආරෝපණය කැර සාකච්ඡා කැරෙතත් මවුපියන් විසින් ද මේ දහම් කරුණු හතරින් සිය දරුවනට සංග්‍රහ කළ යුතු බව බුදුපියාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙහි ලා වදාළහ. භික්ෂුන් වහන්සේලාට දේශනා කැර ඇති බොහෝ ධර්ම පර්යාය ගිහි ජනතාවට ද අදාළ කැරගත හැකි ය. කරණීය මෙත්ත සූත්‍රය එහිලා එක් නිදසුනෙකි. බුද්ධ වචනය නමැති අකාලික සන්නිවේදනය ගිහි පැවිදි හැම දෙනාට ම ඒ ඒ ආකෘතියෙන් අවශ්‍ය පරිදි අදාළ කැරගත හැකිය. එහි අවසානික ප්‍රතිඵලය දුක්ඛ නිරෝධය වන හෙයිනි.
කොරෝනා වසංගත රෝගය ලෝකයට ඉගැන්වූ පාඩම් බොහෝ ය. මිනිසාට අත් කැර දුන් ශෝචනීය ඉරණම මෙන් ම මිනිසා ගේ හරසුන් පටු චින්තනයේ දිශානතීන් ද වෙනස් කරනු ලැබ ඇත. මිනිසා ගේත් පරිසරයේත් යහ පැවැත්ම උදෙසා එබඳු යම් යම් වෙනස්කම් සිදු වී ඇති බව සැබෑ ය. එහෙත් එය කොතෙක් දුරකට යාවත්කාලීන වේ දැයි කිව නොහැකිය. මිනිසා තුළ රජයන අස්මි මානයත්, හුරු පුරුදු වී ඇති අධිපරිභෝජනවාදී ජීවන රටාවත් කරණ කොට ගෙන යළිත් තෘෂ්ණාවේ වහලුන් වීම පාරිසරික හේතු නිසා ද සතිමත් බවෙන් බැහැරවීමෙන් ද සිදු විය හැකිය. සුළු සංඛ්‍යාවක් ඉන් බැහැර වී සිතට යාවජීව සහනය ලබාදෙන ගමන් මඟෙක නිරත විය හැකි ය. මේ කියූ ස්වභාවය ලංකාවට ද උරුම ය. විපත සැපතකට හරවාගත හැකි උපාය මාර්ගය දේශනා කළ බුදුරදුන් අනුදත් ධර්මවිජය ජීවන ප්‍රතිපදාවට අප නොපමා ව බැසගත යුත්තේ ඒ නිසා ය.
කොරෝනා වෙනුවෙන් පූර්ව රෝග නිවාරණ උපක්‍රම නිතර නිතර අවධාරණය වේ. එය ඉතා වැදගත් ය. මේ භයානක උවදුරින් වැළැකීමට එබඳු සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අත්‍යවශ්‍ය ය. එහෙත් සාමාන්‍ය වශයෙන් ජාතියේ සෞඛ්‍ය වර්ධනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කෙරෙහි රටවැසියන් සාවධාන වනු ඇද්ද යනු සැක සහිත ය. අප රටේ ආර්ථික, අධ්‍යාපනය හා සෞඛ්‍යය යන අංශ තුනෙහි ම බොහෝ සැලැසුම් හා ක්‍රියාමාර්ග සුඛිත ජාතියකට වඩා රෝග බහුල ජාතියකට මංපෙත් පාදන බව කිව හැකි ය. ආර්ථික සංවර්ධන සැලැසුම් එහි ප්‍රධාන වේ. විද්‍යා - තාක්‍ෂණික හා කර්මාන්ත දියුණුව ආර්ථික සංවර්ධනයට අවශ්‍ය වෙතත් බොහෝ විට මිනිසාත් පරිසරයත් එමගින් අපහරණය වන අයුරු නො සලකා එය සිදුවන බව විමර්ශනය කැර ඇත. සාමාන්‍යයෙන් සංවර්ධනයේ මිනුම් දඬු ලෙස දළ දේශීය නිෂ්පාදනයේ ඉහළ ධාරිතාව, ඒක පුද්ගල ආදායම වැනි සාධක සැලැකිල්ලට ගනු ලැබේ. එහෙත් බෞද්ධ පදනමක් ඇති භූතානය ඒ පිළිබඳ ව අනුගමනය කරන පිළිවෙත අප රටට ද ආදර්ශවත් ය. ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මිනුම් දණ්ඩ ලෙස ඔවුන් සලකනුයේ දළ දේශීය සතුට (Gross Domestic Happiness) මිස දළ දේශීය නිෂ්පාදනය නොවේ. සිය සාරධර්ම සහ සංස්කෘතික හර පද්ධතීන් ආරක්‍ෂා කැර ගනිමින් සංවර්ධන ඉලක්ක කරා යෑම එහි අභිප්‍රාය වී ඇත.
යටත් විජිතයක් වන තෙක් ම ශ්‍රී ලංකාව ද අනුගමනය කළේ එබඳු ආර්ථික වැඩපිළිවෙළකි. ආර්ථිකය ධනය මුල් කැර ගත්තක් නො ව සතුට පදනම් කැර ගත්තක් බව ඔවුන් වටහා ගත්තේ බුදු දහම ආශ්‍රයෙනි. “සන්තුට්ඨි පරමං ධනං” ධනයේ පරමය හෙවත් උපරිමය සතුට බව බුදුරදහු වදාළහ. ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මය ධර්මානුකූලව මිනිසාටත් පරිසරයටත් හිතකාමී ලෙස පැරැණියන් දියුණු කළ සැටි වත්මනට ද පූර්වාදර්ශ වේ. දේශීය ආර්ථිකයට මුල් තැනක් දෙමින් ස්වයංපෝෂිත ආර්ථිකයේ දියුණුව කරා යන ගමනේ දී මිනිසා ලෙඩ කරන රසායකින පොහොර භාවිතය නතර කොට කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රශංසනීය ය. ගොවි ජනතාව ටික කලක් අපහසු තත්ත්වයකට මුහුණ දිය හැකි වුව ද දීර්ඝ කාලීන ව ඉන් ජනතාවට ලැබෙන ශාන්තිය වටහාගත හැක්කේ එහි ප්‍රතිඵල භුක්ති විඳින විට ය. ගොවිතැන පමණක් නොව, සෙසු ආහාර නිෂ්පාදන ක්‍රියාවලියෙහි ද වෙළෙඳාමෙහි ද මෙබඳු ප්‍රතිපත්තිමය දැඩි තීරණ ගත හැකි නම් එය ද ලෝවැඩ සලසන පින්කමක් වනු ඇත.
2565 වැනි වෙසක් ජයන්තිය වෙනුවෙන් ලක්වැසි ගිහි - පැවිදි හැම දෙනකු ම ආමිෂ පූජාවෙන් ද ඊට වැඩිමනත් කොට ප්‍රතිපත්ති පූජාවෙන් ද තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පුදන්නට අදිටන් කැර ගත යුතු ය. බුදුරදුන් වර්ණනා කළ අප්‍රමාදය (සිහි සැලකිල්ල) පෙරටු කැරගෙන, සතිමත්ව අත්තහිත - පරහිත සාධනයෙහි සවි පමණින් නිරත වීම උත්තම බුද්ධ පූජාවක් ම වන්නේ ය. කුසීත නොවී උට්ඨාන වීරියෙහි යෙදෙමින් ද, විවාදයෙහි විසංවාදයෙහි ඇති නිසරු ප්‍රතිඵල වටහාගෙන අවිසංවාදීව සමඟි ව ක්‍රියා කැරමින් ද, ප්‍රමාදය මුළුමනින් ම හැර දමා අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කැරමින් ද සම්බුදුරදුන් වෙනුවෙන් කළ මනා ඒ උත්තම ප්‍රතිපත්ති පූජාව සම්පූර්ණ කැරගැනීමටත් ඒ තුළින් සියලු රෝග විපත් දුරැලීමටත් ලක්වැසි ඔබ සැමට අසිරිමත් ආශිර්වාදාත්මක වෙසක් මංගල්‍යයක් ම වේවා!
(***)
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා...!
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සෞභාග්‍යවත් දේශයක් සුවපත් සමාජයක්