වසර ගණනාවක් පුරා යල් පැන ගිය නීති රාමුවක් තුළ සිරවී සිටි ශ්‍රී ලාංකීය කාන්තාවට, 2024 සහ 2026 වර්ෂයන්හි සිදුවූ නීතිමය පෙරළියත් සමඟ නව වෘත්තීය ක්ෂිතිජයක් විවර වී ඇත. මේ ඇයගේ මූලික අයිතිවාසිකම් සහ රාත්‍රී සේවා නියුක්තිය පිළිබඳ නවතම නීතිමය තත්ත්වයන් පිළිබඳ විමසුමකි.

01. රාත්‍රී සේවා නියුක්තිය: නව නීති, නව අවස්ථා සහ දැඩි කොන්දේසි සාම්ප්‍රදායිකව 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ කාන්තාවන් රාත්‍රී සේවයේ (ප.ව 6.00 න් පසු) යෙදවීම සීමා කර තිබුණි. එහෙත් නව ආර්ථික ප්‍රවණතා මත පදනම්ව මෑත කාලීනව ප්‍රධාන සංශෝධන දෙකක් හරහා මෙම සීමාවන් ලිහිල් කර ඇත. 2024 අංක 31 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත සංශෝධනය කිරීමේ පනත: මෙමගින් මූලික වශයෙන් තොරතුරු තාක්ෂණ (IT), දැනුම පදනම් කරගත් සේවා (KPO), සහ ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් ලබා ගැනීමේ (BPO) ආයතනවල සේවිකාවන්ට රාත්‍රී සේවයේ නිරත වීමට නීතිමය අවසරය ලබා දෙන ලදී. 2026 ජනවාරි මස නිකුත් වූ අති විශේෂ ගැසට් නිවේදනය: (ගැසට් පත්‍ර අංක . 2473/25 – 2026.01.30) සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් නිකුත් කළ මෙම ගැසට් පත්‍රය (අංක 2473/25) මගින් හෝටල් ක්ෂේත්‍රයේ සේවිකාවන්ට, ආපනශාලා සේවිකාවන්ට සහ සනීපාරක්ෂක සේවිකාවන්ට රාත්‍රී 6.00 න් පසු සේවය කිරීමට අවසර ලබා දී ඇත.

කෙසේ වෙතත්, මෙම නිදහස අත්තනෝමතික ලෙස භාවිතා කිරීමට හාම්පුතුන්ට ඉඩක් නොමැත. නව නීතිවලට අනුව රාත්‍රී සේවයේ යෙදවීමේදී පහත දැඩි කොන්දේසි සපුරාලීම අනිවාර්ය වේ: ලිඛිත කැමැත්ත (Written Consent): සේවිකාවගේ කැමැත්ත අත්‍යවශ්‍ය වන අතර, සාධාරණ හේතුවක් මත එය ඕනෑම විටක ඉල්ලා අස්කර ගැනීමට ඇයට අයිතිය ඇත. ප්‍රවාහන පහසුකම්: රාත්‍රී සේවය නිම කරන කාන්තාවකට ඇයගේ නිවසටම (Doorstep) හෝ ඇය එකඟ වන ආරක්ෂිත ස්ථානයක් වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම අනිවාර්ය වේ. එසේ නොමැති නම් පසුදින උදෑසන වන තෙක් ආරක්ෂිත නවාතැන් සැපයිය යුතුය. අමතර දීමනා: රාත්‍රී කාලයේ වැඩ කරන පැය ගණන සඳහා සාමාන්‍ය වැටුපට වඩා වැඩි දීමනාවක් (බොහෝ විට 1.5 ගුණයක්) ගෙවිය යුතුය. ආරක්ෂාව සහ පහසුකම්: සේවා ස්ථානය තුළ ඇයගේ ආරක්ෂාව තහවුරු කළ යුතු අතර, ආහාර ගැනීම සහ විවේක ගැනීම සඳහා පිරිසිදු ස්ථාන, වැසිකිළි පහසුකම් තිබිය යුතුය. රාත්‍රී ආහාරය සහ තේ/කෝපි වැනි පාන වර්ග නොමිලේ සැපයිය යුතුය.

02. මාතෘ නිවාඩු: වරප්‍රසාදයක් නොව අයිතියකි ශ්‍රී ලංකාවේ කාන්තාවන් සතු ප්‍රධානතම නීතිමය අයිතිය වන්නේ මාතෘ ප්‍රතිලාභයි. මාතෘ ප්‍රතිලාභ ආඥා පනතට අනුව: දින ගණන: දරුවන් කී දෙනෙකු සිටියද, ඕනෑම සජීවී දරු උපතක් සඳහා වැඩ කරන දින 84 ක (සති 12 ක) පූර්ණ වැටුප් සහිත නිවාඩු හිමිකමක් ඇත. සති අන්ත සහ රජයේ නිවාඩු දින මීට ඇතුළත් නොවන බැවින්, සැබෑ නිවාඩු කාලය මීට වඩා දීර්ඝ වේ. කිරි දීමේ විරාම (Nursing Intervals): දරුවාට වයස අවුරුද්දක් වන තුරු, දිනකට දෙවරක් කිරි දීම සඳහා විරාමයක් ලබා දිය යුතුය. (ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් නොමැති නම් පැය 1 බැගින් ද, ඇත්නම් විනාඩි 30 බැගින් ද). රැකියා සුරක්ෂිතතාව: ගැබ් ගැනීම හේතුවෙන් සේවිකාවකගේ සේවය අත්හිටුවීම නීති විරෝධී වේ.

03. වැඩබිමේ හිංසනය සහ ලිංගික අතවර ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 දරන සංශෝධන පනතේ 345 වගන්තිය යටතේ රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනය බරපතල අපරාධ වරදකි. අනවශ්‍ය ශාරීරික ස්පර්ශය, ලිංගික ස්වභාවයේ වචන භාවිතා කිරීම, හෝ ලිංගික අල්ලස් ඉල්ලීම මීට ඇතුළත් වේ. විශේෂයෙන් රාත්‍රී සේවයේ යෙදෙන කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ විධිවිධාන යෙදීමට නව ගැසට් නිවේදන මගින් හාම්පුතුන් බැඳී සිටී.

04. ක්ෂේත්‍ර අනුව පවතින විෂමතා සහ අභියෝග නීතිය පොතේ කෙතරම් ශක්තිමත් වුවද, ප්‍රායෝගික තලයේදී ක්ෂේත්‍ර අනුව විශාල පරතරයක් දක්නට ලැබේ: ඇඟලුම් ක්ෂේත්‍රය - (Export Processing Zones (EPZ): මෙහි සේවය කරන කාන්තාවන් බොහෝ විට අධික වැඩ බර සහ ඉලක්ක (Targets) සපුරාලීමේ පීඩනයට මුහුණ දෙයි. වතු ක්ෂේත්‍රය: තේ වතුවල කාන්තාවන් අවම වැටුප්, නිසි සෞඛ්‍ය පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම වැනි මූලික ගැටලුවලින් තවමත් පීඩා විඳිති. අවිධිමත් අංශය: කෘෂිකාර්මික හා සුළු ව්‍යාපාරවල නිරත කාන්තාවන්ට පුරුෂයන්ට වඩා අඩු වැටුපක් ලැබෙන අවස්ථා සුලබය.

මීට අමතරව, රැකියාවට අමතරව ගෙදර දොර වැඩ සහ දරුවන් බලා ගැනීමේ වගකීම (Double Burden) කාන්තාවන් මත පැටවී තිබීමත්, ගුණාත්මක ළමා සුරැකුම් මධ්‍යස්ථාන (Day care centers) හිඟකමත් කාන්තාවන් ශ්‍රම බලකායෙන් ඉවත් වීමට ප්‍රධාන හේතු වී ඇත. සමාලෝචනය 2024 සහ 2026 දී ගෙන ආ නව නීතිමය ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාව කාන්තා සේවා නියුක්තිය සම්බන්ධයෙන් නව යුගයකට අවතීර්ණ වී ඇත. විශේෂයෙන් IT සහ සංචාරක ක්ෂේත්‍රයේ රාත්‍රී සේවා සඳහා දොරටු විවර වීම ආර්ථික වශයෙන් වැදගත් පියවරකි. එහෙත්, මෙම අයිතිවාසිකම් සැබෑ ලෙසම භුක්ති විඳීමට නම්, හාම්පුතුන් විසින් ප්‍රවාහනය සහ ආරක්ෂාව පිළිබඳ කොන්දේසි නිසි ලෙස පිළිපදින්නේ දැයි කම්කරු බලධාරීන් නිරන්තර විමසිල්ලෙන් සිටීම අත්‍යවශ්‍ය වේ. 

නීතීඥ සුමුදු සඳරුවන් ලියනආරච්චි

D.N අභයවර්ධන