නිව් යෝර්ක් හි පෙඩරල් අධිකරණයක, ශ්‍රී ලංකාවට විරුද්ධව නඩුවක් ගොනුකර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 250 ගෙවීම පැහැර හැර ඇති අතර වහාම එම ණය සහ පොලිය අය කරදෙන දෙන ලෙස පැමිණිලිකාර හැමිල්ටන් බැංකුව ඉල්ලා තිබේ. සංකීර්ණ ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව ණය ගෙවා ගත නොහැකි බව ප්‍රකාශයට පත් කර ඇත. එය පහසු තීන්දුවක් නොවේ. ලෙසාඩ් සහ ක්ලිෆර්ඩ් යන ජාත්‍යන්තර සමාගම් දෙකක් ණයකරුවන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර ක්‍රමානුකූල ආපසු ගෙවීමකට සැලැස්මක් සකස් කරන බව අනාවරණය වෙයි. කලින් ලබාගත් ණය ගෙවාගත නොහැකිව සිටින අතරවාරයේ ඉන්දියාවෙන් ණය පහසුකම් ලබාගන්නා ශ්‍රී ලංකාව ජපානය ඇතුළු රටවලින් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද තවත් වටයකින් ණය ගැනීමට සූදානම්ව සිටී.

ණය ගැනීම වරදක් නොවේ. ගන්නා ණය ආපසු ගෙවිය හැකි පරිදි ආයෝජනය කළ යුතුය. වාණිජ බැංකුවකින් ණය ගන්නා අප සියලුම දෙනා මුදල අතට ගන්නා තෙක් ඒවායේ කොන්දේසිවලට යටත්ය. සල්ලි අතට ලැබුණ පසු ඒවා වැය කරන්නේ අපට රිසි පරිදිය. ආදායම් උපයන දේ සඳහා නොවේ. ණයට ගන්නා ධනය අවසන් වූ පසු වාරිකය ගෙවාගත නොහැකිව අසරණභාවයට පත්වේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද එවැනි තැනකය. අත්‍යවශ්‍ය දේ ගෙන්වා ගැනීමට පවා විනිමය නැත. ණයවර ලිපි පවා විශ්වාස නොකරන තැනට පත්ව ඇති බව වාර්තා වෙයි. ජන ජීවිතය අඩාල වන පසුබිම මත පාලකයන්ට දෝෂාරෝපණ එල්ල වෙයි. පාලකයා වෙනස් කිරීමෙන් ගැටලුව විසඳෙන්නේ නැත. ධනය උත්පාදනය කරන, ආර්ථිකය මෙහෙයවන ක්‍රමවත් සැලැස්මක් රටට අවශ්‍යය.

ඉසිලිය නොහැකි ණය බර වර්ධනය වූ හැටි

රට මුහුණ පා සිටින ණය අර්බුදය එක දවසකින් සිදුවූ දෙයක් නොවේ. එක ආණ්ඩුවක, එක පුද්ගලයකු වෙත ඇඟිල්ල දිගු කළ නොහැක. දශක හතක්, එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති, ඒවායේ කළමනාකරණ දුර්වලතා අද සිටින තැනට ශ්‍රී ලංකාව ඇද දමා තිබේ. ආගාධය කරා ගමන් කරන බව මෑත කාලයේ දී පැහැදිලිව පෙනිණි. ආර්ථික විශේෂඥයෝ නොයෙක් පැතිවලින් අනතුරු ඇඟවූහ. බලයට පත් වූ ආණ්ඩු විසඳුම් සොයන්නට උත්සාහ නොකළා නොවේ. නිශ්චිත තීරණ ගත්තේ නැත. නියපොත්තෙන් කඩන්නට හැකියාව තිබිය දී එය පොරවෙන් ද කපන්නට බැරි තැනට පත්ව ඇත. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ද එවැනි ඉතිහාසයක් තිබුණි. සුළු ගැටුම් අවසානයේ දී මරාගෙන මැරෙන යුද්ධයක් දක්වා පෙළ ගැසිණ. වසර තිහක් මහා විනාශයක් ඇති කළේය. ආර්ථික අර්බුදය සතියකින්, දෙකකින් නොඑසේනම් එක ආණ්ඩුවක කාලයක් ඇතුළත විසඳිය නොහැකි තැනට පත්ව හමාරය. විශාල ආර්ථික සංග්‍රාමයක් කළ යුතුව ඇත.

ත්‍රස්තවාදය පරදවන ලද හා සමාන කැපවීමක් සමාජයෙන් අපේක්ෂා කළ යුතුව තිබේ. ඉවසීමක්, සමාජ එකමුතුවක් රහිත අවස්ථාවක දැනට ඇති ණය බරින් ගැලවී සමෘද්ධිය ඇති කරගත නොහැක.

ණය බර කොටස් දෙකකි. එකක් දේශීය ණය වන අතර භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් ඒවා ලබාගෙන ඇත. අනෙක විදේශීය ණය වන අතර රටවල් වලින්, ජාත්‍යන්තර සංවිධානවලින් පමණක් නොව විදේශ වෙළඳ පොළෙන් වාණිජ පදනමකින් ද ලබාගෙන තිබේ. රටවල් හා සංවිධාන වල ණය අඩු පොලියක් හා ආපසු ගෙවීමට දිග කාලයක් ඇත. ජාත්‍යන්තර සම්බන්ධතා අනුව ඒවායේ හැඩතල සුමටය. වාණිජ ණය දරුණුය. රාජ්‍ය තාන්ත්‍රික හා ආයතනික මට්ටමින් ලබාගත් ණය වලට වාර්ෂික පොලිය සියයට එකක් දෙකක් අතරවන විට වාණිජ ණය පොලිය සියයට හත දක්වා විශාලය. කෙටි සහ මධ්‍ය කාලීන වශයෙන් ණය ලබා ගෙන තිබේ.

පෙඩරල් අධිකරණයේ නඩු පවරන්නේ කෙටි කාලීනව පියැවිය යුතුව තිබුණ වාණිජ ණය මුදලක් සම්බන්ධවය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සලකනවිට එයින් සියයට හතලිහක් කෙටිකාලීන, වාණිජ ණය බව පෙනේ. 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් සහ ලබන වසරේ තවත් ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් ආපසු ගෙවීම සඳහා ඇති බව දැක්වේ. සංවර්ධන කටයුතු, ආනයන අවශ්‍යතා සහ ලබාගත් ණය ආපසු ගෙවන්නට ණය ගෙන ඇත. විදේශීය ණය සම්පූර්ණ එකතුව ඇමරිකානු ඩොලර් බිලියන පනස් දෙකකි. පසුගිය වසර දහයකට අධික කාලයක් තිස්සේ ආනයන හා අපනයන අතර පරතරය ඇමරිකානු ඩොලර් බිලියන දහය ඉක්මවා තිබුණි. බිලියන දහයක අපනයනය කරන අතර බිලියන විස්ස ඉක්මවන ආනයන සහිත රටක් පවත්වාගෙන යා නොහැක. මොනවා හෝ නිපදවා අපනයන ආදායම වැඩි කළ යුතුව තිබුණි. අපනයනය ආදායම තරකර ගැනීමට කිසිම ආධාරයක් නොකරන ලද සමාජය ද වත්මන් ඉරණමෙහි කොටස්කරුවන් බව සඳහන් කළ යුතුය.

 

චක්‍රීය ණය ව්‍යුහය බිඳ වැටීමෙන් අනතුරකට

ණය ගෙවන්නට ණය ගන්නා අතරවාරයේ ලැබෙන සුළු විනිමය ප්‍රමාණයෙන් ආර්ථිකය ගැට ගසා ගෙන යන පියවරක් පසුගිය කාලයේ අනුගමනය කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිදුවූ සංචාරක කර්මාන්තයේ කඩා වැටීම සහ එයින් ඉනික්බිතිව සිදු වූ කොවිඩ් වසංගත තත්ත්වය රටට විනිමය ලැබුණ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර කළේය. ඡන්ද දිනන්නට රට තුළ වගා කළ නරක අදහස් ද විශාල වශයෙන් වගකිව යුතුව තිබේ. මුළු ලෝකයම පිළිගන්නා ආයෝජන ක්‍රම ප්‍රතික්ෂේප කරන මතවාදයක් රට තුළ ඇති කරන ලද බව මතක් කළ යුතුය. බංගලාදේශය, වියට්නාමය, මැලේසියාව වැනි රටවලට එන තරමට ආයෝජන ගෙන්වා ගන්නට අපට වුවමනාවක් නොතිබුණි. රටේ සම්පත් ඩැහැ ගැනීමට එන කූට ජාවාරම්කාරයන් වශයෙන් ආයෝජකයන් අර්ථ දක්වන ලද අතර වෙළඳපොළ නිර්මාණය කරගැනීම අරමුණු කරගෙන, ඉතාම සහනදායී ලෙස රටවල් හරහා කරන ආයෝජන ඉතාම පටු තීරණ මත පලවා හැරියේය. මිලේනියම් චැලේන්ජ් අරමුදලෙන් ලැබුණ ආධාර ප්‍රතික්ෂේප කරන ලද ශ්‍රී ලංකාව දැන් ඇමරිකාවෙන් එන විශේෂ නියෝජිතයෝ ඉමහත් කරුණාවෙන් පිළිගනිති.

ජපානයෙන් ලැබුණ සැහැල්ලු දුම්රිය, වරාය ආයෝජනය පලවා හැරි අතර දැන් ජපානයෙන් ආධාර දෙන තෙක් බලා සිටිති. විනිමය උපයාගත හැකි මාර්ග වශයෙන් සංවර්ධනය කළ හැකිව තිබුණ යුරෝපා හවුලේ සහන බලහත්කාරකම් සේ සලකා විසුළු කළහ. මැද පෙරදිග රටවල් අමනාප කරගන්නට කොවිඩ් මෘතදේහ සම්බන්ධ තද නීති ඉවහල් වූ බව ද මතක් කළ යුතුය. මේවායේ සහාය රටාවකට පවත්වාගෙන යා හැකිය තිබුණ පසුබිමක චක්‍රීය ණය සබඳතාව අඛණ්ඩව සිදුවන අතර අද පවතින තරමට ගිලා බසින්නේ නැත.

මුලින් දක්වන ලද කරුණු ශ්‍රී ලංකාවේ ණය අවදානමට හේතු වූ අතර අර්බුදයක අවදානම ගැන ජාත්‍යන්තර සංවිධාන අනතුරු අඟවන ලදී. ආණ්ඩුවත් විපක්ෂ දේශපාලනයත් ඒවා නොසලකා හැරියේ උද්දච්චකාමයෙකින්ය. මුල්‍ය අරමුදල සමග සබඳතාවකට යන මාර්ගය ඉතා දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ මුහුණ දී ඇති තත්ත්වය පහසුවක් සේ සලකමින් බව ද පෙන්වා දිය යුතු කරුණකි. මේවා අවාසියට බලපාන ලද අතර දැනට වාර්තා වී ඇති පරිදි ලෝකයේ තවත් රටවල් හැත්තෑවක් හා සමානව බරපතළ ණය අර්බුදයකට ගොදුරු වී සිටී.

මෙම වසර ඇරඹෙන විට ලෝකයේ ණය බර ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 330 ක සීමාවක පවතින බව ලෝක ණය වාර්තාව කියයි. කලින් වසරට වඩා ට්‍රිලියන 72 ක වැඩිවීමකි. මෙම ණය දියුණුවෙමින් පැවැති රටවලට වඩාත් හිසරදයක් වූ අතර එම රටවල අධ්‍යාපන, සෞඛ්‍ය හා නිෂ්පාදන වැඩපිළිවෙළ අඩාල කර ඇත. දියුණු වෙමින් පවතින රටවල් අතරින් සියයට හැටකට නිසි කාලයේ දී ණය ආපසු ගෙවීම කළ නොහැකි විය. දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 350 ක් දක්වා වෙනිසියුලාවේ ණය බර ඉහළ ගිය අතර ජපානයේ සියයට 266 ක්, සුඩාන් සියයට 259 ක්, ග්‍රීසිය සියයට 206 ක් හා ලෙබනන් සියයට 172 ක් වශයෙන් සටහන් විය.

 

ගෝලීයකරණයේ දී ණය ප්‍රාග්ධන අවශ්‍යතාවකි

ගැටුම් හා කැළඹිලි සහිත රටවල ණය බර වටහා ගත හැකි නමුත් ජපානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය පවා විශාල ණය ප්‍රමාණයකින් පීඩා විඳින රටවල්ය. ඇමරිකානු ආණ්ඩුව ට්‍රිලියන තිහකට වැඩි ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර වැඩිම කොටසක් ජපානයෙන් හා චීනයෙන් ගෙන ඇත. බ්‍රිතාන්‍ය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට අසූ හයකට වඩා ණය බර ඇති රටකි. වැඩිම ප්‍රමාණයක් යුරෝපා සංගමයෙන් ලබාගෙන ඇති බව දැක්වේ.

ශ්‍රී ලංකාවට වැඩිම ආධාර ප්‍රමාණයක් දෙන ඉන්දියාව 2021 මාර්තු අවසන්වන විට ඇමරිකානු ඩොලර් බිලියන 570 ක් ණය ගැති රටක් විය. එයින් සියයට 34.7 ක් වාණිජ ණය බව දැක්වේ. ශ්‍රී ලංකාවේ සියයට හතලිහක වාණිජ ණය හා සමග සලකන විට වෙනසක් නැත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමාජ ආර්ථික සබඳතාවල නව යුගයක් ඉකුත් මාස හය තුළ ඇති කරන ලද අතර එය නොයෙක් විරෝධතා මැද එහි පත් කළ මිලින්ද මොරගොඩ මහතා ගේ පරිශ්‍රමයෙක ප්‍රතිඵලයකි. තමන් ද ණයගැති භාවයක සිටින අතරවාරයේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස විශේෂ අවධානයක් යොමු කළේය. ජාත්‍යන්තර ණය සීමාව ඉක්මවා වර්ධනය වන අතරවායේ ඉන්දියාව වහාම සිය ජාතික ප්‍රතිපත්ති වෙනස් කළේය. පෞද්ගලීකරණ සැලැස්මක් ක්‍රියාවට නැංවීය. එයාර් ඉන්දියා ගුවන් සේවය, ජාතික රක්ෂණය ඇතුළු විශාල පදාසයක පෞද්ගලිකරණයක් මගින් විශාල ධනයක් ජාතික ආර්ථිකයට එකතු කරගනු ලැබිණ. එය කළමනාකරණයෙහි හා දේශපාලන දැක්මෙහි සමර්ථ භාවයකි. අපට කරගත නොහැකි වූයේ එයයි.

ශ්‍රී ලංකාවට ද ණය බරින් ගැලවිය යුතුව ඇති අතර සංවර්ධන අවශ්‍යතාව සාක්ෂාත් කරගත යුතුව තිබේ. මිතුරු වෙසින් ලැබෙන ණයක් පවා ආපසු ගෙවිය යුතුය. එය මතු පරපුරට ඇති කරන මහත් බරකි. ණය ගෙවන්නට හැකි වන පරිදි විනිමය උත්පාදන සැලැස්මක් සකස් කළ යුතුව ඇත. එය ගෝඨා රනිල් ආණ්ඩුවෙන් නොකළහොත් එයට වඩා විශාල බරක් සහිතව ඊළඟට බලයට පත්වන ආණ්ඩුවට පැවැරෙන වගකීමකි. ඉදිරි මැතිවරණයකින් බලයට එන්නට තනන දේශපාලන පක්ෂ, අද සිටින බළලුන් ලවා කොස් ඇට බාවාගත යුතුව තිබේ. නැවත වතාවක් නැගෙන්නට නොහැකි තරමට පිරිහී ඇති වත්මන් ආණ්ඩුව රටට සේවයක් කර සිය වාරය අවසන් කළ යුතුව ඇත. රටට ආයෝජන කැඳවා, විශාල විනිමය ප්‍රමාණයක් උත්පාදනය කරන වැඩ පිළිවෙළක් ඇති කිරීම ඒකායන ප්‍රාර්ථනය විය යුතුය. දැන් ඇති ගමන එලෙසම සැහැල්ලුවෙන් තබා ජාතික සම්පත් ආරක්ෂා කරගෙන විජාතික බලවේගවලට හසුනොවන බව මුරගා ප්‍රකාශ කර වාරය අවසන් කිරීමෙන් රටට හෝ ජාතියට කිසිම ප්‍රයෝජනයක් අත් වෙන්නේ නැත.

 

නිර්භීත භාවයෙන් විදේශ ණය අහෝසි කෙරේ

විදේශ ණය ගැන සොයන්නට ජාත්‍යන්තර සහාය ගන්නා ආණ්ඩුව ඒ සඳහා විශාල ගෙවීමක් කරන්නට සූදානම්ය. දේශීය ණය ගැන ද පුළුල් අවධානයක් අවශ්‍යය. බැඳුම්කර හා බිල්පත් වශයෙන් වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ප්‍රසාරණය වන බුබුලකි. මෙම ණය සහ පොලිය ගෙවන්නට මුදල් අච්චු ගැසීම උද්ධමනය ඉහළ යන හේතුවකි. ඉතිහාසයේ වැඩිම උද්ධමන අනුපාතිකය කරා ළඟා වීම දේශීය ණය බර හේතුවක් වී තිබේ. ප්‍රතිසංස්කරණයක් නොකළහොත් අභ්‍යන්තර අවදානමක් ඇති වන අතර එය විදේශීය තෙරපුමට වඩා භයානක එකක් වනු ඇති බව සඳහන් කළ යුතුය. ණය සහිත බැංකු පද්ධතිය අවදානමකින් තොරව පවත්වාගෙන යෑම සමාජ සුගතියට හේතුවකි. තව තවත් ණය ගන්නට සිදුවන තරමට රට තුළ ආදායම පිරිහී තිබේ. මුල්‍ය අරමුදල එය පෙන්වා දී ඇත. ඔවුන්ගේ නියමය පරිදි කරන බදු සංශෝධන රටට තවත් වටයකින් පීඩනයක් එල්ල කරනු ඇත. එය දේශපාලන අස්ථාවර භාවය තවත් නංවන හේතුවකි.

මෙම තීරණාත්මක අවස්ථාවේ දී ණය බර ගැන සලකා බලන ආණ්ඩුව තද තීරණවලට යා යුතුය. එක පැත්තකින් දේශපාලනයට බලපෑම් කරන අරගලකරුවන් සහ සමාජ මාධ්‍ය ව්‍යුහයට විශාල වගකීමක් තිබේ. ජනමාධ්‍ය ආර්ථිකය නංවන ප්‍රතිපත්ති වලට වගකීමකින් ඉඩ දිය යුතුව ඇත. රට විකුණන, වෙන්දේසි කරන වැනි පටු විවේචන වලින් පලක් නැත. ශ්‍රී ලංකාවේ සමාජ ස්ථාවරභාවය ගොඩනගා ගැනීම ඉතාම වැදගත්ය. අධ්‍යාපනය, සෞඛ්‍ය, විදේශ ගනුදෙනු සඳහා ජාත්‍යන්තරය සමග සම්බන්ධවිය යුතු තරම ගාලුමුවදොර අරගලයේ කොටස්කරුවන් නොදන්නවා නොවේ. විරුද්ධ මතධාරී දේශපාලනඥයන් ද, අරගලකරුවන් ද මෙම තීරණාත්මක අවස්ථාවේ දී අනාගතය ගැන පුළුල් අවධානය යොමු කිරීම සුදුසුය. විනිමය උත්පාදනය කළ හැකි අංශ යෝජනා කළ යුතුය. සංචාරකයන්ට ඉඩ නොදෙන, ආයෝජන අවහිර කරන, මුල්‍ය අරමුදල හරවා යවන හෝ ඉන්දියාව, ජපානය, ඇමරිකාව සහ චීනය ඇතුළු රටවල් සහයෝගීතාව ප්‍රතික්ෂේප කිරීමෙන් රටට ගමනක් නැත. ණයවලින් ද, ආර්ථිකයෙන් ද වෙළඳාමෙන් ද ලෝක ප්‍රජාව ගැට ගැසී තිබේ. ඒවායෙන් ගැලවී පැවැත්මක් නැත.

(*** සාරා කන්දෙගොඩ)