කොළඹ වරායට ඉන්ධන නැවක් පැමිණීම මාධ්‍යයට ප්‍රබල පුවතක් වන තරමට තෙල් හිඟය උග්‍රය. වෙනදා තෙල් නැව් ආවාද ගෑස් නැව් ආවාද කියා ජනතාව දන්නේ නැත. ඔවුන්ට ඒ ගැන සොයන්නට වුවමනාවක් තිබුණේද නැත. ඒත් අද රට වැටී තිබෙන තත්ත්වයේ හැටියට කොළඹට තෙල් නැවක් පැමිණීම සකල ජනයාගේ චිත්ත ප්‍රීතිය දනවන පුවතකි. රටේ ආර්ථිකය මේ තත්ත්වයට ගරාවැටීම ගැන ජනතාව සිටින්නේ කෝපයෙනි. මෙරට සිටින සාමාන්‍ය ජනතාව මෙන්ම වෘත්තිකයන්ද ඉන්ධන පෝලිම්වල සිටිමින් ප්‍රකාශ කරන්නේ පැය ගණන් තෙල් පෝලිම්වල තපිමින් පාලකයන්ගේ අමන තීරණවල පව් ගෙවමින් සිටින බවයි. මෙවන් පාලකයන් සිටින රටක ඉපදීමත් පාපයක් බව ඔවුන් සඳහන් කරන්නේ දැඩි කෝපයෙනි.

තෙල් ගෑස් හා ඉන්ධන පෝලිම් දික්වන තරමට තත්ත්වය බැරෑරුම්ය. රාජ්‍ය සේවයට නිවාඩු දීම, පාසල් වසා දැමීම, ඉන්ධන පෝලිම්වලට දින තුනක් එන්නට එපා යැයි නිවේදන නිකුත් කිරීමෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. පවත්නා ආර්ථික අර්බුදය මධ්‍යයේ හිටපු අගමැතිවරයා ඉවත් කොට නව අගමැතිවරයෙක් සහ නව කැබිනට්ටුවක් පත් කෙරිණි. නව මහ බැංකු අධිපතිවරයෙක් සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙක්ද පැමිණියහ. දැනට මාස දෙකකට පමණ පෙර මෙකී නව මුහුණු පැමිණීමත් සමඟ රටේ තිබෙන ප්‍රශ්න ටික සමනය වේ යැයි ජනතාව බලාපොරොත්තු දැල්වූහ. එහෙත් එම අපේක්ෂාද සිහිනයක් වන ලකුණු පහළ වී තිබේ.

කොළඹ මෙන්ම පිට පළාත්වලද සැම තැනකම සැතපුම් ගණන් දිග තෙල් පෝලිම්ය. මේ කිසිදු පෝලිමක පැය හත අටක් රැඳී නොසිට ඉන්ධන ලබාගත නොහැක. සමහරු දින දෙක තුනක් රැය පහන් කළ අවස්ථාද වාර්තා විය. පාලකයන් යෙහෙන් වැජඹෙද්දී ජනතාව තවදුරටත් මෙලෙස විඳවිය යුතුද? එක්කෝ කළ හැකි දෙයක් කළ යුතුය. නැතිනම් නම්බු පිටින් ඉවත්වීම ගෞරවාන්විතය. ‘‘රස්නය පාලනය කළ නොහැකි නම් කුස්සියෙන් පිටවී යා යුතු යැයි’’ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් වරක් කරන ලද ප්‍රකාශය වත්මන් ආණ්ඩුවටද කදිමට ගැළපෙන බව සඳහන් කරනු වටී.

පවතින ආර්ථික සහ දේශපාලන වාතාවරණය තුළ ජනතාව නීතිය අතට ගනිමින් සිටින බවද පැහැදිලිය. ජනාධිපති කාර්යාලය වටා අරගලකරුවෝ නොනවතින අරගලයක යෙදී සිටිති. සතියකට අගනුවර උද්ඝෝෂණ හත අටක්වත් සිදුවේ. ඒ අතරතුර තෙල් පෝලිම්වල ජනතාව මාරාන්තික සටන්වලට පෙළඹී සිටිති. මේ දක්වා තෙල් පෝලිම්වල සිදුවූ මරණ ගණන 14ක් පමණය. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පාතාලයන් විසින් පාලනය කරනු ලබන තැනට නීතිය හා විධානය අඩාල වී ඇතැයි වාර්තා වෙයි. රටේ පාලනයක් තිබේද යන ප්‍රශ්නය අසන්නට වන තරමටම බොහෝ ක්ෂේත්‍ර අවුල් වී තිබේ. ආණ්ඩුව වහා විසඳිය යුතු ඉන්ධන හා ගෑස් ප්‍රශ්නය හමාරවන තෙක් මෙම ව්‍යසනකාරී තත්ත්වය පවතිනු ඇත. විදුලිය කප්පාදුවද මීට සමාන්තරව ක්‍රියාත්මක වෙයි. ආහාර සම්බන්ධව උද්ධමනකාරී තත්ත්වය (බඩු මිල ඉහළ යාමේ වේගය) ශීඝ්‍රගාමී ලෙස ඉදිරියට තල්ලු‍ වෙයි.

මේ තත්ත්වය තරමක් හෝ පාලනය කර ගනිමින් ජනතාවට සහන සැලසිය යුතු ආණ්ඩුව මෙහිදී කරන්නේ තව තවත් බදු පනවා ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමකි. ඒ අතර වගා කරගෙන ආහාර සපයා ගන්නා ලෙසද ආණ්ඩුව රටවැසියන්ට නිර්දේශ කරයි. ශ්‍රී ලාංකිකයන්ට වගා කර ආහාර සපයා ගන්න යැයි ආණ්ඩුව අමුතුවෙන් බණක් දේශනා කළ යුතු නැත. කෘෂි අංශය මේ තරම් ඉක්මනින් පිරිහී ගියේ රජයට හිතවත් බහුතරයක් මෙන්ම මැදහත් විද්වතුන් එපා කියද්දී ගනු ලැබූ රසායනික පොහොර තහනම් කිරීමේ අමනෝඥ තීරණය නිසාය.

දිනෙන් දින වාර්තා වන තොරතුරු අනුව සිදුව ඇති මේ මහා විපත්තිය කවදා නිමවේදැයි කිව නොහැක. සමහර දේශපාලන භවතුන් කියන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මේ සියලු‍ අර්බුදවලට තියෙන එකම විසඳුම බවය. එයද අපට නොතේරෙන අපභ්‍රංස කතාවකි. සාගින්නෙන් කුසීතව පීඩිතව කුපිත වී සිටින ජනතාවට ව්‍යවස්ථා යෝජනාවලින් පලක් ඇත්ද යන්න ඒ ගැන උනන්දු වන දේශපාලනඥයන් කල්පනා කළ යුතුය. ලංකාවේ දේශපාලනඥයන් කවදත් කළේ යන්නේ කොහිදැයි විමසූ විට මල්ලේ පොල් යැයි කියා පිළිතුරු දීමයි. තෙල් හිඟය උග්‍රය, ගෑස් නෑ, විදුලිය කැපෙනවා, එළවළු මාළු ගිනි ගණන් උද්ධමනය සියයට 45 කියමින් ජනතාව හඬ නගන විට දේශපාලනඥයන් කියන්නේ 21 වැනි සංශෝධනය ගැනයි. එමගින් මෙකී ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලැබේ නම් එය යහපතකි. එසේ නොවුණහොත් 225 අපට එපා යන සටන් පාඨය නැවතත් රැව් පිළිරැව් දෙනු ඇත.

(***)