දෙවැනි රාජසිංහගේ එකම පුත් දෙවැනි විමලධර්මසූරියගේද එකම පුතා වූයේද වීරපරාක‍්‍රම නරේන්ද්‍රිසිංහයි. මේ කුමරු රාජකීය පරම්පරාවකට සම්බන්‍ධ නොවූ දෝලියකට දාව රජුට ජාතක වූ දරුවෙකි. ඔහු හැදී වැඩුණේ රජ මාලිගාව තුළ නොව උඩිස්පත්තුවේ පොද්දල්ගොඩ ප‍්‍රදේශයේ ගල් ගුහාවක් තුළ රහසිගතවය. එබැවින් ඔහු හැඳින්වූයේ ‘‘කඩතුරා ගල්ලෑනේ කුමාරය’’ යන හුරතල් නාමයෙනි. දෙවැනි විමලධර්මසූරිය රජු 1706 ජූනි 06 දින හදිසියේම මියගියෙන් රජකමට සුදුස්සෙකු තෝරා ගැනීම පිළිබඳව මතභේදයක් රාජ සභාවේ පැණ නැගුණි. දෙනුවර ප‍්‍රධානීන්ගේ මතය වූයේ මාලිගය තුළම හැදී වැඩුණ රජුගේ තවත් දෝලියකගේ පුතෙකු වූ මාම්පිටිය බණ්ඩාර රජකමට සුදුසුබවය. ඔවුන් එසේ යෝජනාකළත් සම්ප‍්‍රදාය අනුව රජකෙනෙකු තෝරා ගැනීමේ බලය තිබුණේ දුම්බර ප‍්‍රධානීන්ටය. දෙදුම්බරම ප‍්‍රධානීන් වැඩි පිරිසක් මේ කඩතුරා ගල්ලෑනේ කුමාරයාට පක්‍ෂ වීමෙන් ඔහු වැඩි කැමැත්තෙන් රජකමට තෝරා ගනු ලැබීය. වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ නමින් දහඅට වැනි වියේදී රජවී තිස්තුන් අවුරුද්දක් (1706-1739) රජකළේ මේ කුමාරයාය. ඔහු සියලූ රාජ්‍ය පාලන කටයුතු සෙංකඩගල නුවර සිට මෙහෙයවූවත් පදිංචිය සඳහා මාලිගාවක් කුණ්ඩසාලේ උඩමලූව ප‍්‍රදේශයේ ඉදිකරවා එහි පදිංචි වූයේය. එහි විහාරයක්ද තනවා කලෙක ආරක්‍ෂාව සඳහා දළදාවද තබා ඇත. ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහාරාමය නමින් එය අදටත් දැකිය හැක. මාලිගයෙහි නටඹුන්ද මීට වසර තිහකට පමණ ඉහතදී දැක ගැනීමට ලැබුණත් අද වන විට ඒවා තවත් දිරාපත්ව ඇත. රජතුමා සෙල්ලම්කාර ජීවිතයක් ගත කළ බැවින් සෙල්ලම් රජ්ජුරුවෝ නමින්ද ජනතාව අතර හැඳින්විණ. රජතුමා ලන්දේසින් සමඟද වෙළඳ සබඳතා ගොඩනඟා ගත්තේය. ගම්සභා අධිකරණ, රට සභා අධිකරණ හා සිංහල ශ්‍රේෂ්ඨාධිකරණ පද්ධතිය ඇතිවූයේද මේ රජතුමා සමයෙහිදීය. රජතුමා දුම්බර බණ්ඩාර ඇළ, පිලවල වැව, දම්බරාව වැව ආදිය ඉදිකිරීමෙන් ගොවිතැනටද විශාල සේවාවක් ඉටු කළේය. රජතුමාගේ පාරම්පරික ආරය නිසාදෝ ඔහුටත් සිංහල බිසවුන්ට දාව දරුවන් නොවීය. උඩිස්පත්තුවේ කුරුකොහුගම යුවතියක්ද මාලිගාවට බිසෝ තනතුර සඳහා කැන්දන් ආ නමුත් ඇය අතර මඟදී දිව ඇද විකාගෙන ජීවිතය හානි කර ගත්තාය. ඇය ආදාහනය කළ කඳු ගැටය අදත් ආදාහන ගල නමින් දැකිය හැක. රජතුමාගේ පාලන සමය නොරිස්සූ රාජසභාවේම පිරිසක් ඔහු මැරවීම සඳහා උපක‍්‍රමයක් යෙදවීය. රජතුමා දිය නෑමට ගොස් දියේ පැය ගණන් කරණම් ගැසීමට පුරුදුව සිටියේය. මෙසේ ජල ක‍්‍රීඩා කරන අවස්ථාවක රජතුමා මැරවීම සඳහා උල්කළ යකඩ කූරු ගඟ පතුලේ සිටුවා තැබීය. පිණුම් ගසන විට ඒවා ඇණී රජතුමා මරණයට පත් කිරීම අරමුණ විය. රජතුමා දිනක ජලයට පැනීමට පෙර බත්කූරෙකු ජලය මත සිටිනු දැක මෙය විය නොහැකි දෙයක් යැයි සිතා පරීක්‍ෂා කර බලන විට කාරණය අවබෝධ කොට ගත්තේය. කරුණු විමසා බලා මෙම සිද්ධියට වගකිව යුතු තම මහ අධිකාරම් වූ (අග‍්‍රාමාත්‍ය) රම්මලක දිසාව මරවා දැමීය. දුම්බර රදලයන්ට හිමිව තිබූ මහ අධිකාරම් ධූරය ඔවුන්ට අහිමිකොට ඇහැලේපොල මහ අධිකාරම් ධූරයට පත් කළේය. මෙම සිද්ධියට සම්බන්ධවූ දෙගල්දොරුවේ කහඳ සුමිත‍්‍ර පරපුරට අයත් වූ බණ්ඩාර නමැත්තාද මරා දැමුවේය. මෙම සිද්ධියෙන් පසුව ජනතාවද රජු කෙරෙහි කලකිරීමෙන් රජුගේ අවසානයද ළඟාවිය. බලවත්සේ අසනීප වූ රජුට දේශීය වෛද්‍ය ක‍්‍රමයේ වෙදකම්ද, වෛද්‍ය ඩැනියල් නම්  ඕලන්ද වෛද්‍යවරයකු විසින් ලබාදෙනලද බටහිර ප‍්‍රතිකාර වලින්ද රෝගය සුව නොවී රජතුමා 1739 මැයි 13 බදාදා දින අභාවප‍්‍රාප්ත විය. නරේන්ද්‍රසිංහ රජු මදුරාපුර ආර්ය චක‍්‍රවර්තී පඬු රජුගේ දියණියක් සරණය සඳහා ඉල්ලාද ඇමතිකමට කුමාරවරු දෙදෙනෙක් ඉල්ලාද පඬරු යැවීය. පඬු රජු තම දුව සුමිත්තා හා තම සහෝදර බණ්ඩාර චක‍්‍රවර්තීගේ පුතණුවන් දෙදෙනකු වූ ස්වාමිනාත හා හේමනාත ද සමඟ තවත් දැසි දසු පිරිසක්ද රජතුමා වෙත එවීය. නරේන්ද්‍රසිංහ සුමිත්තාට අග මෙහෙසුන් ලෙස තබා ස්වාමිනාථ අගමැති තනතුරේද හේමනාථ යුව අගමැති තනතුරේද තබා ගෙන රට පාලනය කළේය. මේ පඬුරට නම් නූතන අන්ද්‍රා ප‍්‍රදේශයයි. මෙසේ සිටින අතර සුමිත්තාද දරුපල නොලැබුවාය. රජතුමා නැවතත් තෙළිඟු රටේ රජුගේ දියණිය වූ කෛයිකේශි නම් කුමරියද ගෙන්වාගෙන බිසෝ තනතුරෙහි තබා ගත්තේය. ඇය තෙළිඟු  භාෂාව කථා කරන නූතන ඔරිස්සා ප‍්‍රාන්තයට අයත්වූ ප‍්‍රදේශයෙනි. මේ වනවිට බණ්ඩාර චක‍්‍රවර්තීගේ අගබිසවගෙන් උපන් සුමේධ නම් කුමාරයා සිය පියා සමඟ ඇතිවූ මතභේදයක් නිසා තම නැගණිවරුන්වූ කෞශල්‍යා හා සුපර්නා යන කුමරියන් දෙදෙනා සමඟ අනුරාධපුරයට පැන ආවෝය. මේ පිරිස අනුරාධපුරයෙහි නුවර වැව වලව්වට ගොස් වතගොත එළිිකර මීට පෙර සිරිමා බෝධිය හා දන්තධාතුව ගෙන ආ පිරිස් සමඟද තමාගේ ඥාති සම්බන්ධය එළිකළ බැවින් එහිම නතර වීමටද අවස්ථාව උදාරකර ගත්හ. මෙසේ ටික කලක් ගතවූ අතර කෞශල්‍යා එම වලව්වෙහිම උන් ටිකිරි බණ්ඩාර කෙනකුට දාව ගැබ් ගත්තාය. පසුව ඇය එහිදී විවාහ කොට දී සුමේධ කුමරු සිය බාල නැගණිය වූ සුපුණ්ණා සමඟ අනුරාධපුරයෙන් පිටව සෙංකඩගලට පැමිණ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු හමුවූහ. රජතුමාට ඇති සිය ඥාතීත්වය තහවුරු කරගත් රජතුමා ඔවුන්ට නතරවීමට සුදුසු නිවසක් අලකොලඅංග ගමේ ඉදිකරවා එයට ස්වකීය බිසෝ පරපුරේ නමවූ මදුරාව නමද යොදා මදුරාවේ වලව්ව යැයි නම් තැබීය. දඹදෙණිය, සුඹුලූව, මඩවල ආදී විහාරවල අලූත්වැඩියා කළේය. නරේන්ද්‍රසිංහ රජතුමාගේ සමයෙහි තවත් බණ්ඩාරවරු පැමිණ උඩරට රාජධානියේ තැන් තැන් වල පදිංචි වූහ. අලූදෙණිය, කෙම්පිටිය, කැබැල්ලවිට ආදී ස්ථාන මෙයින් ප‍්‍රධානය. ගබඩා නිලමේ වූ මදුරාවේ බණ්ඩාර දූල්ලෑව ගබඩා නිලමේ කෙනකුගේ දියණියවූ අනුහස්සාමි විවාහ කර ගත්තේය. එම විවාහයෙන් ඔවුන්ට පුතකු හා දූවරුන් හය දෙනකු ලැබුණි. පුතා මායා දුන්නේගේ දුව විවාහකර ගත්තේය. එක් දුවක් ලෙව්කේ බණ්ඩාරගේ පුතාද, එක් දුවක් උරුලෑවත්තේ බණ්ඩාර කෙනකුද, තවත් දුවක් කෙම්පිටියේ බණ්ඩාරගේ පුතාද, තවත් දුවක් උනම්බුවේ බණ්ඩාරද, තවත් දුවක් රත්වත්තේ බණ්ඩාරද, අනෙක් දුව කැප්පෙටිපොල බණ්ඩාරටද විවාහ කර දෙන ලදී. මෙම සම්භවය විජය රාජසිංහගෙන් පසුව සෙංකඩගල රජවූ කීර්ති ශ්‍රී රාජසිංහයන්ටද උරුමය. ඔහු තෙළිඟු බස කතා කළ අන්ද්‍රා දේශයේ බිසවගේ සහෝදරයාය. කීර්ති ශ්‍රී රාජසිංහද වඩුග කුමාරිකාවන් හතර දෙනකුම ගෙන්වාගෙන බිසෝ තනතුරෙහි තබාගෙන සිටියත් ඉන් එකද බිසවකට හෝ දරුවන් නොලැබුණි. ඊට පසු ඔහුගේ සහෝදර සෙනෙවියකු රාජාධිරාජසිංහ නමින් රජවිය. මේ වන විට ලන්දේසීන් පලවා හැරීමට ඉංග‍්‍රීසින් රජුට උදව් කිරීමට පොරොන්දු වූ නමුත් ඇත්ත වශයෙන්ම එම පොරොන්දු ඉටුකළේ නැත. ලන්දේසීන් සෙංකඩගල නුවර ආක‍්‍රමණය කළවිට සිංහල සේනාව කුණ්ඩසාලය දක්වා පසු බැස්සේය. මදුරාවේ බණ්ඩාර, අරාවේ බණ්ඩාර, කපුවත්තේ බණ්ඩාර, මඩුගල්ලේ කලූ අදිකාරම්ගේ පුත් මඩුගල්ලේ බණ්ඩාර ආදීන් එක්වී සෙනඟ රැුස් කරවා ලන්දේසි හමුදා මරා දැමුවෝය. ඉන්පසුව ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ජොවාන් ගැරාර්ක් එන්ජලිබැක් සිය හමුදාවද රැගෙන කොළඹට පලා ගියේය. රාජාධිරාජසිංහගේ රන් දෝලියට සහෝදරයෝ හයක්ද සහෝදරියක්ද සිටියහ. මුත්තුසාමි, බංගුසාමි, කන්නසාමි, අප්පාසාමි, අයියසාමි, හා බුද්ධසාමි සහෝදරයන් වූ අතර සහෝදරිය වූයේ රංගම්මාය. රන්දෝලියේ බිසවගේ සුලූ මවුද මාලිඟය තුළම විසුවාය. ඇයගේ දූවරුන් වූ සිරියම්මා හා උපේන්ද්‍රා ද ඒ අතර වූහ. සුලූ මව හා ඇගේ දරුවන් පසුව මල්වත්තේ පදිංචිව සිටියාය. මේ අය බැලීමට රජු මල්වත්තට ගිය අතර එම ප‍්‍රදේශය පිළිමතලාවේ අධිකාරම්ට අයත් වූ බල ප‍්‍රදේශය විය. සිරියම්මා හා පිළිමතලාව අතර රහස් සම්බන්ධයක් තිබූ බව රජුට අවබෝධ වූයේ ඉන් පසුවය. ඒ පිළිමතලාවගේ සැරයටිය එහි අමතකව දමා ගොස් තිබූ  බැවිනි. ඒ වන විටත් ඇය ගැබිනියක්ව සිටියාය. පසුව ශ්‍රී වික‍්‍රම රාජසිංහ නමින් (1798-1819) අවුරුදු දහ අටේ දී රජවූයේ ඇයට උපන් පුත් කුමාරයාය. මේ වන විට වඩුග බලය තවත් ව්‍යාප්තව මහනුවර මලබාර් වීදිය ඔවුන්ගේ වාසස්ථාන තිබූ ප‍්‍රදේශය විය. රන් ආභරණ ව්‍යාපාරය ඔවුන් සතු විය. 1815 පෙබරවාරි 18 වැනිදා ඉරිදා දින රජු ඉංග‍්‍රීසින්ගේ හිරකරුවකු බවට පත්වන තුරුම සිටි සෙංකඩගල රාජ්‍යයේ අන්තිම රජුද ඔහු විය. (පුරාවිද්‍යා භූෂණ ඒ.ජේ.ඩබ්ලිව්. මාරඹේ රටේ මහත්මයාගේ ත‍්‍රී සිංහලේ කඩයිම් හා විත්ති පොත හා තවත් ඓතිහාසික ලියවිලි ආශ‍්‍රයෙනි)
ඇස්.බී. කරල්ලියද්ද
වඩුගරාජ පරම්පරාවේ අවසන් රජුවූ ශ්‍රීවික‍්‍රම රාජසිංහ