විනීතා එම් ගමගේ

ඌව වෙල්ලස්සේ පළමු නිදහස් අරගලයට නායකත්වය දුන්  මොනරවිල වීර කැප්පැටිපොළ විරුවා දේශද්‍රෝහියකු ලෙස නම් කර බ්‍රිතාන්‍යයන් විසින් හිස ගසා දමා වසර 199කි.  එමෙන්ම 1818 පළමු නිදහස් අරගලය ඇරැඹී වසර 200කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කැප්පෙටිපොල ජාතික වීරයෙකැයි නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. එහෙත් ඔහුගේ වීරඑත්වය කෙබ`දු දැයි දන්නෝ අල්ප පිරිසකි. ඔහුගේ ජීවන චරිතය අධ්‍යයනය කළ යුත්තක් පමණක් නොව ළමා පරපුරට  එතුමන්ගේ චරිතාංග රැසක් ආරෝපණය කළ යුතුයැයි කෙනකුට හැඟී යා හැකිය. ඔහු එතරම්ම සුවිශේෂී චරිතයකි.

මාතලේ දිස්ත‍්‍රික්කයේ උඩුගොඩ මොනරවිල දී උපන් කැප්පෙටිපොල දිසාව රාජාධි රාජසිංහ රජ සමයේ දියවඩන නිලමේ තනතුර හෙබවූ ගොලහැල නිලමේ නොහොත් කැප්ෙටිපොල නිලමේ ය. මව මොනරවිල කුමාරිහාමිය. පවුලේ වැඩිමහලු පුතු වූ මොනරවිල කැප්පෙටිපොල නිලමේට නැඟණියක් හා මලනුවන් කෙනෙක්ද ද සිටියහ.  වීර මද්දුම බණ්ඩාරයන්ගේ මෑණීයන්  වන ඇහැලේපොල කුමාරිහාමි ඔහුගේ නැගණියයි.

ආදි වාසීන් ගෙන්   පණ්ඩුකාභය රජ සමයේ සිටම  බදු අය කිරීමක් සිදුවූයේ නැත. ඒ ඔවුන් මෙරට මුල්ම වාසින් ලෙස තිබු ගෞරවය හේතුවෙනි. එහෙත් උඩරට පාලනය භාරගත් බ්‍රිතාන්‍යයෝ  ආදිවාසින්ගෙන් පවා අය  බදු එකතු කළහ. ඌව වෙල්ලස්සේ මුහන්දිරම් තනතුරට පත් කර සිටි හජ්ජි මරික්කාර් නමැත්තා අයබදු එකතු කිරීමට ගිය අවස්ථාවේ බදු ගෙවීම් පැහැර හැරි ආදිවාසින් සමඟ ඇතිවු හබය අවසන් වූයේ ඔහු මරා දැමීමෙනි.

මේ උඩරට පළමු නිදහස් අරගලය ආරම්භ වූ අවස්ථාවයි. මෙහිදී ආදිවාසින් වෙනුවෙන් පෙනී සිටියේ කිවුලේ ගෙදර මොහොට්ටාල ය. ඔහු යටතේ අරගලය උත්සන්න වෙද්දී එය මැඩ පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යයෝ ඒ 1817 නොවැම්බර් 17 වැනිදාය. ඉංග‍්‍රිසි හා සිංහල සොල්දාදුවන් සහිත සේනාංකයක් ද සමග කැප්පෙටිපොල දිසාව ඌව වෙල්ලස්ස බලා ගමන් කළේය.

දෙපාර්ශ්වය අළුපොත දී එකිනෙකා මුණ ගැසුණහ. එහි දී කිවුලේ ගෙදර මොහොට්ටාල ගේ නායකත්වයෙන් සිටි කණ්ඩායම රට වෙනුවෙන් කැප්පෙටිපොල දිසාවෙට කරුණු පැහැදිලි කළහ. එමෙන්ම අධිරාජ්‍යවාදින්ට එරෙහිව කරන සටනේ නායකත්වය ගන්නැයි මොනරවිල කැප්පෙටිපොල දිසාවට ඇරයුමක් ද කළහ.

තමන් සිංහලයාගේ නිදහස වෙනුවෙන් සටන් වදින බව මහනුවර ඒජන්ත තැනට දන්වන්නැයි තම සේනාංකයට දැනුම දුන් කැප්පෙටිපොල මහ දිසාව තමන් බාරයේ තිබු ආයුධ ද   බ‍්‍රීතාන්‍ය කොඩිය ද ආපසු බාර දී ඔවුන් පිටත් කර හැරියේය. සතුරාගේ ආයුධවලින් සතුරාට පහර නොදෙන්නට තරම් ඔහු ප‍්‍රතිපත්ති ගරුක විය. 

වසරකට ආසන්න කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව ගෙන ගිය සටන ජයග‍්‍රහණයට ඔන්න මෙන්න කියා තිබියදී බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත‍්‍රණකාරී කෙටවීම්වල ප‍්‍රතිපලයක් ලෙස කැප්පෙටිපොල මහ දිසාවෙත් මඩුගල්ලේ දිසාවෙත් 1818 ඔක්තෝබර් 28  වැනිදා බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත්විය.

කැල්ල පිළිබ`ද නඩු ඇසිණි.  අත් අඩංගුවට පත්වුවත් කැප්පෙටිපොල දිසාව කලබලයට පත් නොවූ අතර තමන් පලකයන්ට එරෙහි අරගලයක් කළ බවත් පිළිගත්තේ   නැත. තමන් කළේ මාතෘ භූමිය බේරා ගැනීමේ අරගලයක් බවත් ඇත්තේ සටන කළ අන්දමේ වරදක් බවත් අත් අඩංගුවට පත්වූයේ ඒ නිසා බවත් ඔහු කියා සිටියේය.

අධිරාජ්‍යවාදින්ට එරෙහිව පැන නැගුණු මෙරට පළමු නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ දිසාවගේ හිස් ගසා මරණයට පත් කරන්නට දින නියම විණි. ඒ මීට වසර 199 කට පෙර 1818 නොවැම්බර් 26 වැනිදාය. හිස ගසා දමා මරණයට පත් කරන්නට නියම වු කැප්පෙටිපොල මහ බෝගම්බර  දිසාවත් මඩුගල්ලේ දිසාවත් අදාල දිනයේ දී බෝගම්බරට ගෙනයන්නට පෙර මාළිගාව වැඳ  පුදාගන්නට අවස්ථාව උදා කර දෙන ලදී. කැප්පෙටිපොල මහ දිසාව තම තුප්පොට්ටිය දළදා සමිඳුන් වෙත පූජා කර වන්දනා කළේය. අනතුරුව වදක භූමිය වෙත ගෙන ගිය ඔහු තම ඉණ නිරන්තරව රැඳී තිබු ධම්මපදය කුඩා පුස්කොළ පොත ගෙන ගාථා පාඨයක් ද කියවා එය ද හිත මිතුරු සුදු ජාතිකයෙකුට තෑගි කළේය. එයින් පවා ඔහු පෙන්වා දුන්නේ තම සටන සුදු ජාතිකයින්ට එරෙහි එකක් නොව රට බේරා ගැනීම පිණිස පමණක් කළ එකක් බවය.

අනතුරුව දංගෙඩියට හිස පහත් කර එක කඩු පහරින් හිස සි`දලන්නැයි වදකයාට අණ කළේය. එහෙත්  ඔහුගේ හිස එක කඩු පහරින් වෙන් නොවු බව කියැවේ. නිර්මාංශිකයෙකු වන ඔහුගේ බෙල්ලේ තන්තුවල ශක්තිමත්භාවය නිසා එසේ වූ බව පැවැසෙතත් මේ නිර්භීත සිංහලයාගේ අභීත භාවය හමුවේ ගහලයාගේ දෑත් වෙවුලා ගියේ යැයි සිතීම ද සමහර විටෙක නිවැරදි වනු ඇත.

ඇදහිය නොහැකි තරම් වූ දස්කම් ඇති මේ වීර චරිතය පිළිබදව තව දුරටත් පර්යේෂණ කරනු වස් එවකට එනම් 1818 වන විට මෙරට ආණ්ඩුකාර ධුරය දැරූ බ‍්‍රවුන්රිග් ගේ නියමයෙන් කැප්පෙටිපොල දිසාවගේ ගසා දැමූ හිස එඩින්ග්බරෝ සරසවියේ කපාල විද්‍යා පර්යේෂණ අංශය වෙත ගෙන ගිය බව සඳහන් වේ.

කැප්පෙටිපොල දිසාවගේ ඇති නිර්භීත භාවය බුද්ධිය මෙන්ම භාෂා ශාස්ත‍්‍රයන්හි පරිණතභාවය ට හේතු වූයේ ඔහුගේ මොළයේ ඇති අසාමාන්‍ය හා සුවිශේෂී පිහිටීම බව එහි පර්යේෂණයන්හි නියැළුණු විද්‍යාඥයෝ සඳහන් කළහ.

එඩින්ග්බරෝ සරසවියේ තිබු කැප්පෙටිපොල විරුවාගේ හිස් කබල අපට යළි ලැබෙන්නේ 1948 දීය. එය දළදා මාලිගාවේ තැන්පත් කර ඇත. පසු කාලීනව එනම් 1974 දි මහ මළුවේ තැනුණු ස්මාරකයක එම හිස තැන්පත් කරනු ලැබු අතර අදත් එහි තැන්පත් කර තිබේ.

එහෙත් දළදා සමිඳුන් වැඳ  පුදා ගන්නා අති බහුතරයක් දෙනා එහි කැප්පෙටිපොල විරුවාගේ හිස තැන්පත් කළ ස්මාරකය ඇතැයි දන්නේ නැත. දන්නේ නම් බොහෝ දෙනා එහි ගොස් ඔහුටද උපහාර පුදන්නට පැකිලෙන්නේ ද නැත.

අධිරාජ්‍යවාදින්ට එරෙහිව සටන් කළ ජාතික වීරයින් මෙන්ම රට දැය සමය වෙනුවෙන් සටන් වැදුණු ජාතික වීරයින් රැුසක් අපේ ඉතිහාසයේ සිටිති. ඔවුහු සමරන්නට ඔවුන් ගැන අධ්‍යයනය  කරන්නට තැනක් රටට නැත. ජාතික වීරයින් වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදි කිරීම ජාතික අවශ්‍යතාවයකි. එය ඉටු කරන්නට නොහැකියාවක් නොමැත. බන්ධනාගාරය ඉවත් කරනු  ලැබූ බෝගම්බර ගොඩනැගිලි මේ සඳහා ඉතා සුදුසු තැනකි. එතැන නැතත් කොතැනක හෝ මේ විරුවන් සමරන්නට කෞතුකාගාරයක් ඉදිකෙරෙන්නේ නම් එය මේ විරුවන්ට කෙරෙන ගෞරවයකි. එමෙන්ම අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන ආයෝජනයකි.