ප්‍රවීණ දේශපාලනඥයකු මෙන්ම අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසමරුව අදට (23) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මා කොළඹ ප්‍රදේශයේ ජීවත් වුවත් මාගේ හැඟීම්බර සිතුවිලි සමුදාය නිතර දෙවේලේ සංක්‍රමණය වන්නේ සීත සුළඟින් ගත සිත ප්‍රබෝධමත් කරන, මට බෙහෙවින් ආදරය කරන හා මා බෙහෙවින් ආදරය කරන අවිහිංසක හා සංවේදී මිනිසුන්ගෙන් පිරි නුවරඑළිය නම් සුන්දර පළාතටය.
ගෝලීය වසංගතය පසුගිය කාලය පුරාවට අප රට ද වෙළා ගත්තේය. දැඩි නීති මාලාවකට හා ආර්ථික සංග්‍රාමයකට ලක්ව සිටි අප රටේ ජනී ජනයාට ජීවිතයට මුහුණ දෙන්නට සිදුවුණේ වසංගත රෝගයෙන් ජීවිතය බේරා ගැනීම පමණක්ම මූලික කොට ගෙන නොවේ. නුවරඑළිය ජනතාවද ඒ හා සමානව තම දෛනික ජීවිකාව කරගෙන ගිය අතර, මා සමග පැවැත්වූ දැඩි සම්බන්ධතාව ද ඔවුන් අත්නොහැරියේය. මා ද නිතර ඔවුන් ගැන සොයා බලමින් තොරතුරු විමසමින් හා ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවා සපුරාලීමට කටයුතු කළ අවස්ථා බොහෝමය.
කොත්මලේ නගරයට ඇතුළු වූ විගස මා පිය මනින්නේ මාගේ අප්පච්චි දැක බලා ගැනීමටය. ඔහු ද මා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින අයුරු මට ඈත තියාම දැනෙන විට මා නෙතට කඳුළක් එක් කරන්නේ මට ද නොදැනීමය.
කොත්මලේ කඩදොර ස්ථාපිත දිවංගත ගාමිණී දිසානායක මහතාගේ පිළිරුව අබියසට යන මා හට අප්පච්චි ජීවමානව සිටිනවා වැනි හැඟීමක් නිතර දැනේ.
අසහාය නායකයකු හා අභීත අදට ද ජීවමාන මාගේ අප්පච්චි දැකීමට මාගේ මනස පසුවන්නේ ඉතාමත් ආශාවෙන් හා අාදරයෙනි. ජීවමාන අප්පච්චිගේ පිළිරුව දෙස බලා හිඳින විට මාගේ දෙසවනෙහි දෝංකාර දෙන්නේ ඔහු කුඩා කල සිටම අපහට දුන් අවවාද හා අනුශාසනාය.
බුද්ධාගමට හා බෞද්ධ දර්ශනයට, බුද්ධ ශාසනය රකින්නට පෙර මං ගෙන සිටින මහා සංඝරත්නයට, තම මාතෘ භූමියට බෙහෙවින් ආදරය කළ ශ්‍රී ලංකා මාතාවගේ දයාබර දරුවකු වන ගාමිණී දිසානායක නම් මාගේ පියා ඒ සියල්ලම වෙනුවෙන් තම යුතුකම නොපිරිහෙලා ඉටු කළේය. මාගේ පියාණන් දැක සතුටු වී මා ඉන්පසු යන්නේ ඔහුගේ නිවහනට මහවැලි මහා සෑ රදුන් අබියසටයි.
පහන් හැඟීමෙන් යුතුව මහා සෑ භූමියට පිවිසෙන විට මා හිස අතගා ආදරයෙන් පිළිගන්නා බවක් මට දැනේ. එය කෙසේ විස්තර කරන්න දැයි මට නොහැඟේ. මාගේ මතකය කුඩා කලට දිව යන්නේ හදවතේ නැගෙන සතුටු මතක ධාරාවන්ද සමගයි.
‘‘පුතා නවීන්, අපි හැම තිස්සෙම වැඩ කරන්න ඕන අපේ හිතට එකඟව. අපි අපේ මාතෘ භූමියට අපේ අම්මට, අපේ අප්පච්චිට ණය ගෙවන්න ඕන. අපිට ඉටු කරන්නට බොහෝ යුතුකම් තියෙනවා. කවදාවත් තමන් ගැන විතරක් හිතන්න එපා. අපි මේ ලෝකෙට උත්පාදනය වුණේ රටට සමාජයට යහපත් අයුරින් සේවය කරන්න. අපේ ආගම අපි රකින්න ඕනේ. අපේ ජාතියට අපි සේවය කරන්න ඕනේ. කොටින්ම අපි උපන් දේශයට මේ දේශයේ ජීවත් වන සුවහසක් ජනතාවට අපි උපරිමයෙන් සේවය කරන්න ඕන. එතකොට තමයි අපි ජීවමාන වෙන්නේ. අධ්‍යාපනය කියන්නේ, බලය කියන්නේ, තනතුරු නිලතල කියන්නේ, අමෝරගත් අවි නෙමෙයි. මේ රටේ ජනතාවට උපන් මාතෘ භූමියට සේවය කරන්නට ලැබුණ වරප්‍රසාද, මේ මිහිතලය දාලා අපි ගියත්, අපේ නාමය සදා ජීවමාන වෙන්නේ අපේ රටට, දැයට, සමයට කරන සත්‍යගරුක සේවය නිසාමයි.
එදා ඔහු කී රුවන් වැකි අද ද මා මනසට නැගෙන්නේ ඔහුගේ සියලු කරුණු සත්‍ය බවට ඒත්තු ගන්වමිනි. ගාමිණී දිසානායක නම් ජනතා පුත්‍රයා සේවය කළේ ඒ ආකාරයෙනි. බලය පාවිච්චි කළේ ඒ අයුරිනි. ජනතාව වැළඳ ගත්තේ ඒ අයුරිනි. එය සත්‍ය බව එතුමා අප අතරින් උදුරාගෙන වසර 27ක් ගෙවුණ ද එතුමාට ආදරය කරන, එතුමාගේ නාමය සිහි කරන, එතුමා අද ජීවතුන් අතර සිටියා නම් යැයි හඬ නගා කියන රටේ සිවු කොනින් ඇසෙන වදන්වලින් තහවුරු වෙයි.
මහා සංඝ පීතෘවරුන්, ආගමික නායකයින්, විද්වතුන්, ශ්‍රමිකයන් මෙන්ම රට වැසි ජනතාවගේ මුවින් නැගෙන වදන්, මනසින් නැගෙන සිතුවිලි වන්නේ ‘‘අද ගාමිණී සිටියා නම්’’ යන්නයි.
‘‘එකම ජාතියක් පිළිබඳව මා සතුව දර්ශනයක් ඇත. මෙම දර්ශනය අනුව සෑම පුද්ගලයෙක්ම සෑම ආගමක් සහ සෑම සංස්කෘතියක්ම විසින් ජාතික සංකල්පයට දායාද කරනු ලබන සේවාවන් ගෞරවාන්විතව සැලකිල්ලට භාජනය කෙරෙනු ඇත. අගයනු ඇත. එකිනෙකාගේ මුවින් එක හා සමානව හඬ නගන සෑම හඬක්ම එකාවන්ව එක්සත්ව අනෙක් ජාතීන් සමග හඬ නගන එකම ජාතියක් මෙන් එක්වී කතා කරන්නා වූ ජාතියක් පිළිබඳ දර්ශනයකි.’’
එය 1994 ජනාධිපතිවරණ සමයේදී මගේ අප්පච්චිගේ දර්ශනයෙන් උපුටාගත් කුඩා අංශු මාත්‍රයකි. එය අදට ද ඒ ආකාරයෙන්ම ගැළපේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. අපට භාර දුන් අනාගතය මෙයයි. හැමදාම මටත්, මල්ලිටත්, නංගිටත් අවවාද කළේ හැදූ පියාටත්, වැදූ මවටත් උපන් භූමියටත් අවමානයක් නිගාවක් ඇති කරන්න එපා. ජීවත් වෙන්න ඒ හැමට ආඩම්බරයක් වෙන විදියට’’ කියලා අපේ අප්පච්චි, අපේ අම්මා අද නැතත්, ඒ අවවාද අනුශාසනා මතයි අපි කටයුතු කරන්නේ.
1994 ජනාධිපතිවරණ සමයේ රටේ බහුතරයක් ජනතාව එක්සත් ජාතික පක්ෂ ධජය යටතේ පැවැති ජන රැලි හා ජන වේදිකාවල ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටියේ ගාමිණී දිසානායක මහතා සභාව අමතන තුරුය. එසේම එතුමාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කරණා අදට ද මනාව ගැළපේ.
මාගේ පියාණන් ඉදිරිපත් කළ දේශපාලන අරමුණු අතර, මෙරට බහුතර ජනතාවගේ ප්‍රධාන ආගම වශයෙන් බුද්ධාගමට මුල් තැන දීම, අනෙකුත් සියලු ආගම්වලට නිසි තැන ලබාදීම, දේශපාලන ජාති, කුල ආගම් භේදවලින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට භුක්ති විඳීමට අවස්ථාව සලසා දීම, කෘෂිකර්මය පදනම් කරගෙන කර්මාන්ත සංවර්ධනය හා ඒ තුළින් පූර්ණ රැකියා නියුක්තියක් ඇති කිරීම, අධ්‍යාපනය විවිධාංගීකරණය කිරීම හා ඒ තුළින් රටේ නිෂ්පාදනය හා සේවා අංශයට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම, විසි එක්වැනි සියවස වන විට අනෙක් දියුණු ජාතීන් සමග ගැටෙන්නට හැකි නව කාර්මික රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම, නිෂ්පාදනය වැඩි කිරීම තුළින් ඒක පුද්ගල ආදායම වැඩිකර ජීවන වියදම පහත හෙළීම, මැර බලයෙන් තොර පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදායක් ස්ථාපිත කිරීම ආදියයි.
එසේම එතුමා ඉදිරිපත් කළ එතුමාගේ අකැමැතිම දේශපාලන අංග ලක්ෂණ වශයෙන් ආඥාදායකත්වය හා පවුල් වාදය සීමා බන්ධනවලින් නිදහස පාලනය කිරීම, ජනතා ආර්ථික අවශ්‍යතා පාලනය කිරීම හා සීමා කිරීම ආදිය හැඳින්වේ.
දිවංගත මාගේ පියාණන් මේ මාතෘ භූමියට කළ මෙහෙවර අනන්තයි, අප්‍රමාණයි. කිසිදා නොමැකිය හැකි මහවැලි ව්‍යාපාරය මූලික කොට දැක්විය හැකිය. මහවැලි ව්‍යාපාර යෝජනා ක්‍රමයට අනුව ජල විදුලි බලාගාර, ජල පෝෂක කලාප, නගර-ගම්, මංමාවත්, ආර්ථික, ආගමික, සමාජයීය මර්මස්ථාන ඇති කරමින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් ඇතිකරලීම සඳහා කෘෂිකාර්මික, කාර්මික දියුණුව ඇති කිරීමට කටයුතු කරන ලදී. ඒ තුළින් ආර්ථික සමාජයීය ආගමික සංවර්ධනයක් ඇති කොට සුඛිත මුදිත සමාජයක් බිහි කරලීමට කටයුතු සම්පාදනය කරන ලදී.
1994 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ එතුමා එම චින්තනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන ලදී. ඒ උදාර සංකල්ප හා චින්තනයන් තොටළඟ මැතිවරණ වේදිකාවේදී රටට අහිමි විය. තම දේශයේ, ජාතියේ, බෞද්ධාගම හා උපන් භූමියේ ඉදිරි දැක්ම මහා සංහාරයකින් විනාශ කර දැමුවා හා සමානය. තොටළඟ බෝම්බකරු අහිමි කර දැමුවේ ගාමිණී දිසානායකයන් නොව මුළු මහත් ජාතියම වීම අද වන විට ප්‍රත්‍යක්ෂ වී ඇති බව දසතින් ඇසෙන ජනතා හඬින් ඒත්තු ගැන්වේ.
1994 ඔක්තෝබර් 23 මධ්‍යම රාත්‍රිය ගෙවී විනාඩි පහකින් එනම් 1994 ඔක්තෝබර් 24 වැනිදා එළිවන යාමයේ සිදුවූ එතුමාගේ අභාවයත් සමග එදා සිට අද දක්වා එක්සත් ජාතික පක්ෂය ද ශ්‍රී ලංකා මාතෘ භූමිය ද කඩාවැටෙමින් පවතී.
මතු දිනක අප පක්ෂය හා මාතෘ භූමිය රැක ගන්නට නම් ගාමිණී දිසානායක චින්තනයට නැවත පණපෙවිය යුතුය. එය මාතෘ භූමිය තුළ නැවත ස්ථාපිත කළ යුතුව ඇත. එම ප්‍රාර්ථනය සඵල වේවා යි ප්‍රාර්ථනය කරමු.
(***)
ගාමිණී දිසානායක පදනමේ සභාපති
නවින් දිසානායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ පියාත්, එතුමා අගය කළ සදාචාරධර්මත් වැළලී බොහෝ කල්ය...
මගේ අප්පච්චි මහවැලි ඇමැති වුණාට පස්සේ දකුණු ආසියාවට ධනවත් පුද්ගලයෙක් කියලා ඒෂියාවික් සඟරාවේ ඒකාලේ පළවුණා... අප්පච්චි චක්ගෝලයින් දාලා මුළු සඟරා ගොන්නම දා ගත්තා කියලා අපි දන්නවා. අපි මැරිලා ඉපදිලා නැහැ පුතේ...
අප්පච්චි ගැන, අප්පච්චිගේ මහවැලි ව්‍යාපාරය ගැන මම අහලා තියනවා. පුත්‍රයා සහ පුත්‍රයාගේ මාමන්ඩිගේ ව්‍යාපාර ගැන මම දැකලා තියනවා. ඔයාලගේ පවුල් තවත් දේශපාලනය කරන්න වුවමනා නෑ. රාජපක්ෂ පවුල රට කෑමට ගොඩක් කාලෙකට පෙර ඉඳලා ඔයාලගෙ පවුල්වල අය තමයි හිටියේ...
මේ පුතාලා අප්පච්චිගේ අහලකවත් තියන්න බැහැ.
අප්පච්චිගෙ සංකල්ප තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ ඇපල් වතු වල..
හැම රුපියලකින්ම සත දෙකක් බැර කරගන්න පුලුවන් උනා මහවැලි ව්‍යාපාරයට පින්සිද්දවෙන්න
හැමෝම අප්පච්චිලා විකුණන් දේශපාලනය කරන්නේ තමන්ට කියලා දර්ශනයක් නැති නිසාද මන්දා.
කඩිනම් මහවැලි ව්‍යාපාරය රටට කෙසේ වෙතත් ගාමිනි දිසානායකට සෞභාග්‍ය උදා කලා. ආසියාවේ ලොකුම දනවතා උනා. මේ පූර්වාදර්ශය අනුව අදටත් දේශපාලකයෝ සංවර්ධනය ව්‍යාපාරවලින් හොරකම් කර දනවත් වෙනවා. යාපනයේ ප්‍රාදේශීය සභා ඡන්දයේදී පලපුරුදු මැතිවරන නිලදාරීන් සේවයට නොයොදවා සමූපකාරයේ බඩු කිරන්නන් යොදවා මැතිවරන දූශනා කලා. මේ අදම කියා නිසා ප්‍රභාකරන්ට තමන්ගේ ව්‍යාපාරයට පහසුවෙන් තරුන පිරිස් එකතු කර ගැනීමට හැකි වුනා.
ඔබේ පියා දක්ෂයෙක් බව පිලිගන්නවා. ඒ වගේම කියන්න ඕන ඔබට කිසිඳු වැඩක් කිරීමට දක්ෂකමක් නැහැ.
මහවැලිය කරවලා ඒ ධනයෙන් ඕස්ට්‍රේලියාවේ මහ මන්දිරයක් තනවලා, හඳුන්ගමුවේ කැලෑවේ කලුවර වලින් කවිච්චියකුත් තනවා ගුවන් මගින් ඒවා මන්දිරයට රැගෙන ගොස් අප්පච්චි අපට ලබාදුන් ආදර්ශය අති උතුම්ය..
ඔන්න තවත් පියාණෝ වාදකයෙක් ඇවිල්ලා.
මේකේ තියෙන දේවල් දැක්කම මහවැලියට පනින්නයි වෙන්නේ. මේ රටට පියානෝ ගැන කියාගෙන එන කාටවත් ඉඩක් නෑ කියලා පැහැදිලියි, අපේ මිනිස්සු ආයේනම් රැවටෙන්නේ නැහැ .
රාජපක්ෂලා මගේ නෑදෑයොනං එයාලාගෙ හොරක්ම් කියලා මෙතන ටයිප් කරන්න ඕනෙ නෑනෙ ඇල්මන්. මම හිතන්නෙ ඇල්මන්ට කලින් කෙහෙල්කන වැට පැන්නා. අලු එහෙම ගෑවිලාද බලන්න උරහිස දිහාවෙ. මහවැලි මතක කියන්නා වගේ ඇපල් වැට පැන්නා වෙන්න බැරිත් නෑ.
හරි මල්ලි හරි... අපි නොදන්න ගාමිණී...
පාරලිමේන්තුවෙදී මහවැලිය හරවන්න කථා කලහම එස්.ඒ. විකමසිංහ මහත්තයට හූ කිව්වේ යූන්එපිය. මොකද එතුමා රුසියාවෙ සංචාරයක කරල එහෙ තියෙත ව්‍යපෘති බලල මෙහෙත් ඒව කියාත්මක කලා. දැන් ඉන්න අය වගේ නිකං විදෙස් සංචාර කලේ නැහැ. එහෙම කරල අපේ ආර්ථිකයට බරක් නොවෙන්න මහවැලි ව්‍යාපෘතිය වසර 20 කින් නිම කරන්න තමයි එතුමා ඇතුලු වාමාංශික නායකයින් කටයුතු කලේ. නමුත් 77 ජේ.ආර්. ආවට පස්සේ මේක කඩිනම් මහවැලි ව්‍යාපෘතිය කලා. වසර 5 කින් ගොඩනගන්න. ඊට පස්සෙ මහවැලිය ගැලුවෙ ගාමිණී දිසානායක මහත්තයගෙ ගෙදරට. මම හොදට මේ ඉතිහාසය දන්නව. ඒත් මේ කිව්වෙ බොහොම කෙටියෙන්. අපේ වාමාංශික පැරණි නායකයො රට ණය කරල රටේ සම්පත් වැඩි කලේ නැහැ. හොද ගෙදරක ආර්ථිකයක් කළමනාකරණය කරන විදියට තමයි රටේ ආර්ථිකයත් කළමනාකරණය කලේ. නමුත් ඇටඅට, ජොබ්කාඩ් දෙනව කියල මිනිස්සු රවටලා අසිමිත බලයක් ගත්ත ජේ.ආර්. අපේ කම සහමුලින්ම නැතිකලා. ගාමිණී දිසානයක කියන්නේ ඊට හවුල් වෙලා ඉන් බොහොම සැරට ප්‍රතිලාභ ගත්ත කෙනෙක්. ඒ නිසා ඒ අප්පගෙ චින්තනය කෙසේ වත් මේරටට ගැලපෙන්නේ නැහැ.
ගාමිණී දිසානායක මැතිතුමනි .ඔබට සදාකාලික නිවන් සුව ලැබේවා
මගේ මතය නම් මෙහෙමයි. අපේ රටේ දේශපාලකයෝ ගොඩක් දෙනා ගැහිලි කාරයෝ තමයි. ඒ කාලේ සමහරු තමනුත් කීයක් හරි ගහගෙන හැබැයි රටටත් යමක් කළා. ගැහුවේ එක්තරා ගාණකට. එ් නිසා ඔවුන් කරපු දේවල්වලින් තාම ප්‍රයෝජන ලැබෙනවා. එ්කයි මෙතන තියරි එක. හැබැයි මේ දැන් ඉන්න අය නම් පටන් ගත්තු තැන ඉඳලම ගහනවා ගහනවා... මැරෙනකොට ඒවා දාපු ස්විස් බැංකුවලට සින්න වෙනවා. අන්තිමේදී හැම ව්‍යාපෘතියම අංජ බජල්... රටට වෙන්නේ ණය කන්දක් ගෙවන්න වෙනඑක විතරයි. ඒ නිසා තමයි අපිට ජර්මනිය, ජපානය, දකුණු කොරියාව වගේ ආර්ථික සංවර්ධනය කරා යන්න බැරි වුනේ.
පියාණන්ගෙ වැඩ කිඩ තේරුම් ගන්න මේ පුතා පොඩි වැඩි ඇති ඒකාලෙ. අපිට නම් හොඳට මතකයි.
ගාමිණී දිසානායක කියන්නේ ශ්‍රී ලංකා මෑණියන්ගේ දෙනෙත් සතුටු කඳුලෙන් තෙත්කරමින් උදාර සේවයක් රටට සිදුකළ එවගේම ඉතාමත් පරමාදර්ශී ලංකා පුත්‍රයෙක්. එතුමා ඉතාමත් කෙටිකාලයක් තුල රටට මහා සේවයක් සිදුකලා. එපමණක් නොව එතුමා ජීවත්ව සිටියානම් අද ශ්‍රී ලංකාව සෑම අතින්ම වඩාත් දියුණු රටක්වනවා නොඅනුමානයි , ලංකාවේ හොඳම ජනාධිපතිවරයා වනවා නොඅනුමානයි. නිවන් දකින්නට පෙර නැවත නැවතත් මේ ශ්‍රී ලංකාද්වීපයේ පහළවේවා..! රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කෙරේවා..! නිවන්සුව අත්වේවා..!
කිසිවෙකු කුරිරු අයුරින් මරණයට පත්වීම තවත් අයෙකුගේ සතුටට කිසිසේත්ම හේතු විය යුතු නැත.