වසන්තේ නිදාවුන්
යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ලපල්ලෙන්
වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

විලාපෙන් විඩාවී රැඳි මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුළාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබුයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපාවී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදාවූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදුවේ හේමන්ත කාලේ

ගායනය : විශාරද නන්දා මාලනී
ගේය පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : එච්.එම්. ජයවර්ධන

 

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ධිවනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද එච්.එම්. ජයවර්ධනයන්ගේ ප්‍රතිභාසමිපන්න සංගීතයෙන් ද නන්දා මාලනීයන්ගේ සුගායනීය ස්වර මාධුර්යෙන් ද සුරංජිත වූ මේ ගීතයේ සැබෑ අරුත කුමක් දැයි ⁣ අද  අපි ගී විනිස තුළින් සොයා බලමු.

දශක ගණනාවක් සහෘද රසික සිත් සතන් අමන්දානන්දයට පත්කළ මේ අපූරු ගීතයෙන් පමාවී පැමිණි වසන්තයකට පෙමි බඳින මැදිවියේ කාන්තාවකගේප්‍රේම ප්‍රහර්ෂය සුවිශද කරයි.
 මේ ගීතයේ කතානායිකාව මහලුවියේ තාරුණ්‍යය ගත කරන මැදිවියේ කාන්තාවකි. ඇය පමාවී ආ වසන්තයකට පෙමි බඳින්නීය. එහෙත් ඇයට වසන්තය හමුවන්නේ හේමන්ත කාලේදීය.

හේමන්ත යනු ශීත සෘතුවයි. ශීත කාලය වසන්ත සමය මෙන් නොව කටුකය. දුෂ්කරය. සමකයට ආසන්න රටක් වන අපේ රටේ සෘතු විපර්යාසයක් නැත. තරමක් හෝ ශීත කාලගුණයක් පවතිනුයේ උඳුවප් දුරුතු මාසවල පමණි. එහෙත් එංගලන්තය වැනි යුරෝපීය රටවලට සෘතු භේදය  තදින්ම බලපාන බව අපි දනිමු.

ඔවුන්ට සෘතු සතරකි. spring (වසන්තය) Autumn (සරත් ) winter (ශීත) සහ summer (ගිම්හාන) යනුවෙන් ඒවා හැඳින්වේ.

වසන්ත කාලයට තුරු අතු අග මල් පුබුදමින් ඵල දරති. හරියට අපගේ සිංහල ⁣අලුත් අවුරුදු කාලය  මෙනි. සරත් සමය උදාවෙත්ම ගහ කොළ මැලවී තුරුපත් හැළී යයි. ශීත කාලය වඩාත් අමිහිරිය. කටුකය. මුළු පරිසරයම හිමෙන් වැසී ගොස්ය. ගිම්හානය කාලයේදී අධික රශ්මියෙන් හිරු තාපයෙන් සියල්ල දැවී හළුවී යයි. මේ වූ කලී සොබාදහමේ අපූරු දායාද නොවේද?

ප්‍රේමය වූ කලී සදාකාලික තාරුණ්‍යයයි.

ප්‍රංශයේ මහා ගත්කරු වික්ටර් හියුගෝ වරක් තාරුණ්‍ය යපිළිබඳ අපූරු විග්‍රහයක් කළේය.
Forty is the old age of youth. Fifty is the youth of old age. (අවුරුදු හතළිය තාරුණ්‍යයේ මහලුවියයි. අවුරුදු පනහ මහලුවියේ තාරුණ්‍යයයි ) වික්ටර් හියුගෝට අනුව මිනිසාගේ තාරුණ්‍ය අවුරුදු හතළියේදී අවසන් වේ. අවුරුදු පනහේදී එළැඹෙනුයේ මහලුවියේ තාරුණ්‍යය හෙවත් ප්‍රඥා දශකයයි. මේ ගීතයට විෂය වන්නේ ද මෙවැනි අත්දැකීමකි.⁣

භදු යෞවනයේදී උදානොවූ වසන්තය ඇයට උදාවන්නේ ශීත සෘතුව හෙවත් හේමන්ත කාලයේදීය. කාලය ගතවිය. අයාලේ ගිය වලාවක් බඳු ජීවිතයට වසන්තය ගෙනාවේ ඔබය. නිසි කලදී ජීවිතයට වසන්තය උදාකරගත්තෝ වාසනාවන්තයෝය. එහෙත් ඇතැමුන්ට වසන්තය උදාවන්නේ මධ්‍යම යාමයේදීය.

වසන්තේ නිදාවුන්
යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙමි ගීත හේමන්තයේදී
වසන්තේ ලපල්ලෙන්
වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

ගැහැනියකට ප්‍රේමය මහමෙර තරමි වටී. එහෙත් අප ජීවත්වන වත්මන් සමාජයේ නිර්ව්‍යාජ නිර්මල ප්‍රේමය කෙනකුට හමුවන්නේ කලාතුරකිනි. රැවටිලිකාර සමාජයක ස්ත්‍රි -පුරුෂ ප්‍රේමය මායාවකි.

මේ යුවතිය ද ඇගේ ⁣හිරිමල් යෞවනය ගෙවා දැමූවේ නිද්‍රාශීලිවය. සාමාන්‍යයෙන් කෙවිළියන් ගී ගයන්නේ වසන්ත සමයේදීය.

එහෙත් මේ කෙවිළිය  නිදි දැහැන් බිඳ සුපෙමි ගීත ගයන්නේ ශීත සෘතුව හෙවත් හේමන්ත කාලයේදීය .මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගීතයට අපූර්වත්වය මතු කරන්නෙ ද හේමන්තය නමැති පද යෙදුමෙනි. ශීත සමයේදී හිමෙන් වැසී යන මල් ⁣වසන්තයේදී මෙන් පිපී ලෙළදෙයි.

මේ නම් කුමන විකාරරූපී සිතුවිල්ලක් දැයි ඇතමකුට සිතිය හැකිය. 

එහෙත් ලෝකයේ මෙබඳු ප්‍රේමයන් අනන්තවත් ඇත. යෞවනයේදී  උදාකර ගැනීමට නොහැකි වූ වසන්තය අවුරුදු පනහේදී හෝ ඔවුහු උදාකර ගනිති. ලතින් ඇමෙරිකානු ලේඛක ගබිරියෙල් ගර්ෂියා මාර්කේස්ගේ "කොලරා කාලේ ආලේ" (Love in the time of cholera) නමැති අපූරු ප්‍රබන්ධ ප්‍රේම වෘත්තාන්තයේදී ද අපට මෙබඳු ප්‍රේමවතුන් යුවළක් හමුවේ. එම නවකතාවේ පෙම්වතාට තම පෙමිවතිය මුණගැසීමට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ 11 ක් බලාඉන්නට සිදුවිය.

හැට පැන්න මිත්තණියකගේ දත් හැළුණු රැලි වැටුණු මුහුණ දකින්නට ඔහු පෙරුමි පිරුවේ ප්‍රේමය  නිසාය. කවදා ආලය කළත් කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වෙි.

විලාපෙන් විඩාවී රැඳි මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුළාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබුයේ හේමන්ත කාලේ

ප්‍රේමය විවාහයෙන් කෙළවර විය යුතුයැයි ඇතමෙක් සිතති. එහෙත් අවංක ස්ත්‍රියකට ගුණවත් පුරුෂයකු ලැබුණ ද මේ දුෂ්ට සමාජයේ  සතුටින් ජීවත්විය නොහැකිය.

නා නා අශීලාචාර බාධක හිරිහැරවලට ඔවුහු ගොදුරු වෙති. මේ යුවතිය ද තම පෙම්වතා හමුවනතුරු එබඳු අතෝරයන්ට මුහුණපා ඇති බව පුර්වෝක්ත පද පෙළෙන් ගම්‍යවේ.
 
වාලාවක් ලෙසින් අයාලේ ඇදුණු ඇයට ලෝකය දකින්නට නෙත් පෑදුවේ ඔහු නොවේද? දැන් ගෙවී යන්නේ හේමන්ත කාලය වූව ද ඇයට මේ ප්‍රේමයෙන්  ඔහු උදාකරදී ඇත්තේ වසන්තයයි.

 

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපාවී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදාවූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදුවේ හේමන්ත කාලේ

මේ පද පෙළෙන් හැඟවෙන්නේ⁣ ජීවිතයේ මධ්‍යම යාමයේ ප්‍රේමයෙන් වෙළුණු ඇයට තම ප්‍රේමවන්තයා ගැන උපදින සිතුවිලි උත්කර්ෂයයි. වේදනාවෙන්,මානසික පීඩයෙන් තනිව විසු ඇයට ජීවිතේ සියල්ල එපාවී පලා ආ මොහොතක අවසානයේදී ඔහු හමුවිය.

"තුෂාරෙන් උදාවූ සඳක් සේ නිශාවේ" යන්නෙන්  පෙමිවතිය තුළ පෙමිවතා කෙරෙහි උපන් භක්ත්‍යාදරය ප්‍රකට වෙයි. ඇය තම පෙමිවතා දකින්නේ නිශා යාමයේ පිනි බිඳුවකින් උදාවූ සඳක් ලෙසය.  කර්කෂ අමිහිරි ශීත සෘතුවෙන් බැටකෑ මේ අහිංසකාවියට දැන් පෙමිවතාගේ ආගමනයෙන් ජීවිතය දකින්න, විඳින්න අලුත් කවුඵවක් විවර වී ඇත.


විවරණය - ශෂී ප්‍රභාත් රණසිංහ