හාල් සේරුවේ ප‍්‍රශ්නයක් නිරාකරණය කර ගැනීම අරභයා 1953 වර්ෂයේ අගෝස්තු මස 12 වැනි දින ශ්‍රී ලංකාවේ ප‍්‍රථමවරට ප‍්‍රකාශයට පත් කරන ලද හදිසි නීති තත්ත්වය එතැන් සිට 2011 වර්ෂයේ අගෝස්තු මස 26 වැනිදා දක්වා පුරා වර්ෂ පනස් හතක් (57) කඩින් කඩ, විටින් විට සාමාන්‍යකරණයට ලක්වූ විශේෂිත නීතියක් ලෙස අර්ථ දැක්විය හැකිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වීම ආරම්භ වන තෙක් බලපැවැත්වූ සංශෝධිත මහජන ආරක්‍ෂක ආඥාපනත, පාර්ලිමේන්තුව විසින් පනවන ලද පනතක් සේ සැළකෙන අතර, එම පනතේ ප‍්‍රතිපාදන මත පැනවෙන යම් නීතියක, විධි විධාන යටපත් කිරීමේ, සංශෝධනය කිරීමේ හෝ විධි විධාන ක‍්‍රියාත්මක වීම අත්හිටුවීමේ නෛතික බලය සහිත ”හදිසි නීතිය” හෙවත් හදිසි අවස්ථා නියෝග සෑදීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන බව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 155 මහජන ආරක්‍ෂාව යන හිසින් යුත් පරිච්ඡේදයේ පැහැදිලි ලෙසම දක්වා තිබේ. එහි තවදුරටත් දැක්වෙන පරිදි එසේ පැනවෙන හදිසි නීතිය අවසන් කිරීමට අවශ්‍ය නම් එයද යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. හදිසි නීතිය තවදුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් එම යෝජනාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට දින 14 ක් ඉක්ම යෑමට ප‍්‍රථම සභා සම්මත කරගත යුතු අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් නිරායාසයෙන්ම එය නිර්බල වීම, නැතහොත් අහෝසි වෙයි. ඒ අනුව වර්ෂ 60 ආසන්න කාලයක්, වරින් වර පනවමින් හා ඉවත් කරමින් රටතුළ ක‍්‍රියාත්මක වූ හදිසි අවස්ථා රෙගුලාසි මුලූමනින්ම අහෝසි කරන බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ පසුගිය සිකුරාදා (26* ප‍්‍රකාශ කළේය. මෙම ප‍්‍රකාශයෙන් අනතුරුව නැවත පාර්ලිමේන්තුව රැුස්වීමට නියමිත සැප්තැම්බර් 05 වැනි දින හදිසි නීතිය යළි දීර්ඝ කරලීමේ යෝජනාවක් සභා සම්මත නොවුනු ඇති බවට විශ්වාස කෙරෙන අතර එතැන් සිට, යළිත් ශ්‍රී ලාංකේය රට වැසියන්ට සිවිල් නීතිය යටතේ ජීවත්වීමේ සහ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු වනු ඇත යන්න පොදු සමාජයේ ඒකායන ප‍්‍රාර්ථනය වේ. හදිසි නීතියෙන් තොර සිවිල් සමාජය හදිසි නීතියෙන් තොර රටක සිවිල් සමාජය යනු සියලූ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් භුක්ති විඳින අභිමානනීය වර්තමානයකට හිමිකම් කියන ජන කොට්ඨාශයකටැයි කිසිවෙකු සිතන්නේ නම් එය පූර්ණ සත්‍යයක් නොවන බව, අකැමැත්තෙන් වුවද අපට පිළිගැනීමට සිදුවේ. නමුත්, පුරා පනස්හත් වසරකි. කඩින් කඩ නැතහොත්, දීර්ඝ ලෙස අහෝසි වෙමින් තිබූ ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ මූලික අයිතිවාසිකම් බොහොමයක් සාමාන්‍ය සිවිල් නීතිය යටතේ යළිත් ප‍්‍රතිස්ඨාපනය වීම නොවැළැක්විය හැක්කකි. ඒ අතුරින් ප‍්‍රධාන ලෙසම ලිවීමේ හා කතා කිරීමේ නිදහස, පුවත්පත් නැතහොත් මාධ්‍ය නිදහස, සේවා අයිතිවාසිකම් දිනා ගැනීමේ නිදහස, ඒ සඳහා අරගල කිරීමේ අයිතිය, (වැඩ වර්ජන, උද්ඝෝෂණ, පා ගමන්, මහජන රැළි) මෙන්ම තමන් කැමැති දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන් පෙනී සිටීම, එම මතය දැරීම, ඒ වෙනුවෙන් ලිබීම, කතා කිරීම වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සියල්ල දැක්විය හැකිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි අනු ව්‍යවස්ථාවෙන් දක්වා ඇති මෙම මූලික අයිතිවාසිකම් එකක් හෝ සිවිල් නීතිය තුළ කඩවන්නේ නම්, එසේ කඩවන බව තහවුරු කළ හැකි සාධක ඇත්නම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 126, අනු ව්‍යවස්ථාවේ සඳහන් ක‍්‍රමවේද අනුගමනය කරමිනි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ අවස්ථාව දැන් පුරවැසියන්ට හිමිව තිබේ. හදිසි නීතියත් සමගම සමාන්‍ය ජන ජීවිතයට කාන්දුවී තිබූ හදිසි වැටලීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට පත්වන්නේය යන බියද සිවිල් නීතිය සමාජගත වීමත් සමඟ මුළුමනින්ම පහව යනු ඇත. ඒ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාම නිදහසේ ගමන් බිමන් යෑමටත් අලූත ලියාපදිංචි වීමකින් තොරව. පදිංචිය වෙනස් කිරීමට හා කැමැති තැනක ජීවත් වීමටත් පුද්ගලයන්ට හිමිව ඇති මූලික අයිතීන් සියල්ල සිවිල් නීතිය තුළ යළිත් තහවුරු වන බැවිනි. සිවිල් නීතිය තුළදී පොලීසිය විසින් සිදු කරනු ලබන කවර හෝ අත්අඩංගුවට ගැනීමකි. සෝදිසි කිරීමක් හෝ වැටලීමක් සඳහා අධිකරණයකින් ලබාගන්නා වරෙන්තු සහතිකයක තිබිය යුතුවේ. එවැන්නකට පැමිණෙන පොලිස් නිලධාරීන්ගෙන් එම සෝදිසි වරෙන්තුව හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු පත‍්‍රය ඉල්ලා සිටීමේ අයිතියද සාමාන්‍ය පුරවැසියාට හිමිය. ඒ හිමිකම් තහවුරු කරවන බවට ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියට අස්සන් තබා බැඳී සිටින බවද මේ මොහොතේ අප අමතක නොකළ යුතුය. අත්අඩංගුවට ගැනීම් හා පොලිස් හමුදා ක‍්‍රියාකාරකම් හදිසි නීතිය අහෝසි වීමත් සමගම කෙරෙන කවර හෝ අත්අඩංගුවට ගැනීමක් සඳහාම අධිකරණ, වරෙන්තුවක් තිබීම අනිවාර්යය වන්නා සේම එසේ අත්අඩංගුවට ගන්නන් රඳවා තබා සිටින ස්ථානය පිළිබඳව වහාම ඥාතීන්ට දැනුම් දීම ඥාතීන් හමුවට අවස්ථාව සලසා දීම, නීතීඥ සහය ලබා ගැනීමට ඉඩදීම මෙන්ම පැය 24 ඇතුළත ඔවුන්ට එරෙහි චෝදනා ගොනුකොට ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයකට ඉදිරිපත් කිරීමද සිවිල් නීතිය යටතේ සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රමවේදයේ මූලික ලක්‍ෂණ වේ. ඒ සඳහා අපරාධ නීතිය, අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහයේද සිවිල් නීතිය හා සිවිල් නඩු විධාන සංග‍්‍රහයේද ඇතුළත් නීතිමය ප‍්‍රතිපාදන භාවිතයට ගැනෙන අතර සිවිල් සමාජයේ සියලූ නෛතික ක‍්‍රියාකාරකම් එම පනත් මගින් ආවරණය කෙරේ. සිවිල් නීතිය යටතේ මහජනයාට ලැබෙන තවත් සුවිශේෂී වරප‍්‍රසාදයක් වන්නේ කිසිවකුගේ බලහත්කාරයට හෝ බලකිරීමකට තමන් දන්නා තොරතුරක් වුව ප‍්‍රකාශ නොකර සිටීමට ඇති හැකියාවයි. එසේම තමන් සතු දේපළ බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම් සඳහා එරෙහි වීමටත් එසේ අත් පත්කරගන්නන් වෙතොත් ඔවුන්ට එරෙහිව අධිකරණයට යෑමටත්, මෙතෙක් තිබූ නෛතික බාධා දැන් අහෝසි වී තිබේ. හදිසි නීතිය රට තුළ බලපැවැත්වූ සමස්ත කාලය තුළ පුද්ගල අත්අඩංගුවට ගැනීම් සිදුවූ ආකාරයත්, එසේ අත්අඩංගුවට පත් පිරිස රඳවා තබාගත් ක‍්‍රමවේද පිළිබඳවත් කිසිවකුටත් අලූතින් සිහිපත් කළ යුතුව ඇතැයි නොසිතමු. සැබෑ ලෙසම ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධ වූවන් මෙන්ම ත‍්‍රස්තවාදී සැක කරුවන් ලෙස නාමගැන්වූ පිරිස්ද අත්අඩංගුවට පත්වූවන් අතර කොතෙකුත් සිටි බව පසුව අනාවරණය වී තිබිණ. එය හදිසි නීතියේ වරදක් නොව, හදිසි නීතිය අයථා ලෙස භාවිතයට යෙදීමේ වරදක් බව පෙනේ. එසේ අත්අඩංගුවට පත් කිසියම් සැකකරුවකු අධිකරණයක් වෙත (මහේස්ත‍්‍රාත්වරයෙකු හමුවට) ඉදිරිපත් නොකොට දින 90 ට නොඅඩු කාලයක් රඳවා තබා ප‍්‍රශ්න කළහැකි නීතිමය ප‍්‍රතිපාදන, ආරක්‍ෂක අංශ වෙත හිමිව තිබුණේද මෙම හදිසි නීති රෙගුලාසි යටතේමය. නමුත් සිවිල් නීතිය තුළ, ඒ සියල්ල අහෝසි වී යන අතර, දැන් අත්අඩංගුවට ගන්නා කවරකු වුවද, අත්අඩංගුවට ගෙන පැය 24 ගතවීමට ප‍්‍රථම අධිකරණයට ඉදිරිපත් කොට, ඉදිරි නීතිමය කටයුතු සඳහා උපදෙස් ලබා ගැනීම අනිවාර්යය වේ. සිවිල් නීතිය යටතේ ජනසමාජයේ සියලූ කටයුතු සඳහා අවශ්‍ය නීතිමය මැදිහත්වීම් සියල්ල පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන අතර, තවමත් ක‍්‍රියාත්මක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වුවද යම් රාජ්‍ය හමුදාවක් සිවිල් සමාජය තුළ, කවර හෝ ක‍්‍රියාකාරකමක නිරතවන්නේ නම් ඒ සෑම අවස්ථාවකදීම ඊට අදාල බල ප‍්‍රදේශයේ පොලිස් නිළධාරින්ගේ සහය සහ සම්බන්ධීකරණය ලබාගත යුතුය. එසේම යම් හමුදාවකට, සිවිල් සමාජ ක‍්‍රියාකාරකමක් සඳහා මැදිහත්වීමක් කලහැකි වන්නේද, එක්කෝ සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයාගේ නියෝගයක් මතය. නැතහොත් අදාළ ප‍්‍රදේශයේ අවශ්‍යතාව මත දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ හෝ ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම මතය. එවැනි අවස්ථාවලදී ගිනි අවි භාවිතය සම්බන්ධයෙන්ද හමුදාවන්ට සීමා පවතින අතර ඒ උපරිම බලය වෙනුවට, අවම බලය තුළ පිහිටා කටයුතු කළ යුතුය යනුවෙනි. සිවිල් නීතිය පමණක් බලාත්මකව පවතින සිවිල් සමාජයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකාරකම්හි විශාල වෙනසක් සිදු නොවන බව, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප‍්‍රියන්ත ජයකොඩි මහතාගේ අදහසයි. අවුරුදු 145 ක්ම පොලීසිය කටයුතු කළේ සිවිල් සමාජය සමග. ඉදිරියේදී ඒ කටයුතුවල ලොකු වෙනසක් නෑ. අවශ්‍ය අවස්ථාවල ගිනි අවි පාවිච්චි කිරීමේ බලතල පොලිස් නිළධාරීන්ට තිබෙනවා. පොලිස් ආඥාපනත, අපරාධ නඩු විධි විධාන පනත වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පවා ඒ බලතල තහවුරු කර තිබෙනවා. නමුත් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා නීතිපති උපදෙස් පැතීමට සිදුවෙනවා. ගැටුම්කාරී අවස්ථා කළමණාකරණය හදිසි කැරලි මර්දන ක‍්‍රියා සඳහාද හදිසි නීතිය නොමැතිවීම, පොලීසියට බාධාවක් නොවන අතර, හදිසි මාර්ග බාධක යෙදවීම්, රථවාහන පරීක්‍ෂාවන් වැනි දේට පමණක් අමතර නීතිමය ප‍්‍රතිපාදන ලබා ගැනීමට අදාළ බලප‍්‍රදේශයන්හි පොලිස් ප‍්‍රධානීන්ට සිදුවේ. රට තුළ හදිසි නීතිය ක‍්‍රියාත්මක නොවන පසුබිමක ආරක්‍ෂක අංශ බැරුක්කවලට සීමාවනු ඇතැයි ජනතාව උදක්ම අපේක්‍ෂා කළද තවමත් බලාත්මක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය මෙන්ම ත‍්‍රිවිධ හමුදාවන්ද, සිවිල් සමාජයේම කොටසක් ලෙස පෙනී සිටීම නොවැළැක්විය හැකියැයි නීති විශාරදයෝ පෙන්වා දෙති. සිවිල් නීතිය සමාජගත වී තිබේද? හදිසි නිතියත් සමගම වියපත් වෙමින් සිටින පරම්පරාවක රට වැසියන් වන අපට, සිවිල් නීතිය පිළිබඳවවන දැනුවත් භාවයක් හෝ අත්දැකීම් ඇත්දැයි කිසිවෙකු විමසුවහොත් ඊට නිශ්චිත පිළිතුරක් සමාජය සතුව ඇතැයි කිව නොහැකිය. එපමණටම හදිසි නීතිය සමාජය තුළ භාෂාන්‍යකරණය වී තිබිණ. හදිසි නීතිය මත ඉපිද හැදී වැඞී, ඒ තුළම අධ්‍යාපනය ලබා, විවිධ රැුකියාවන්හි නිරත පිරිසද, රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට බැඳී සිටින පොලිස් හා ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් අති බහුතරයද ”හදිසි නීතියේ දරුවෝ” ලෙස කිසිවෙකු හැඳින්වුවහොත් එයද අතිශයෝක්තියක් නොවනු ඇත. හදිසි නීතිය සාමාන්‍ය නීතියද අභිබවමින් එලෙස සමාජගත වීමට බලපෑ හේතු සියල්ල දැන් නිරාකරණය වී තිබේ. නැතහොත්, නිරාකරණය කර තිබේ. දැන් අවශ්‍යව ඇත්තේ සිවිල් නීතිය සමාජගත කරවීමය. නොඑසේ නම්, සිවිල් නීතියට අනුගතව ජීවත්වීමට පුරවැසියන් හුරුකර වීමය. එම වගකීමෙන් ලොකුම පංගුව රජයට පැවරෙන බව, බැලූ බැල්මට පෙනීයන සත්‍යය වුවද, ඒ හා සමානවම සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්ට බලපෑම් කළ හැකි කණ්ඩායම්වලට හා දේශපාලන පක්‍ෂ වෙතද පැවරෙන කාර්යය භාරය සුළුපටු නොවේ.