IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

දෙවැනි ජනරජ ව්‍යවස්ථාව 1978 වසරේදී සම්මත කරගත් දින සිට මේ රටට උරුම සිංහල ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට විජාතික බලවේග විසින් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරගෙන යනු ලැබිණි. එහිදී 13, 15, 16, 17 හා 19 යන ව්‍යවස්ථා සංශෝධන හරහා මෙම තත්ත්වය පැහැදිලිව දැකිය හැකිය. එහෙත් දැන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සාකච්ඡාව 19 වැනි සංශෝධනය කේන්ද්‍ර කරගත් එකක් බවට පත්වෙමින් තිබීම කුකුස දනවයි. මෙවැනි තත්ත්වයකදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී කාරණා කිහිපයක් වෙනස් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිරිසුදු වේ යැයි මම නොසිතමි. යහපත්ම දේ වන්නේ අලුතින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමය. එහෙත් එය කඩිනම් නොවේ නම් අඩුම තරමින් ඉහත කී ව්‍යවස්ථා සංශෝධනවල භයානකත්වය දුරැලීමට පළමුව කටයුතු කළ යුතුය.

පළාත් ඒකාබද්ධ කිරීම යනු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදනයකි. උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කෙරුණේ එම ප්‍රතිපාදනයෙනි. අනාගත ආණ්ඩුවකට අවශ්‍ය නම් ඒ යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර මේ රටේ වෙනම රාජ්‍යයක් වුව පිහිටුවිය හැකිය. එසේම මහ ඇමැති පාලනය කරන පොලිසියක් සඳහා ද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අවස්ථාව තිබේ. 9 වැනි උපලේඛනයේ පළමුවැනි පරිශිෂ්ටයේ 11.1 වගන්තියේ පැහැදිලිව කියන්නේ පළාතක පොලිසියේ ප්‍රධානියා පාලනය කළ යුත්තේ මහ ඇමැතිවරයා බවය. සී.වී. විග්නේෂ්වරන් හා පොන්නම්බලම් යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තුවේ මංගල කතාවලට සවන් දුන් විට අපට වැටැහෙන්නේ ද මේ රට බෙදා වෙන් කිරීමේ න්‍යාය පත්‍රයෙන් ඔවුන් ඉවත් වී නැති බවය. එනිසා මේ රට බෙදා වෙන් කිරීම සඳහා අවස්ථාව සලසා ඇති 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති වහා වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. එමෙන්ම 11.3 වගන්තියෙන් කියන පරිදි පළාත් සභාවේ අවසරයක් නැතිව ආයතනයකට හෝ පුද්ගලයකුට ඉඩම් ප්‍රදානය කළ නොහැකිය. පුරාවස්තු තිබෙන්නේ ද පළාත් සභා ලයිස්තුවේය. ඒ අනුව පුරාවිද්‍යා විෂයය පවා තිබෙන්නේ පළාත් සභාවටය. 13 වැනි සංශෝධනයෙන් දැනටමත් පළාත් සභාවට පොලිස් බලතල දී තිබේ. එවිට නීතිය හා යථා පැවැත්ම සම්බන්ධයෙන් නීති සම්පාදනයට පළාත් සභාවලට බලය හිමිය. මෙම තත්ත්වය මත විග්නේෂ්වරන්, පොන්නම්බලම් වැනි මහත්වරුන් දේශපාලනයෙහි සිටියදී පළාත් සභාවලට මෙවැනි බලතල තිබීම අතිශය භයානකය.

පළාත් සභාවක් සම්පාදනය කරන නීතියක් වෙනස් කිරීමට තුනෙන් දෙකක බලයක් නොමැති පාර්ලිමේන්තුවකට හැකියාවක් නැත. යම් හෙයකින් විග්නේෂ්වරන්ලාගේ සහායෙන් පළාත් සභාවක නීති සම්පාදනය කළහොත් එම නීති මධ්‍යම ආණ්ඩුවේ නීති අභිබවා ක්‍රියාත්මක වේ. මේ ආණ්ඩුවට මේ මොහොතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇති බව සැබෑය. එහෙත් මේ බලය ඉදිරි වසර පහ පුරාම ඒ අයුරින් තිබේ යැයි අපට කිව හැකි ද? මුදලට පක්ෂ මාරු කිරීමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංස්කෘතිය ගැන අපි හොඳින්ම දනිමු. එවැනි තත්ත්වයක් නිර්මාණය වී රනිල් වික්‍රමසිංහ මහතාගේ බලයක් යටතේ හකීම්, බදියුදීන් වැනි දේශපාලන නායකයන් සමග ජාතිවාදී ප්‍රවාහ හවුල් වූ ආණ්ඩුවක් පිහිටුවුවහොත් එදිනට අපේ රට ඉතාම අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවනු ඇත. ඒ නිසා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලැබුණු මොහොතේ මේ ආණ්ඩුව වහාම යථෝක්ත භයානක ප්‍රතිපාදන ඉවත් කිරීමට ක්‍රියා කළ යුතුය. ඒවා කල් දැමීමට හැකියාවක් ඇති දේ නොවේ. එය සිදු නොවූවහොත් එය මේ රටේ ජනතාවට කරන මහත් අසාධාරණයකි.

1956 දී බණ්ඩාරනායක ආණ්ඩුවෙනුත් 1972 පළමුවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් හා 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් සිංහල මේ රටේ රාජ්‍ය භාෂාව බවට යළි යළිත් පත් විය. එහෙත් 1988 දී ගෙන ආ 16 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව උතුරු නැගෙනහිර දෙපළාත්හි පරිපාලන භාෂාව සිංහල නොවේ. මේ නිසා එම පළාත්වල අධිකරණවල නඩු ඇසෙන්නේ ද දෙමළ බසිනි. මුහුදු මහා විහාරයට එරෙහිව ජාතිවාදී කොටස් විසින් ගොනු කරන ලද නඩුව සිංහල බසින් නොඇසෙන්නේ එහෙයිනි. එහි ප්‍රතිඵලය නම් එම පළාත්වලදී සිංහලයා දෙවැනි පුරවැසියකු බවට පත්වීමය. මේවා සිංහල මිනිසුන්ට එදිරිව ජාතිවාදී දෘෂ්ටිකෝණයකින් සැකැසූ නීතිය. මෙම නීති සකසුවෝ සිංහලයෝ නොවෙති. එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ රටෙහි ඇඳිරිනීතිය ක්‍රියාත්මක පසුබිමෙක මුහුදු සීමාවේ යුද නෞකා ස්ථානගත කරය. එදවස ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අප මත පැටවූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නිරායුධ කිරීමේ පොරොන්දුවෙනි. එසේ බලද්දී අදටත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව තම පොරොන්දුව ඉටු නොකළ පසුබිමකය. මේ ආණ්ඩුව බලයට පත්වුණේ එකී ක්‍රියාකාරකම් විවේචනය කරමිනි. ‘එළිය’ වැනි වැඩසටහන් හරහා ජනාධිපතිවරයා ඇතුළු විද්වත්තු ඒ බව නොබියව කියා සිටියහ. එනිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ භයානක ප්‍රතිපාදන ඉවත් කිරීමට මේ ආණ්ඩුවට යුතුකමක් තිබේ.

යහපාලන ආණ්ඩුව කාලයේත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකැසීමට යැයි කියා නීතිඥ ලාල් විජේනායක මහතා ඇතුළු පිරිසක් රට වටේ ගියහ. එසේ ගොස් මිනිසුන්ගෙන් ගත් අදහස් ඇතුළත් කර සැකැසූ වාර්තාවක් ද මුද්‍රණය කළහ. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකාරක සභාවට එම වාර්තාව බාරදුන්හ. ඉන් පසුව විෂය පහක් යටතේ පාර්ලිමේන්තුවේ ද අනුකමිටු පහක් පත්කෙරිණි. ඉන් පසුව 2017 වසරේදී ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් අතුරු වාර්තාවක් ද නිකුත් විය. ව්‍යවස්ථා සම්පාදන අදහස් ගොන්නක් එකතු කරගත්ත ද එම කාරියට මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින ජාතිකවාදීන් කිසිවකුත් සම්බන්ධ කරනොගැනීමට එවක පාලකයෝ පරෙස්සම් වූහ. එනිසා මේ රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් වෙනුවෙන් පෙනී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජී.එච්. පීරිස්, ගුණදාස අමරසේකර, අධිනීතිඥ ගෝමින් දයාසිරි වැනි විද්වතුන් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට මේ ආණ්ඩුවට යුතුකමක් තිබේ. ඒ සඳහා කල් මැරිය යුතු නැත. ව්‍යවස්ථා සංශෝධනයකට කාලය ගැනීම යනු වැඩේ නොකෙරෙන තැනට ක්‍රියා කිරීමකි.

‘එළිය’ සංවිධානය හරහා මෙම විද්වතුන් දැනටමත් සිය අදහස් ජනතාවට ඉදිරිපත් කර අවසන්ය. ‘එළිය’ වැඩසටහන දියත් වුණේම නව ව්‍යවස්ථාවක් වෙනුවෙනි. එහිදී කථිකයන් සියලු දෙනාම පාහේ කතා කළේ නව ව්‍යවස්ථාවට එකතු විය යුතු අංග ගැනය. ඒවා අලුතෙන් හොයන්නට දෙයක් නැත. වත්මන් ආණ්ඩුවේම දේශපාලන වේදිකාවල ඒවා ඕනෑ තරම් කතා කර ඇත. එනිසා දැන් කරන්නට තිබෙන්නේ කළ යුතු සංශෝධනය ලේඛනගත කිරීමය. හොඳ නැත්තේ මේවා පසුවට තබාගැනීමය. මන්ද යත් එවිට අනේ අපට තුනෙන් දෙක නැතැයි කීමට ද යම් හෙයකින් සිදු විය හැකි බැවිනි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති මූලිකම වැරැද්ද නම් ව්‍යවස්ථා සභාවේ සංයුතියයි. ව්‍යවස්ථා සභාවට අගමැති හා විපක්ෂ නායක එක්ව පුද්ගලයන් පත්කිරීම අතිශය අසාර්ථක බව පසුගිය කාලයේදී පැහැදිලි විය. එමෙන්ම රාජ්‍ය සේවයට කිසිදු සම්බන්ධයක් නැති විවිධ එන්.ජී.ඕ.කරුවන් කොමිෂන් සභාවලට පත්කරනු ලැබුවේ ද ව්‍යවස්ථා සභාව විසිනි. එනිසා අධිරාජ්‍යවාදී යුගයේ පැවැති ආකාරයට රාජ්‍ය සේවය ස්වාධීන කළ යුතුය. ස්වාධීන කොමිෂන් සභා තිබුණාට කම් නැත. එහෙත් ඒවා එන්.ජී.ඕ.කරුවන්ගෙන් සමන්විත කොමිෂන් සභා බවට පත් විය යුතු නැත. බොහෝ රටවල සිදුවන්නේ ජනාධිපතිවරයාගේ තීරණවලට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමය. සංවරණ හා තුලන බලය යනුවෙන් අප හඳුන්වන්නේ එයයි. නිදසුනකට ගතහොත් රටේ පොලිස්පතිවරයා විය යුත්තේ ජනාධිපතිවරයාට විශ්වාසවන්ත පුද්ගලයෙකි. එම පත්කිරීම පාර්ලිමේන්තුවෙන් අනුමත කිරීම හොඳය. එහෙත් 19 වැනි සංශෝධනයට අනුව කොමිෂන් සභාවලට පත්කරන පුද්ගලයන් කවුදැයි තීරණය කරනු ලබන්නේ ව්‍යවස්ථා සභාව විසිනි. ඒ ව්‍යවස්ථා සභාව පත්කරන ආකාරය ද ඉතාම ව්‍යාකූලය. ප්‍රජාතන්ත්‍රවාදී නැත. එම ව්‍යවස්ථාවේ සභාවේ දහදෙනාගෙන් පස්දෙනකු ගණ පූරණයට ප්‍රමාණවත්ය. යහපාලන ආණ්ඩු කාලයේ සිදුවුණේ අගමැති රනිල් වික්‍රමසිංහගේත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේත් මිත්‍ර එන්.ජී.ඕ.කරුවන් පිරිසක් ව්‍යවස්ථා සභාවේ නියෝජිතයන් බවට පත් කරගැනීමය. රටේ බහුතර ජනතා ඡන්දයෙන් තෝරා පත් කරගත් ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කර කොමිෂන් සභාවලට තමන් කැමැති අය පත් කරගැනීමට වික්‍රමසිංහ හා සම්බන්ධන් මහත්වරුන් පාර කපාගත්තේ ඒ අයුරිනි. මෙය අතිශය විකෘතියකි. බලයක් නොමැති නම් විශාල මුදලක් වියදම් කර ජනාධිපතිවරණයක් තබා රාජ්‍ය නායකයකු පත් කරගන්නේ ඇයි? සැබැවින්ම ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කළ බවට උදාරම් කීම වීරකමක් නොවේ. ජනතාව යම් පුද්ගලයකුට රට පාලනයට ජන වරමක් දෙන්නේ නම් ප්‍රධාන තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ බලය ඔහුට දීමේ වරදක් නැත. විය යුත්තේ එම පත් කිරීම පාර්ලිමේන්තුවේ පරීක්ෂාවට ලක්වන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සූදානමක් තිබුණ ද එය සිදුවන්නේ කෙසේදැයි අපට තවමත් අදහසක් ඇති කරගැනීමට කල් වැඩිය. එය සිදුකරනු ලබන්නේ වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා විසින් ද නොඑසේව ආණ්ඩුව විසින් පත්කරනු ලැබූ කණ්ඩායමකින් ද යන්න ගැන ප්‍රසිද්ධියේ කිසිදු ප්‍රකාශයක් ද නැත. දැනට රජය විසින් සකස් කරන ලද ලියැවිල්ලක් ජනතාව හමුවේ තබා නැත. ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නම් තද වුවමනාවක් ඇති බව මට හොඳින්ම විශ්වාසය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් ඒ සඳහා අධිෂ්ඨානයක් තිබේ. එහෙත් බලය බෙදීමේ වංචාකාරී ක්‍රියාවලියට සම්බන්ධ වූ පිරිස් ඔවුන්ගේ කකුලෙන් ඇදීමට බැරිකමක් නැත. විශේෂයෙන්ම මෙම ව්‍යවස්ථා වෙනසට අකැමැති යම් ප්‍රවාහ මේ ආණ්ඩුව ඇතුළේ ද සිටිය හැකිය. පළමුව 19 වැනි සංශෝධනය වෙනස් කර සෙස්ස පස්සට තබමු යැයි යෝජනා කිරීමට නොඑසේව හේතුවක් නැත. අනෙක් අතට පසුගිය කාලයේදී විවිධ ව්‍යවස්ථා සංශෝධනවලට මන්ත්‍රීවරුන් අත එසැ වූ ආකාරය නිසා මහජනතාවට මේ වනවිට සිය නියෝජිතයන් ගැන තිබෙන්නේ ද විශ්වාස කටයුතු ආකල්පයක් නොවේ. එනිසා එම්.සී.සී. වැනි විදේශ ගිවිසුම් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අත්සන් කළ නොහැකි ආකාරයේ ප්‍රතිපාදන ද විල්පත්තුව හෝ සිංහරාජය විනාශ කළ නොහැකි ආකාරයේ ප්‍රතිපාදන ද ඇතුළත් කරමින් බලවත් ව්‍යවස්ථා සංශෝධනයකට පාර කපා ගැනීම කළ යුතුය.

බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල එවැනි ප්‍රතිපාදන තිබේ. එංගලන්තයේ හෝ ඇමෙරිකාවේ හෝ ඉන්දියාවේ තිබිය යුත්තේ කවර පන්නයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්දැයි කියන්නට අප යන්නේ නැත. ඒ අයුරින්ම ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් නම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපටම සකසා ගැනීමට හැකි විය යුතුය. මා කියන්නේ 19 සමග 13 වැනි සංශෝධනයේ ද භයානක ප්‍රතිපාදන ඉවත් කළ යුතු බවය. දීන මිනිසුන් බාහිර බලවේගවලට යටවිය හැකි නමුත් ජනාධිපතිවරයා එසේ යටපත් කළ හැකි අයකු යැයි මම නොසිතමි. එනිසා නොබියව නොපමාව අප කටයුතු කළ යුතු බව නැවත අවධාරණය කරමි.

(*** සංවාද සටහන -  බිඟුන් මේනක ගමගේ)



අදහස් (4)

ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

sam Wednesday, 26 August 2020 07:39 AM

18 ගැන නම් වගක් නැහැ වගේ...!!!

:       9       20

kamal Koyrala Wednesday, 26 August 2020 10:46 AM

13 දෙනවා කියපු අයම 13 අහෝසි කරන්න පුළුවන්නේ... දැන් 2/3 තියනවනේ...

:       0       15

de silva Friday, 28 August 2020 07:23 PM

ඔය කියන විදිහේ ව්‍යවස්ථාවක් මේ කපේදී ලංකාවේදී හැදෙන්නේ නැහැ. ලංකාවේ ඉදිරියටත් රජ කරන්නේ දේශපාලකයන් සහ නිලධාරීන් පන්තිය විසින් පොදු ජනතාව පාගා තලාපෙලා දමන ව්‍යවස්ථාවක්..

:       0       0

චමින්ද Saturday, 29 August 2020 01:38 PM

උතුරු නැගෙනහිර සිංහලයාට දෙවැනි තැන තියෙනවා කීම ඇත්ත. ඒ අතරම කියන්න තියෙනවා සිංහල ප්‍රදේශවල තිබෙන දෙමළ පාසැල්වල නාම පුවරුවලත් සිංහලට තියෙන්නේ දෙවැනි හෝ තෙවැනි තැන බව. මේවාට නොපමාව කටයුතු කළයුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 578 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site