
මා එංගලන්තයේ සිට නිවාඩුවලට දිවයිනට පැමිණි හැම විටකම ලැබූ ජුගුප්සාජනකම අත්දැකීම වූයේ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා Uncle මාමේ ලෙස කරන ඇමතීමය. කොහෙවත් සම්බන්ධයක් නැති මිනිසුන්, තරුණ තරුණියන්, බස් කොන්දොස්තරවරුන්, කොණ්ඩය කපන්නන්, ත්‍රීවීල් රියැදුරන්, තේ කඩවල වේටර්වරුන්, රජයේ ආයතනවල සේවකයන් දැන් දැන් බැංකු වැනි ආයතනවල කාර්යය මණ්ඩලවල සාමාජිකයන් පවා අංකල්, අයියේ යැයි පාරිභෝගිකයන් අමතන අයුරු දක්නට ලැබේ. අප හැදුණු වැඩුණු සංස්කෘතිය තුළ අපූරු සිත්ගන්නාසුළු මිනිසුන් අමතන රටාවක් පැවතුණි. පහත්ම කුලයේ සිටි පුද්ගලයාගේ, කුලීකරුවාගේ පටන් ජනාධිපතිවරයා දක්වා අමතන සම්මත රටාවක් අප රටේ පැවතුනි. ජනාධිපතිතුමා, විදුහල්පතිතුමා, බාසුඋන්නැහේ, ඩ්‍රයිවර් මහත්තයා, රෙදි නැන්දා, ඩෝබි, පනික්‍කියා, ඇමැතිතුමා, ඉස්කෝලේ මහත්තයා යන ඇමතුම් ඒ අතර වේ.
අද ජනාධිපතිවරයාට පවා ජනාධිපති මාමේ කියා ඇමතීමට තරම් මෙම සංස්කෘතිය කඩා වැටී ඇත. සරම, බැනියම, හැට්ටය ඇඳ කරෝලිස්, එළාරිස්, සියදෝරිස්, අන්දිරිස්, පිංහාමි, අප්පුවා, ඇගී, මැගී වැනි නම් වලින් සිටි අයගේ දූ දරුවන් තමන්ගේ නවීන පන්නයේ මිහිරංග, එරංග, සඳුනි, වරුණි වැනි නම් ගෙන කලිසම් ඇඳ ඔවුන්ගේ සමාජ තත්ත්වය ඉහළට පැමිණ ඇති බව පෙන්වීමට මෙන් මෙසේ නෑකම් කියන බව පෙනෙන්නට තිබේ. මෙසේ බොහෝ විට පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නෑකම් කියන්නෝ Aunty, Uncle යන ඉංග්‍රීසි වචනවල හරි තේරුමවත් නොදන්නා මිනිස්සු වෙති. Oxford Dictionary යෙහි Uncle නිර්වචනය වන්නේ තමන්ගේම පියාගේ හෝ මවගේ සොහොයුරා ලෙසය. Auntie යනු, තම පියාගේ හෝ මවගේ සොහොයුරියයි. එසේ වුවද අද බොහෝ විට මුහුණ බලා තමන්ට වඩා තරමක් වැඩිහිටි නම් Uncle, Aunty, Anti යැයි අමතති.
ජනාධිපති සිරිසේන මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් පාලනය කරන සමයේ සමහර විදුහල්වල ප්‍රාථමික පාසල්වල ශිෂ්‍යයන් ලවා “ජනාධිපති මාමේ, අපිට ක්‍රීඩා පිටියක් නෑ, අපිට හරියට යන්න වැසිකිළියක් නෑ” කියා තම ශිෂ්‍යයන්ට උගන්වා රූපවාහිනී මාධ්‍යයට අදහස් පළ කරන්න සැලසූ ගුරුවර, ගුරුවරියන් ගැන මට මතකය. අප රටේ අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීමේ තරම මෙම ඇමතුම් මගින් ද පෞද්ගලික ආධාරක පන්ති මගින් ද මැනවින් පිළිඹිබු වේ. ශිෂ්‍යයන්ට නම කියා අමතනු වෙනුවට පුතේ, දුව කියා අමතන සංස්කෘතියක් පාසල් වලත්, උපකාරක පන්තිවලත් ගොඩ නැගී ඇත. මෙය අද අමාත්‍යංශ දක්වා පැතිරීමෙන් ශිෂ්‍යයන්, ගුරුවරුන් අතර පවත්වා ගත යුතු දුරස්ථභාවය බිඳ වැටී ඇත. දිනක් Online පන්තියක තරුණ හා වැඩිහිටි කාන්තාවන්ට මැහුම් උගන්වන ගුරුවරියකට මම සවන් දී සිටියෙමි. ඇය පාඩමේ වැඩි කාලයක් ගත කළේ මේ දුවලා කීමටය. සැබවින්ම මෙම ඇමතීම මුදල් ඉපයීම අරමුණු කරගත් ආමන්ත්‍රණයක් නොවේද? ශිෂ්‍යයින් ඇමතිය යුත්තේ ඔවුන්ගේ නම් වලින් මිස පුතා, දුව ලෙස නොවේ.
ලංකාවේ කුල ක්‍රම තවදුරටත් බලවත්ව පවතී. එම තත්ත්වය තුළ තමන් නෑකම් කියන්නේ කාටද, කවුරුන්ටද කියා හොඳින් වටහා ගැනීම වටී. දිනක් මා දන්නා වැදගත් මහතෙකු බස් රථයක ගමන් කරන විට කොන්දොස්තර ඔහුට “අන්කල් සල්ලි ගන්න” කියා ඇමතූ බවත් එවිට ඔහු දුන් පිළිතුරත් මා සමඟ පැවසීය.
“තමුසේ කොහොමද ඕයි මට අන්කල් කියන්නේ, මම තමුසෙගෙ අන්කල් නම් සල්ලි ඕනේ නෑනේ, මම දෙන්නෙත් නෑ”
තවත් දිනක විදුහල්පතිවරයකු කඩවත සිට ගණේමුල්ලට ත්‍රීවීලයකින් ගිය ගමනක අත්දැකීම මා හට පැවසීය. ඔහු යමින් සිටියේ මළ ගෙදරකය.
“අන්කල් දන්නවාද හරියටම ඔය යන්න තියෙන තැන”
විදුහල්පතිවරයාගේ කෝපය පුපුරා ගියේය.
“තමුසේ කොහොමද, මට අන්කල් කියන්නේ, ත්‍රීවීල්කාරයා ත්‍රීවීල්කාරයා විදියට කතා කරනවා”
එවිට ත්‍රීවීල්කරු “මම හමුදාවේ හිටියේ, දැන් ත්‍රීවීල් එලෙව්වට”
“කවුරු වුණත් මට කමක් නෑ, දැන් එලවන්නේ ත්‍රීවීල්නේ, තරාතිරම බලලා මිනිසුන්ට කතා කරන්න පුරුදු වෙනවා, මම ප්‍රින්සිපල් කෙනෙක්”
මෙම අත්දැකීම තවදුරටත් විග්‍රහ කළහොත් මෙවැනි අත්දැකීම්වලට මුහුණපාන සමාජයේ වැදගත් මහත්ම මහත්මීහු කොපමණ ඇත්ද? පොළට බඩු ගැනීමට එන විනිශ්චයකරුවෙකු, වෛද්‍යවරයකු ගැන සිතන්න. ඔහුගේ මුහුණ බලා තරමක් තරුණ නම් අයියේ කියයි, වැඩිහිටි නම් අන්කල් කීමටත් පුරුදු වෙළෙන්දන් අන්කල් (Uncle) යැයි විනිශ්චයකරුවා ඇමතුවහොත් ඔහුට ඇති වන මානසික තත්ත්වය කුමක්ද?
ඉතා මෑතක් වනතුරු අප රටේ තරතිරාම අනුව පුද්ගලයන් අමතන වැදගත් විලාසයක් හෙවත් සමාජ සම්මතයක් පැවතුනි. තම වත්ත පිටියේ වැඩ කරන කම්කරුවාට, පාරේ වැඩ කරන කුලී කරුවාට නමින් ඇමතීම ද සිරිතකි. එහිදී තම ස්වාමියාට අවනත වන භාෂාවක් පාවිච්චි කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ වෙනුවට අද සමහරු අන්කල්, මාමේ යන නම් වලින් කුලීකරුවන් අමතති. මාගේ ලංකාවේ ඇති නිවසෙහි වත්ත එළිපෙහෙළි කිරීමට පැමිණි කුලීකරුවකු කර ඇති වැඩ දැන ගැනීමට ඡායාරූප ගත කොට එංගලන්තයට එවන ලෙස කී විට ඔහුගේ පුතු එසේ කිරීමට දන්නා බව කී විට එසේ කර එවන ලෙස මා පැවසීමි. මෙම කුලීකරුවාගේ පුතු මට Uncle, කියා whatsApp පණිවිඩයකින් ආමන්ත්‍රණය කර තිබුණි. එවිට මම ඔහුට දැනුම් දුන්නේ “තමුසේ කොහොමද මට Uncleකියන්නේ තමුසෙගෙ තාත්තා මගේ වත්තේ වැඩ කරන කුලීකාරයෙක් වෙනකොට, තමුන්ගෙ සමාජ තත්ත්වය දැනගෙන කතා කරනවා”
ආණ්ඩුවේ රෝහල්වල වැඩ කරන කාර්ය මණ්ඩලත්, වෛද්‍යවරුනුත් දැන් දැන් මෙම නෑකම් ක්‍රමයෙන් මිනිසුන් ඇමතීම රාජ්‍ය සේවයේ පිරිහීම, නිසි පුහුණුවක් කාර්යය මණ්ඩලවලට ලබා නොදීම ප්‍රදර්ශනය කරන්නකි.
එංගලන්ත සමාජයේ, විශේෂයෙන් සුදු ජාතිකයින් තමා නොදන්නා අයෙකුට ඔහු වැඩිහිටියකු නිසා uncle, Auntie කියා කිසිදා අමතන්නේ නැත. ඔවුන් නොදන්නා අයට අමතන්නේ Sir, Madam ලෙසයි. සුපිරි වෙළඳසැල්වල සේවකයන්ගේ පටන් උසස් පොලිස් නිලධාරීන් දක්වා පුහුණු කර ඇත්තේ එලෙසයි. රියදුරකුගේ වාහනයක් නතර කරන පොලිස් නිලධාරියකු රියදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමට ඉල්ලා සිටින්නේ “Can I see your Driving License Sir” රෝහලකට ගිය විට “Mr. Brown, Mrs Brown” ලෙස ආමන්ත්‍රණය කරති. කොළඹ ගුවන් තොටුපලේ දිනක් මා පසු කර ඉක්මනින් යන ගුවන් නියමුවකු (Pilot) “Sorry, Sir, I have to be quick” කී විට “It’s Ok” යැයි මම පැවසීමි. දියුණු ශිෂ්ටාචාරයට හුරු ගුවන් නියමුවා මා ඇමතූ අයුරු එයයි.
මේ අනුව මා අධ්‍යාපන ඇමතිවරයා හා ජනාධිපතිවරයාගෙන් ද රජයේ වගකිවයුත්තන්ගෙන් ද ඉල්ලා සිටින්නේ පාසල් සිසුන්, රජයේ ආයතනවල නිලධාරීන්, රෝහල් කාර්යය මණ්ඩලවල නිලධාරීන්ට තරාතිරම අනුව මිනිසුන් අමතන අයුරු පිළිබඳ නිසි අධ්‍යපනයක් පුහුණුවක් දෙන ලෙසයි. එසේ නොවන්නට යුනිෆෝර්ම් ඇඳගත් පොලිස් භටයන්ට හා නිලධාරීන්ට හැර ජනාධිපතිවරුන්ට, ඇමතිවරුන්ට, විනිශ්චයකරුවන්ට මාධ්‍ය මගින් හා දෛනික ජීවිතයේදී අන්කල්, මාමේ යැයි ඇමතීම ලංකාවේ සංස්කෘතියේ කොටසක් වීමට බැරි නැත.
21 වන සියවසේ වාණිජ ලෝකයක ජීවත්වන අප ආකර්ශනීය භාෂාවකට ජනතාව හුරු කළ යුතුය. දැනට මෙම භාෂාව භාවිතා කරනුයේ පෞද්ගලික සමාගම්වල සේවකයන් බව අගය කළ යුතුය.
ආචාර්ය රාජසිංහ බණ්ඩාර -
(ලන්ඩනයේ සිට)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අංකල්, ඔයාට සර් කියලා කියවා ගන්නද ඕනේ....? අපි නොදන්න එංගලන්තේ...!!!
එංගලන්තේ ජීවත් උණාට මොකුත් ඉගෙනගෙන නැති පාටයි. උද්දච්චකම උතුරනවා. බටහිර රටවල් වල අපිට සේවයක් කරන්න එන මිනිස්සු සර් කියලා කිව්වාට ඒක යටහත්, පහත්කමට කියන එකක් නෙවෙයි. ඒ රටවල් වල තියන වැදගත්ම ලක්ෂණය තමයි සමානාත්මතාවය. ජනාධිපති අගමැතිට වුණත් නම කියලා කතාකරන්න පුළුවන්. කවුරුහරි අපිට සේවයක් ලබාදුන්නාට (මුදලට) ඒ ගොල්ලෝ අපේ සේවකයින් නොවෙයි..! ඕනෑම රැකියාවකට ගරු කරන්න පුරුදු වෙන්න. මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙහෙ ඕනෑම කෙනෙකුට නම කියලා කතා කළාට කවුරුත් තරහා වෙන්නේ නෑ. නම දන්නේ නැත්නම් Mate කියලා කතා කරන්න. අගමැතිද, දොස්තරද, බාස් උන්නැහේද, පයිප්ප වැඩ කාරයාද කියලා වෙනසක් නැහැ. හවසට ඔක්කොම එකතුවෙලා බියර් එකකුත් ගහලා තමයි ගෙදර යන්නේ...!
ආචාර්ය රාජසිංහ බණ්ඩාර මහතාගේ අමාරුවට මා ගාව බෙහෙත් තියෙනවා. හවස් වරුවක අපේ ගෙවල් පැත්තේ ආවා නම්..! මෙතුමාගේ නමේ හැටියට උඩරට පළාතේ කෙනෙක් වෙන්න ඕනෑ. රාජසිංහ රජතුමා, මෙතුමාගේ මීමිත්තණියෝ බලන්න රෑට රෑට ගෙවල් පැත්තේ ගිහින් තියෙනවා වගේ...
සාමාන්‍යයෙන් මහත්මයෙකුට අංකල් කියලා කතා කරන්නේ අවුරුදු 60ක් වත් පැන්නට පස්සේ නේ. අපි හිතමු ඒ මහත්තයා අවුරුදු 75 ක් ජීවත් වුණා කියලා. ඒ කියන්නේ 75-60x 365 = 5475. ඔන්න ඒ මහත්තයා ට තව ජීවත් වෙන්න තියෙන දවස් ගාන. දවසක් ගෙවෙන ඉක්මන බැලුවාම දවස් 5500 යනවා කියන්නේ මහ දෙයක් නෙවෙයි. ඒ නිසා බොරු මාන්නක්කාරකම් පැත්තකින් තියලා හැමෝම එක්ක සතුටින් ජීවත්වෙන එක තමයි කරන්න ඕනෑදේ. මොන පට්ටම ගහගෙන හිටියත් පාරේ වැටුණොත් අරන් යන්න එන්නේ පාරේ ඉන්න ත්‍රීවීල් කාරයාම තමයි. නැතුව ඉතින් විනිසුරුතුමෙක් හරි, විදුහල්පති තුමෙක් හරි එනකල් හිටියොත් තියෙන හුස්ම ටිකත් අහසට විසිවෙලා තියෙයි උන්දැලා එනකොට...
ඉතාමත් වටිනා අදහස් ටිකක් කියපු ඔබතුමාට බොහෝම ස්තුතියි. ඇත්තටම කලකට ඉස්සර සමහර කාර්යාලවල වැඩිහිටියන්ට තාත්තේ අම්මේ කියලා ඇමැතීමට කටයුතු කරනවා දැක්කා. ඒ වගේම ඒ කාලයේ වැඩිහිටි කෙනෙක් කාර්‍යාලයට ආවොත් මුලින්ම ඉඳගන්න කියලා තමයි... ප්‍රශ්නය බලන්න ඵලදායිතා සම්මාන තරගයෙන් පස්සේ සේවාලාභින්ට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඇත්තටම මේක දහම්පාසල් වලිනුත් කරන්න පුළුවන් වැඩක් තමයි ආචාර්ය බණ්ඩාර මැතිතුමා කියලා තියෙන්නේ... මම දැකපු දෙයක් කියන්නේ මම දවසක් කඩේක සේවකයෙක් තරුණ කාන්තාවක් අමතා මැඩම් කියලා එහිම සිටි ඇයගේ ආයතන ප්‍රධානියා අමතා අංකල් කිව්වා. එහිදී කඩේ හිටපු අනෙකුත් අයත් සේවකයාගේ පැත්ත ගත්තා. කොහොම වුණත් මෙයින් පේනවා සමාජය එන්න එන්නම පරිහානියට පත්වෙනවා කියලා...
වෛද්‍යවරයකු ලෙඩෙකුට අම්මේ තාත්තේ කියලා කතා කිරීමේ වරදක් මම නොදකිමි. ගුරුවරයෙක් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුතේ දුවේ කියා ආමන්ත්‍රනය කිරීම අගය කරමි. මම ළඟදී සොහොනකට ගියෙමි. දවා අළු වූ ශරීර මුට්ටි පිටින් ගොඩ ගසා තිබෙන අයුරු දුටුවෙමි. මේ කෙටි ජීවිත කාලයේදී ජීවිතය තේරුම් නොගත් මිනිසුන් තම මනුෂ්‍ය වර්ගයාගෙන් ගරු බුහුමන් බලාපොරොත්තු වෙති. විදේශීය රටවල දෙවන පෙළ පුරවැසියන් ලෙස ජීවත්වන අපේ රටවල ඇතැම් අය ලංකාවේදී බොහෝ ගරු බුහුමන් බලාපොරොත්තු වෙති. බුදුදහම සහ තම තමන්ගේ ආගමට අනුව කටයුතු කරන ඕනෑම අයෙකුට ජීවිතයේ යථාර්තය දැකිය හැකිය.
මීට බොහෝ කාලයකට පෙර, "මාමා, නැන්දා" යන වචන වැඩිහිටියන් ආමන්ත්‍රණය කිරීම සඳහා මේ රටේ යොදාගෙන තිබුණා. කෙනෙකුගේ නමින් අමතන්නේ නැතිව, එලෙස වැඩිහිටියන් ආමන්ත්‍රණය කිරීම සිදුකළේ යම් ගෞරවයක් ඇතුව කතා කිරීමටයි. අද ලංකාවේ මිනිසුන් Aunty, Uncle යයි තව කෙනෙකුට ආමන්ත්‍රණය කිරීම මේ සම්ප්‍රදායේ දිගුවක් මිස සැබෑ නෑකමක් දැක්වීමක් නොව, එංගලන්තයේ තවමත් ආසියාතිකයින් ගෞරව නාමයෙන් අමතනවා මා දැක තිබෙනවා. මෙය වර්තමානයේ ලංකාවට ආවේණික සංස්කෘතිය වන අතර, එංගලන්තයේ සිට ලංකාවට පැමිණි විට එයට හුරුවීම නුවණට හුරු බවයි මගේ අදහස...
පිස්සෝ පිස්සු කෙළින එක සාමාන්‍ය දෙයකි...
අලි මදිවට හරක්...!
වත්තේ වැඩකරන වැඩකාරයගේ පුතා අංකල් කිව්වට තමයි මෙයාට මෙච්චර තදවෙලා තියෙන්නේ.
ඉතාම කාලෝචිත ලිපියකි. පූජාච පූජනීයානං... යන බුදු වදනකි. පස්වග මහණුන් ආවුසෝ යනුවෙන් බුදුහිමි අමතන විට එසේ නොකරන ලෙස ඔවුන්ට බුදුහිමි කීහ. නෑදෑයාත් නොනෑදෑයාත් සමවන්නේ කෙසේද? සැබැවින්ම මෙය අතිශය පිළිකුල් සහගත ඇමැතීම් රටාවකි. මේ රටාව ඉතා තදින් ව්‍යාපාරයන්ට බලපාන්නේය. වර්තමානයේ හිඟන්නන් පවා නෑකම් ආමන්ත්‍රණය කොට යදිති.. ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත්වන දුප්පත්තු සිටිති. ඔවුන් වංචාකාරී හිඟන්නන් හා සමවන්නේ කෙසේද? කෙසේ වුවද මේ රටාව වෙනස් කිරීම අතිශයින් දුශ්කර කාර්යයකි. අප පාසල් යන කාලයේ සිසුවියන්ට ඇමතුවේ ඔවුන්ගේ නමිනි. එයින් එකිනෙකාගේ පෞරුෂත්වය රැකිනි... දැන් ඔක්කොම රජවරු ඔක්කොම මව්වරු තුන්සිංහලයේම නෑදෑයෝ වෙති. ඒත් ළමිස්සියක් පමණක් නොව වයසක ගැහැණියක් තනි පංගලමේ නොව නාම්බන් රෑනකට මර දවාලේ අසු වුවහොත් බොහෝවිට නෑදෑකම් පර සක්වලේ ගොස් තිරිසනා මතුවන බවය. ඒ තිරිසනා අන්කල් පුතා මතු නොව ඇන්ටිලාද වෙති. සාදු... සාදු... සාදු... !
විදුහල්පති හරි කවුරු වුණාම මොකද? අපිට පාන්ද? හැමෝටම මාමේ, නැන්දේ කියලා කතා කරන එක හොඳ ප්‍රවණතාවයක්...!
මේ මහත්තයා එංගලන්තයේ හිටියාට..., තවමත් ජීවත් වන්නේ කුලමල හිසේ තබාගෙන බව පෙනේ... මොහුගේ ලියමනට අනුව ලංකාවේ තාමත් කුලභේදය තිබීම මොහුට ජුගුප්සා ජනක ලෙස නොපෙනේ. මොහුට ප්‍රශ්නයක් වන්නේ ඔහු කුලයෙන් පහළ යැයි සිතන අය තමන්ට "මාමේ" කීමයි. එමෙන්ම, තරාතිරම බලා "සර්" "මැඩම්" කීමේ සිරිතක් දැන් බටහිර රටවල නැති බව මොහු සඳහන් කරන්නේ නැත. බටහිර රටවල මිනිස්සු ආගන්තුකයාගේ තරාතිරම, ඇඳුම පැළඳුම නොබලා "සර්" "මැඩම්" කියති. ලංකාවේ ත්‍රී වීල් රියැදුරෙකුට "සර්" යැයි ඇමැතීමට මොහු සූදානම්ද? බටහිර රටක ජීවත්වන මා හට මෙවැනි පුද්ගලයන් මුණගැසී ඇත. ඔවුහු ලංකාවේ ඊනියා වංසක්කාර පවුල් වල ඉපදී, අසරණ මිනිසුන් හට පහත් ලෙස සලකමින්, ආමන්ත්‍රණය කරමින් මාන්නයෙන් ජීවත්වීමට පුරුදු වුවෝ වෙති. මොවුන් බටහිර රටකට පැමිණිවිට ඔවුන්ගේ මාන්නක්කාර කම තඹයකට මායිම් නොකෙරේ. ඔවුන්ගේ දුඹුරුහම, සංස්කෘතික නොගැලපීම, සහ ඇතැම් විටදී ආගන්තුක ඉංග්‍රීසි උච්චාරණය නිසා සමාජගත වීමේ අපහසුතාවයක් බොහෝවිට ඔවුහු අත් දකිති. මෙයින් උපදින හීනමානය සංසිඳුවා ගැනීමට මොවුහු උත්සාහ කරන්නේ ලංකාවට පැමිණි විටයි...
එංගලන්තයේ උදවිය මුහුණට Sir, Madam කියා කතා කළාට, නැති තැන බොහෝ දෙනා අසියාතිකයින් තවමත් හඳුන් වන්නේ වෙනත් නම්වලිනුයි.
එංගලන්තයේ හිටියත් හණමිටි යුගයේ ජීවත්වෙන කෙනෙක්...
මෙම ලිපිය වෙනුවෙන්, විවිධ අදහස් ලියා තිබුනත් මෙතුමා විසින් අප ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් බාහිර කෝනයකින් අදහස් දැක්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. දියුණුවෙමින් පවතින වර්තමාන ලෝකයේ, භාෂාවේ හැසිරවීමේ ගැටලු පවතින බව පෙනේ. "අම්මේ, තාත්තේ, නැන්දේ, මාමේ, අයියා, නංගී, දුවේ, පුතේ", ලෙස භාවිතා කිරීමේ වරදක් නැතැයි සිතමි. මෙතැන වැරැදී තිබෙන්නේ අවස්ථානුකූලව වචන තෝරාබේරා භාවිතා නොකිරීමයි. පුවත්පත්වල අදහස් දක්වන අවස්ථාවලදී පවා,: පරුෂ වචන භාවිතා කිරීම, තමන්ගේ අසහනය පිටකිරීම පිණිස අදහස් දැක්වීම උදාහරණ ලෙස ගත හැකියි. තැනට ඔබින ආකාරයට, "ඔබතුමා ඔබතුමිය මහත්මයා මහත්මිය" ආදී වචන යොදා ගැනීම උචිතයි. මා දන්නා පරිදි ජපන් භාෂාව කදිම උදාහරණයකි. ජපන් භාෂාවද සිංහල භාෂාව මෙන් වාක්‍ය ගැලපීමේ සමානත්මතාවයක් පෙනේ. "ආගම, කුලභේදය, රැකියාව, තරාතිරම" නොව, වැඩිහිටි අය සමවයස අය වයසින් පහත් අය ආදී වශයෙන් තෝරා බේරා වචන භාවිතා කිරීම ඔබින යයි සිතමි.
මෙයා නම් අමුම අමු හාදයෙක්... අපි රෙදි සෝදන කාන්තාවන්ටත් නැන්දා කියලා කතාකළ ජාතියක් බව එංගලන්තයේ ගමන එන්න පස්සේ අමතක වෙලා... රැකියාවක්, ආයතනයක් ප්‍රධාන ධූරයක්, විදුහල්පති කමක් පාරෙදීත් බලාපොරොත්තු වෙනවා නම් ඔබ විකාර පොරක්...
උද්ධච්ඡකම දෝරේ ගලනවා... 21 වැනි සියවසේ වාණිජ ලෝකයක් ගැන කතා කළාට, මීට වසර 2500 කට පමණ පෙර බුදුන් වහන්සේත් ප්‍රතික්ෂේප කළ බමුණු කුලවාදය තමයි තවම හිස මුදුනේ තබාගෙන ඉන්නේ...
හරි මාමේ ඔයා හරි. හැබැයි අපි එක්කෙනෙකුට සර් කියලා තමයි කෙළවාගත්තේ. සනීපෙන්ද ඉන්නේ එයා? මතක් කළා කියන්න.
ඉතා පහත් අදහස් ඇති කෙනෙක් බව පෙනේ. එංගලන්තයේ ඉඳලා ආපු හිඟන්නෙක් තම හීනමානය නැතිකර ගැනීම සඳහා කරන විස්තරයක් වගේ පේන්නේ. දියුණු රටක ජීවත්වෙලා කුලමල ගැන කතා කරනවා නම් මට හිතෙන්නේ මෙය මානසික ලෙඩක් කියලා. මනුෂ්‍යත්වය තියෙන්නේ හදවතේ මිස ආමන්ත්‍රණය කරන විදිහේ නෙමෙයි. මෙවැනි දේවල් තුරන්වෙලා යනකොට ඒවා ඇති කරලා සමාජය නැවත භේද කරන්න හදන වෑයම පරාජය කළ යුතුයි. සියල්ලෝම මිනිසුන්ය. සියල්ලෝම ජීවන අරගලයක නිරත වෙමින් සිටියි. එකම තැනකින් ලෝකය බලා එකම තැනකින් නික්ම යන...
මමත් ඡීවත් වන්නේ යුරෝපීය රටකයි. තරාතිරම නොබලා, ලොකු කුඩා සෑම ආයතනයකම, අඩුම ආදායම් ලබන කම්කරුවන්, ආයතනයේ ඉහළම නිලධාරීන් එකිනෙකාට, පාසල් සිසුන් ගුරුවරුන්ටත්, මහත්මයා, මහත්මිය සේ අමතයි. ආයතන තුල aunty, uncle නමින් වැඩිහිටියන්ට අමතන්නේ නැහැ. ඉතාම හිතවතුන් තමයි එකිනෙකා නමින් අමතන්නේ. අප රටේ, නිවෙස්වල උදව්වට එන කවුරුත්, විනීතව මිස්, මැඩම් හෝ මහත්මයා සේ අමතන්න හෙඳට හුරුවෙලා. ත්‍රීවිල් රියැදුරන් ඇතුලු සෑම රියැදුරන්ම ආචාරශීලීව මහත්මයා, මිස් නමින් ඇමැතීමටත් හුරුවෙලා. මමත් පෙරලා ඔවුන්ව එලෙසින්ම අමතනවා. මට අහන්න අකැමැතිම ඇමතීමක් තමයි "තමුසේ"...
මීට ගෞරවය හිමිවිය යුතුයි.
විකාර තමයි. එංගලන්තය යනවා කියලා මොන දීපංකරේ ගිහින්ද මන්දා..? එංගලන්තයටම වෙලා ඉන්න. අපිට අපේ රටේ ඉන්න දීලා...
එංගලන්තයේ ගියපු කෙනෙකුට අපේ රට ගැන ලියන්න වෙන දෙයක් ඇත්තේම නැද්ද? මේ මනුස්සයාත් පරණ හණමිටි කාරයෙක්ද කොහේද? තමන්ගේ කුලය, තරාතිරම ගැන හීනමානයක් තියෙන කෙනෙක් වගේ... මේ මනුස්සයා බටහිර සංස්කෘතිය දන්නෙත් නෑ... පෙරදිග සංස්කෘතිය දන්නෙත් නෑ.
කවුද මේ..?
මොකට ලැබුණු ආචාර්ය පදවියක්ද මන්දා..? මේ වගේ අය හැම රටකම වගේ ඉන්නවා.
බණ්ඩාර කියන්නේ උඩරට රදළ පැළැන්තියේ නමක් නෙවෙයි නේද?
අපේ අයගේ පහත් මානසිකත්වය ඉතා හොඳින් පෙන්වන ලිපියකි. මොහු ආචාර්ය ලෙස හඳුන්වා ගත්තද ඔහුට ආචාර්ය උපාධිය ලැබුණු විදිහක් ගැන කිසිඳු සඳහනක් කොහේවත් නැත. දැන් මුදලටත් ආචාර්ය උපාධිය ලබාගත හැකි ක්‍රම ඇත. මොහු කියන ලෙස හැමවිටම ත්‍රී වීල් රියැදුරුට කාර්යාලීය හැඳුනුම්පත බලා, විදුහල්පති, ගුරුවරයා, දොස්තර හඳුනා ගන්නට සිදුවේ. මොහු සමහර විට බස් එකක යන්නේ නම් සීට් ඉල්ලීමටත් ඉඩ ඇත. අපේ රටේ දොස්තරලා බහුතරයක් ඉන්නේත් මේ මානසිකත්වයෙනි. ඔවුන් සිතන්නේ ඔවුන් සැමට ඉහළින් සිටිය යුතු බවයි. දරුවගේ පාසලට ගියත් පටන් ගන්නේ මන් දොස්තර කියායි. එතකොට අනිත් අය ඔටුවෝද? හැබැයි අටපාස් නැති දේශපාලකයින්ට සර් කියයි. මොහු එංගලන්තයේ කරන රස්සාව පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි.
මෙයාව යවන්න ඕනෑ ඇෆ්ඝනිස්ථානයට...!
මට නම් හිතෙන්නේ මේ ආචාර්යවරයා මෙම ලිපිය මගින් කරන්නේ සමීක්ෂණයක් කියලා...!
පුදුම මිනිහෙක්නේ... පිස්සෙක්ද මන්දා මිනිස්සුන්ට හරියට හෙලාතලා කතා කරනවා. මොකක් හරි හීනමානයක් ඇති... ඒක පේනවා දාගෙන තියෙන බොරු නමෙන්ම. ඔය සමාජ තත්ව කියලා නෑ. ඔය කුලීකාරයාගේ පුතා තමුන්ට වඩා ඉහළට යන්න පුළුවන්. අපි නම් අපේ කුලීකාරයින්ට කතා කරන්නේ මාමේ, නැන්දේ කියලා. එතකොට ඒ අයටත් සැටිස්....
රාජසිංහ කියන හනමිටි මෝඩයා කුළමළ භේදය ඔලුවේ පුරෝගෙන අමනකම ප්‍රදර්ශනය කරලා... කුල හේදය ඔලුවේ පුරෝගෙන ඉන්න මෙයාගේ තාත්තා මොන කුළේද කියලා මෙයා දන්නේ නෑනේ. ඒක දන්නෙ මෙයාගේ අම්මා විතරයි...
අන්කල්, ඔය ඉන්න රටේම ඉන්න අය...
සුද්දෝ සත පහකට ගණන් ගන්නේ නැතිනිසා හීනමානයෙන් පෙළෙන මෝඩ අංකල් කෙනෙක්... මෙයාට තදවෙලා තියෙන්නේ කුලීකාරයගේ පුතා අංකල් කියපු නිසා. ඔයා ලංකාවෙන් ගිය කාලෙට වඩා දැන් ලංකාවේ මිනිස්සු දියුණුයි අංකල්... රැකියාවේ තරාතිරම උසස් පහත් කියලා සලකපු හීනමාන සංස්කෘතියේ කාලේ ගියා. ඔයාලාට වෙලා තියෙන්නේ ලංකාවෙන් ගිහින් ගොඩක් කල්නිසා ලංකාවේ සමාජයේ වුණු වෙනස්කම් ගැන අවබෝධයක් නෑ. සුද්දෝ ඔයාලව එයාලාගේ සමාජෙට වැද්ද ගන්නේ නැති නිසා ඒ ජීවන රටාවට අනුගත වීමකුත් නෑ. ඉතින් ඔයාලා පිටරට හිටියාට ලංකාවේ අතීතයේ හිරවෙලා විඳවනවා...
ඔන්න නඩුකාරයෙක් මිය යනවා. නැවත උපදිනවා. ඊළඟ ආත්මේ කුලීකාරයෙක් වෙනවා. ඒ ගමේම උපදිනවා. සර් කියපු අය ඕයි කියනවා.
මෙතුමාට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳව අමතක වෙලා හැඩයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ගමක තරාතිරම හෝ ඥාතීත්වයක් නොබලා, වැඩිහිටියන්ට මාමේ, නැන්දේ ලෙස ඇමතිමක්, තමන්ට වඩා අඩු වයසක කෙනෙකුට පුතේ දුවේ කියා ඇමතීමත්, ගොඩක් වැඩි වයසක කෙනෙකුට අම්මේ තාත්තේ කියා ඇමතීම සිරිතක්... එහෙත් මාන්නක්කාර, කුලවාදී අදහස් ඇති අය එයට කැමැත්තක් දක්වන්නේ නෑ. උසස් කුලයේ නිසා කවරෙකු හෝ ඥාති සම්බන්ධතාවයක් ඇති වචනයක් භාවිතා කළහොත් ඔවුන්ට අපහාසයක් ලෙස සලකනවා. හාමු මහත්තයා, මහත්තයා වැනි වචන භාවිතා වුණා. මම කැනඩාවේ ජීවත් වුණත් ලංකාවට යන සෑමවිටකම මමත් ලංකාවේ ක්‍රමයට මාමා, දුව, පුතා, නංගී, මල්ලී දෙස අන්අය ඇමැතීමට පුරුදු වී තිබෙනවා. එය ආදරය, කරුණාව සහ එකිනෙකා කෙරෙහි ඇති බැඳීම විශ්වාසය ප්‍රකාශ කරන ක්‍රමයක්... එහෙත් කැනඩාවේදී බටහිර ක්‍රමයට හැමෝටම නම කියා කථාකිරීම සිදුවෙනවා. මේ රටවල ගුරුවරුන්ටත් නම කියා තමයි කතා කරන්නේ. විශේෂ ගරු කිරීමක් නෑ. ඔබතුමාට ඔබතුමාගේ රටේ සංස්කෘතිය අමතක වීම ගැන මට හරිම පුදුමයි. බටහිර සංස්කෘතිය ලංකාවට ඔබ වන්න හදනවා... ඔබ ගැන මට හරිම කණගාටුයි...
අමු පිස්සෙක්. කෙනෙකුට නැන්දේ, මාමේ, අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ එහෙමත් නැත්නම් අංකල්, ඇන්ටි කිනෙ එකේ තියෙන වැරැද්ද මොකද්ද? ගුරුවරු දුව පුතා කියන එකේ වැරැද්ද මොකද්ද? ඔය කියන විදියට එහෙනම් තමන්ට හම්බවුණු පට්ටම් පිටේ ගහගෙන ගියා නම් හරි අනිත් අයට අඳුනා ගන්න. නැත්නම් අපි කොහොමද දන්නේ මේකා නඩුකාරයාද විදුහල්පතිද කියලා. කවුරු වුණාම මොකද හැසිරෙන්න කතා කරන්න දන්නේ නැත්නම්...? බලෙන් ගරුත්වය ලබාගන්න බෑ. මම නම් හිතන්නේ තමන්ට උගන්නලා තියෙනවා නම් විතරයි... එයා මගේ ගුරුවරයා විදුහල්පති වෙන්නේ... නැතුව ඉතින් පට්ටමට ගරු කරන්න තරම් මට නම් පිස්සුවක් නෑ. මොකද විදුහල්පති පට්ටම කවුරුත් බලෙන් දුන්නේ නෑනේ. එංගලන්තයට ගියා නම් එහෙ විදියට එහෙටම වෙලා ඉන්නේ නැතුව තවත් එනවා මේ රටේ දේවල්වලට ඇඟිලි ගහන්න. රටට ආදරේ නම් මෙහෙට වෙලාම ඉන්න එපැයි. ගියා නම් කට වහගෙන ගිය විදියටම ඉන්න එක හොඳයි. ඔය ආචාර්ය පට්ටම ගත්තෙත් කීයක් ගෙවලද දන්නේ නෑ. අපේ රටේ ගොඩක් මිනිස්සු දන්නවා ඔය පට්ටම් ඔක්කොම සල්ලිවලට ඕන මෝඩයෙකුට ගන්න පුළුවන් කියලා...
තමන්ට වැඩිය පහත් කියලා හිතෙන් හිතාගෙන ඉන්න අයට කියලා සර්, මහත්තයා කියලා කියවාගන්න ආස මන්ද මානසිකයින්ට තමයි මේ වගේ ප්‍රශ්න තියෙන්නේ... මම ත්‍රීවීල් එකක යනකොට මනුස්ස තාලෙට කතා කරනවා නම් අන්කල්, අයියා, මල්ලි, පුතා වගේ මොන වචනයක් කිව්වත් මට නම් ප්‍රශ්නයක් නෑ.
අපිත් ඉන්නේ බටහිර රටවල තමයි. මේ වගේ පසුගාමී අදහස් තියන මිනිස්සු ගැන හරිම ලැජ්ජයි..!
මනසින් උසස් පුද්ගලයා මිනිසායි. සමාජගත වන සෑම කරුණක්ම පිළිගැනීමට නොහැකි වුවත් උසස් බුද්ධියක් ඇති ඔබට පළ කර ඇති ලිපියේ අරුත පැහැදිලි යැයි මට සිතේ. තුමා, උතුමා, මහතා ආදී වශයෙන් පුද්ගල සමාජ තත්ත්ව ලබාදී ඇත්තේ එහි ඇති වටිනාකම අනුවයි. රටකට ඇත්තේ එක ජනාධිපති කෙනෙකි. ඔහු රටේම මාමා වන්නේ නම් තනතුරේ ඇති වටිනාකම මුල් ළමාවිය සංවර්ධනයේ දීවත් වටහා දී නොමැතිය. වෙදකමට වඩා හෙදකම අවශ්‍ය මොහොතේ අම්මා, තාත්තා, නැන්දා, මාමා යැයි රෝහලේ ඇමතුවත් එය සෑම අවස්ථාවකටම නුසුදුසු බව බුද්ධිමත් ඔබ වටහා වටහා ගත යුතුයි. යුද හමුදාවේ දී නිල මට්ටම් නිර්මාණය වී ඇත්තේ කණ්ඩායම් මෙහෙයවීමේ පහසුව සඳහායි. ආයතනද එසේමයි. එසේ නොවී නැන්දා, මාමා වී ඥාති සම්බන්ධකම් ඇති කරගත්තා නම් කෙසේ යුද්ධය දිනයිද? බස් පෞද්ගලික ආයතන දියුණු වෙයිද? සිතන්න...
මේ අදහස් ප්‍රකාශන තූළ අංකල් යන වචනය නෝණ්ඩියට කී දෙනෙක් භාවිතාකර තිබේද? එයින්ම පේනවා ඒ වචනය යොදාගන්නේ ගරු ආචාරශීලිකමට නොව වැඩිහිටියන්ට නිසි ගරුත්වය දීමට තරම් හැදියාවක් නැති වග... මෙය ශ්‍රී ලාංකිකයන් සතු බරපතල හීනමානයේ පැතිකඩක්. විශේෂයෙන්ම මෙය සිංහලයින්ගේ උඬඟුකම.... මෙසේ ඇමැතීම ව්‍යාපාර කටයුතුවලට තදින් බලපාන සාධකයක්. එහෙත් මෙරට අනික් ජාතික ව්‍යාපාරිකයින්ගේ ආමන්ත්‍රණ යෙදුම් සසඳා බලන්න. ඔවුන් ගනුදෙනුකරුවා/වන් රජුන් හැටියට සලකන්නේ. ඒ කඩවලට යන ගනුදෙනුකරුවන් වැඩියි. ඉංග්‍රීසියේ කියමනක් තියෙනවා. Respect begets respect කියලා. බොහෝ යුරෝපියානු රටවල හිඟන්නන්ට පවා ආමන්ත්‍රණය කරන්නේ Mr/Miss/ කියලා...
ඔයා ඩෝබි කෙනෙක් නම් ඔයා කැමතිද ඩෝබි කියලා කතා කරනවට...?
ආචාර්ය රජසිංහ බණ්ඩාර පළකර ඇති කාලීන වැදගත් ලිපියත් ඒ පිළිබඳ පාඨකයින් දක්වා ඇති අදහස් මම සැලකිල්ලෙන් කියවීමි. මෙහිදී මධ්‍යස්ථව ලිපිය ගැන අදහස් දැක්වූ කිහිප දෙනෙකු හැරුණු විට වැඩිදෙනකු ලිපියේ හරය, අරමුණ ගැනවත් තේරුම් නොගෙන ලේඛකයාට අපහාස කිරීමට ඉතා පහත් පෙලේ වචන භාවිතා කර ඇත. මෙයින් ප්‍රදර්ශනය කරනුයේ ඔවුන්ගේ පහත් සමාජ තත්ත්වය මිස අන් කිසිවක් නොවේ. මා එංගලන්තයේ ජීවත්වන කෙනෙකු වන අතර අප රටේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, දේශපාලනය ගැන ඉතා හොඳින් දනිමි. පුද්ගලයින්ගේ තරාතිරම නොබලා මිනිසුන් අමතන ක්‍රමය 21 සියවසේ වාණිජ ලෝකයක ජීවත් වන සමාජයට ගැලපෙන සුදුසු පරිදි වෙනස් කළයුතු බව ඔහු රජයට හා බලධාරීන්ට දී ඇති පණිවිඩයයි. මෙහිදී අදහස් දක්වා ඇති ඇතැමුන් ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ ජිවත්වන බව උජාරුවෙන් කියා ලේඛකයාට අපහාස කර ඇත. එසේ කියන අය ඕස්ට්‍රේලියාවේ, යුරෝපා රටවල චිකන් කඩවලත්, සරණාගතයින් වශයෙන් පැමිණ, ආණ්ඩුවලට ඇසුවෙතැයි බයෙන් කසළ ශෝධකයින් වශයෙන් කරන වැඩ ගැනත් අප හොඳින් දන්නා බවද සිහිතබා ගත යුතුයි. මෙවැනි පහත් අදහස් දක්වා ඇත්තවුන් කිසිදා සමාජයේ වෙනසක් අපේක්ෂා නොකරන බව නම් ඉතා පැහැදිලියි...
ආචාර්ය රාජසිංහ බණ්ඩාර මහතා පලකර ඇත්තේ ඉතාම කාලෝචිත ලිපියකි. ඔහු මෙම ලිපියෙන් කියා ඇති කරුණු සැබවින්ම සත්‍යය බව මාගේ අත්දැකීමෙන්ම දනිමි. මා දැනට වයස 45ක් වන අතර මාගේ වයසට සමාන ඇතැමුන් මා හට අන්කල් ඇමතු විට මම ඔවුන් දෙස බැලුවේ පිළිකුලෙනි. මා හට වැඩිමල් ගැහැණු මෙන්ම පිරිමි මට අයියේ කියා ඇමතු අවස්ථා කොතෙකුත් ඇත. තම තරුණ බව පෙන්වීමට හීනමානයෙන් පෙළෙන ගැහැණුන් පිරිමින්ද මෙසේ කරති. මෙම ලිපියෙන් පෙන්වා දෙන ප්‍රධාන කරුණ එය නොවේ. තරාතිරම අනුව පුද්ගලයින් ඇමතු සම්ප්‍රදායික ක්‍රමය වෙනුවට අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන්සින්හලයිම නෑදෑයෝ... ලෙස සිතාගෙන කරන තුට්ටු දෙකේ ඇමතීම් ක්‍රමය ගැනයි. මෙම ලිපිය ගැන ආවේගාත්මකව, අපහාසාත්මකව ලේකයා ගැන අදහස් දක්වන පුද්ගලයින් ප්‍රදර්ශනය කොට ඇත්තේ ඔවුන්ගේ පහත් සමාජ තත්වයන් උඩින් පල්ලෙන් අතගාගත් අද්‍යාපනයන්ය. වැදගත් දෙමාපියන්ගේ දරුවන් ඔවුන් භාවිතා කරන වචන වලින් හඳුනාගත හැකියි. පොලිස්කාරයින්ට, හතරට, පහට නැමී 'සර්' කියන ත්‍රිවිල් කාරයින් විදුහල්පති වරයෙකුට අන්කල් කීම අනුමත කළ හැකිද? ජනාධිපති වරයාට අංකල්කීමට පාසල්වල ඉගැන්වීම අනුමත කළහැකිද?
මහන් තත්තේ උපරීමේටම තියෙනවා නේද අංකල්...? එංගලන්තේ ගියත් කුලේ හෙවීම, මිනිස්සුන්ගේ රස්සාව බලලා සැලකීම වගේ ගඳ ගහන කුණු ඔය අංකල්ගේ ඔළුවේ පිරිලා...
මීට වඩා වෙනස් ප්‍රතිචාරයක් බලාපොරොත්තු එපා. මේ වගේ අමනයෝ එක්කද අපි නෑදෑකම් පවත්වන්න ඕනයි කියා ඔවුන් හිතන්නේ..? අනික සර්පයෝ එක්ක මොන නෑදෑකම්ද? "උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද නෑරේ" කියලා කතාවක් තියනවනේ නේද?
සරලම විසඳුම ඔයා ලංකාවට එනකොට ඔයාගේ ආචාර්‍ය පට්ටම එංගලන්තේ තියලා එන්න. ඒකෙන් අපිට වැඩක් නෑ... ඔයාගේ ප්‍රින්සිපල්ට කියන්න ඒ පට්ටම ඉස්කෝලේ තියලා එන්න කියලා, ත්‍රී වීල් එලවන කෙනාට මොකටද ඒක...? එයාට නිකම්ම නිකම් කුලී ගමනක් යන මගියෙක්... අර කියන විනිශ්චයකාරයා වගේම වෛද්‍යවරයා පොළට ආවාම පාරිිභෝගිකයෙක් එයාගේ පට්ටම වෙළෙන්ඳන්ටවත් තව බඩුගන්න එන අනිත් අයටවත් වැඩක් නෑ. ඔය රටවල ඉඳලත් ඉතින් රැකියාව අනුව මිනිස්සුන්ගේ මට්ටම් හොයනවා නම් ඉතින් බෙහෙත් ගන්න. මොකද ඔයා ඔය කියන ලොකු තලයේ රැකියා වගේම පාර අතුගාන කෙනාගේත් රැකියාව වැදගත්...
ආචාර්ය රාජසිංහ බණ්ඩාර මහතා රචනා කරන්නට යෙදුණු ලිපි කීපයක්ම මා කියවා ඇත්තෙමි. ඒ සෑම ලිපියකින්ම පාහේ ඔහු සාකච්ඡා කර ඇත්තේ කාලෝචිත මෙන්ම සමාජයේ බොහෝදෙනා නොදකින පැතිකඩක්. මෙයත් එවැනිම ලිපියක් බව කිව හැකිය. එක් එක් අයගේ බුද්ධි මට්ටම අනුව මෙම ලිපිය තේරුම් ගෙන ඇත. ලිපියේ සැබෑ හරය පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති ඇතැමුන් අවේගයෙන් අදහස් පලකර ඇත. තවත් සමහරුන් මෙම ලිපියේ සැබෑ අරුත වටහාගෙන ඇත. මෙය සමාජයේ අවදානය යොමුකළ යුතු වැදගත් මතෘකාවක්. ලිපියෙහි අන්තර්ගතයෙහි සඳහන් ආකාරයට ඇත්තෙන්ම 21 වැනි සියවසේ වාණිජ සමාජයක ජීවත් වන අප ආකර්ෂනීය භාෂා රටාවකට හුරු විය යුතුයි. එය වැදගත් වන්නේ වර්තමානයට වඩා මතු අනාගතයටයි...