IMG-LOGO

මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් රැකීම මහ බැංකුවේ වගකීමක්

තවත් මූල්‍ය ආයතන දෙකක තැන්පත්කරුවෝ පසුගිය 13 වැනිදා සිට උණුවතුරට වැටී සිටිති. ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ලිමිටඩ් නම් ආයතනවල ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවීම හේතුවෙන් මෙසේ එකොළොස් දහසකට ආසන්න තැන්පත්කරුවන්ගේ අනාගතය මහපාරට ඇද දමා තිබේ. මේ අය අතුරින් කිසියම් පිරිසකට තැන්පත් මුදල් ගෙවන බවටත් ඉතිරි පිරිසට ලක්ෂ 06ක මුදලක් ලබා දෙන බවටත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබේ. එය අසහනයට පත්ව සිටින තැන්පත්කරුවන්ට යම් තරමක හෝ සහනයක් වුවත් ගැටලු‍වට අදාළ විසඳුම නොවන බව තරයේ කිව යුතුය.

ඉහත සඳහන් මූල්‍ය ආයතන දෙකම බංකොළොත්භාවයට පත්ව ඇත්තේ 2011 වසරේ සිට පැවැති විවිධ අක්‍රමිකතා හේතුවෙන් බව මහ බැංකුව ප්‍රකාශ කරයි. එය එසේ නම් මූල්‍ය ආයතනවල විවිධ අක්‍රමිකතා පැවතුණු බව දැන දැනම එවැනි ආයතන බංකොළොත් වී ඒවායේ තැන්පත්කරුවන්ට සියල්ල අහිමිවන තුරු මහ බැංකුව කුමක් කළේද යන්න බරපතළ ගැටලු‍වකි. මෙහි සඳහන් ආයතන දෙකම මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව මීට පෙර ප්‍රකාශවල සඳහන් විය. එසේ නම් ඒවායේ ව්‍යාපාරික කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදුවන්නේදැයි පරීක්ෂාවට ලක් කිරීම මහ බැංකුවේ ද වගකීම විය යුතුව තිබිණි. එසේ සිදු නොකර ආයතන බංකොළොත් වූ බවට ප්‍රකාශ කිරීමට පමණක් නම් මහ බැංකුවේ අධීක්ෂණයක් තිබිය යුතු නැත. පුවත්පත්වල දැන්වීම් පළකොට තමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මූල්‍ය ආයතන මේවා යැයි ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීම ද ඵල රහිතය.

මූල්‍ය ආයතන මුදල් තැන්පත්කරුවන්ගෙන් අති බහුතරය තමන් ජීවිත කාලය තුළ උපයා ගත් ඊ.පී.එෆ්. වැනි අරමුදල් තැන්පත් කළ ආයෝජකයෝ වෙති. ධනවතුන් සහ ව්‍යාපාරිකයන් මේ ආයතනවල මුදල් තැන්පත් කරන්නේ කලාතුරකිනි. එහෙත් ඇතැම් අවස්ථාවල මූල්‍ය ආයතන අධ්‍යක්ෂකවරුන්ගේ සහ එම ආයතනවල ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව සහ ඔවුන්ගේ ඇරියුමින් තැන්පත්කරුවන් බවට පත්වන ව්‍යාපාරික සහ ධනවත් පිරිසක් ද වෙති. මේ අයගේ අරමුණ හැකි ඉක්මනින් විශාල පොලියක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් වසරක් හෝ දෙකක් වැනි කෙටි කාලයකට මිලියන ගණනින් හෝ කෝටි ගණනින් හෝ තැන්පත් කර එම මුදල් ඉවත් කර ගැනීමය. මෙය සිදුවන්නේ මූල්‍ය ආයතන හිමිකරුවන්ගේ අනුදැනුම මත බව ප්‍රකට රහසකි.

කඩාවැටෙන මූල්‍ය ආයතන හේතුවෙන් රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හෝ ධනවතුන් හෝ අමාරුවේ වැටී නැත. එසේ වූ එකම අවස්ථාව වශයෙන් සැලකෙන්නේ ගෝල්ඩන් කී ආයතනය කඩාවැටීමයි. අනපේක්ෂිත අයුරින් එකවරම ගෝල්ඩන් කී කඩාවැටිණි. ඒ පිළිබඳ තොරතුරු කලින්ම දැනගත් එහි කෝටි ගණනින් මුදල් තැන්පත් කර තිබූ කිහිප දෙනකු එකවරම තම මුදල් ඉවත් කර ගැනීමත් ක්ෂණික කඩාවැටීමට එක් හේතුවක් වූ බවද පසුව ලැබුණු තොරතුරුවලින් හෙළි විය. ඒ හැර අනෙක් සෑම අවස්ථාවකම මූල්‍ය ආයතන කඩාවැටීමෙන් අතරමං වූවෝ අසරණ විශ්‍රාමිකයෝය. එසේත් නැතිනම් විදෙස් රැකියාවල නිරතව ඉතා අමාරුවෙන් ඉතිරි කරගත් මුදලක් තැන්පත් කළ පිරිසකි. සියල්ලටම පෙර ඉදිරියට පැන කඩාවැටෙන මූල්‍ය ආයතනවල අයිතිකරුවන් රැකගැනීම නොව තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කිරීමට වගබලා ගැනීම මහ බැංකුවේ කාර්යයකි. මහ බැංකුවේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ තැන්පත්කරුවන්ට ලක්ෂ 06ක් ගෙවා දමා ප්‍රශ්නයෙන් ගැලවීම මහ බැංකුවේ යුතුකම නොවේ.

මෙරට මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බව අපගේ ස්ථාවරයයි. එසේ සිදු නොවන විට එවැනි ආයතනවල මුදල් ආයෝජනය කිරීම පිළිබඳව ජනතාවගේ විශ්වාසය ගිලිහී යනු ඇත. එහි ප්‍රතිඵල රටේ සමස්ත බැංකු පද්ධතිය කෙරෙහිම ඇති කරනු ඇත්තේ අහිතකර බලපෑමකි. මූල්‍ය ආයතන අක්‍රමිකතා සිදු කරන්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත් වී එම ආයතන හරි මගට ගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතුය. ඒ වෙනුවට සිදුවන්නේ මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් ද මේ ආයතන අයිතිකරුවන් සමඟ එකතු වී ආයෝජකයන්ගේ තැන්පතුවලට විදීමට සහාය දැක්වීමක් නම් අපේ රටේ තැන්පත්කරුවන්ට දෙයියන්ගේම පිහිටය. අඩුම තරමින් අක්‍රමිකතා සිදුකරන ආයතනවල අයිතිකරුවන්ට තම වගකීම්වලින් මිදීමට නොහැකි වන සේ තද නීතිරීති සැකසීම හෝ සිදුකළ යුතුය.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් මූල්‍ය ආයතන අයිතිකරුවන්ට එරෙහිව කොතරම් නඩු පැවරුණත් ඔවුන් කිසිවකුත් මේ වනතුරු දඬුවම් විඳ නැත. එය අනාගතයේ දී හෝ සිදුවන්නේදැයි අපි නොදනිමු. දැනට මේ පෙනෙන්න තිබෙන්නේ අයිතිකරුවන් සුරසැප විඳිද්දී තැන්පත්කරුවන් උණුවතුරට වැටී සුසුම් හෙළන බවය. මේ තත්ත්වයට දැන් හෝ තිතක් තැබිය යුතුය.

 



අදහස් (5)

මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් රැකීම මහ බැංකුවේ වගකීමක්

latha Tuesday, 21 July 2020 07:14 AM

මහ බැංකුවේ ඕවා පරිපාලනය කරන්න වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා.

:       0       1

sunilTuesday, 21 July 2020 03:16 PM

ඒ අය රාජකාරි වෙලාවේ නිදි කිරමින් සිටින නිසයි මේ දේවල් සිදුවන්නේ...

:       0       1

aravinda Tuesday, 21 July 2020 03:19 PM

අද බොහෝ පුද්ගලික මූල්‍ය ආයතන තැන්පත්කරුවන් ආකර්ෂණය කර ගන්නේ වැඩි පොලියක් ගෙවන බවට පොරොන්දු වීමෙනි. නමුත් යතාර්ථයෙන් යම් පුද්ගලික මූල්‍ය ආයතනයක්, රාජ්‍ය බැංකුවලට වඩා 2% වඩා පොලී ගෙවන්නට පොරොන්දුවේ නම්, එවැනි දෙයක් දෙස සැක සහිතව බැලිය යුතුයි. එවැනි දෙයකින් බොහෝවිට හැඟවෙන්නේ එය මූල්‍ය ආයතනයේ වංචාකාරී "පිරමීඩ" සැලැස්මක් හෝ, ඔවුන් අවදානම අධික ව්‍යාපෘති සඳහා තැන්පත්කරුවන්ගේ මුදල් ආයෝජනය කරන බවකි. මෑතකදී කඩා වැටුණු මූල්‍ය ආයතන වල ක්‍රියා කලාපය ගැන සලකා බැලුවොත් එයින් පෙනී යන්නේ ලංකාවේ තවමත් වගකීමකින් සහ විශ්වාසනීයත්වයෙන් යුතු පුද්ගලික මූල්‍ය ආයතන නැති බවයි. කළ හැකි එක දෙයක් නම් අවම වශයෙන් මූල්‍ය ආයතනයක වත්කම්වලට වඩා මහජන මුදල් තැන්පතු වශයෙන් ගැනීම තහනම් කිරීමයි. මෙවැනි තත්වයක් මත, මහජනයා සිහි තබාගත යුතු දෙයක් නම්, තවමත් හැකිතාක් දුරට තමන්ගේ මහන්සියෙන් උපයා ගත් මුදල් රාජ්‍ය බංකුවල තැන්පත් කිරීමයි.

:       0       2

Damayanthi Peiris Tuesday, 21 July 2020 11:05 PM

මහ බැංකුවේ අධීක්ෂණය මෙම සමාගම් වලින් ලොකු පඩි ගැනීම පමණක්ද.?

:       1       1

Bamunuarachchi Wednesday, 22 July 2020 01:24 AM

වැඩි පොලියක් ලබාදෙන ආයතනවල මුදල් තැන්පත් කිරීම අවධානමක් ලෙස පැහැදිලිව ප්‍රකාශකර තිබිය දී එවන් ස්ථානවල මුදල් තැන්පත් කරන්න ආරක්ෂා කිරීමට මහබැංකුව ඉදිරිපත් වීම අඩු පොලියට රාජ්‍ය බැංකුවල මුදල් තැන්පත් කරන්න අර මුල්‍ය ආයතනවලට තල්ලු කිරීමක් නේද.?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 85 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 484 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site