09-Rasa-p3-2
 

උතුවන්කන්දේ සුරසරදියෙල් වීරවරයෙක්ද? අපරාධකරුවෙක්ද? යන්නට ඉක්මන් පිළිතුරක් ලබාදීම අසීරුය. ඔහු අපරාධකරුවකු බවට හංවඩු ගසන ලද්දේ ඉංග‍්‍රීසි පාලකයන් බව සැබෑවකි. එහෙත් ශ්‍රී ලාංකික ජනසමාජයේ ඔහු සදාකාලික වීරයකු බවද සත්‍යයකි. මේ නිසා සරදියෙල් චරිතය ගැඹුරින් විග‍්‍රහ කර බැලීම මගින් ඉහත පැනයට පිළිතුරක් ලබා ගැනීමට හැකිය.

ඒ නිසා සරදියෙල් පිළිබඳ කථාව ඔබට කියන්නට අපි උතුවන්කන්දට ගියෙමු. උතුවන්කන්ද පමණක් නොව සරදියෙල්ගේ ඇසුර ලැබූ තවත් බොහෝ තැන්වලට ද ගියෙමු. සරදියෙල් චරිතය පිළිබඳව ලියැවුණු ලේඛන ගත කරුණුවලින් පමණක් ඔහුගේ වතගොත සෙවීම සාධාරණ නැති නිසා අපි පිළිබඳව එම පළාත්වල ඇති සමාජ මතවාදය ද සැළකිල්ලට ගනිමු. සරදියෙල් ආ ගිය තැන් සමග සහ සම්බන්ධ වී සරදියෙල් චරිතය ‘‘සුර සරදියෙල්’’ බවට පත්වූයේ කෙසේදැයි විමසීම අපගේ උත්සාහයය.

09-Rasa-p3-4

1815 දී කන්ද උඩරට රාජ්‍යය ද යටත් කරගත් ඉංග‍්‍රීසීන් මුළු රටම තම ආධිපත්‍යයට යටත් කර ගත්තේය. ඉන්පසුව ඉංග‍්‍රීසීන්ට එරෙහි පළමු කැරැුල්ල වාර්තාවන්නේ 1818 දීය. ඒ කැප්පෙටිපොළ අදිකාරම් හා මඩුගල්ලේ නිලමේතුමාගේ මූලිකත්වයෙනි. පසුව ඉංග‍්‍රීසින් ඔවුන් දෙදෙනාගේ හිස ගසා මරාදමන ලදි. අනතුරුව ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගසන්නේ ගොංගාලේගොඩ බණ්ඩා හා වීරපුරන් අප්පුය. ඉංග‍්‍රීසි ආණ්ඩුව මේ වීරයන් දෙදෙනා ද වෙඩි තබා ඝාතනය කරන්නේය.

අනතුරුව ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව යුද ප‍්‍රකාශ කළ අයකු සිටියේ නම් ඒ සරදියෙල්ය. මහ ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගීසිටියේ තනි පුද්ගලයෙක් වශයෙනි. ඔහුට ජනසමාජයේ සහාය තිබිණි. අසාධාරණයට එරෙහිවත්, තම ජන සමාජය තළාපෙළා දමන විදේශ බලවේගවලට එරෙහිවත් ඔහු නැගී සිටියේය. ඉංග‍්‍රීසීන්ට එරෙහිව වචනයක් හෝ කථා නොකරන සමයක සරදියෙල් තම තුවක්කුව ඉංග‍්‍රීසීන්ට එරෙහිව පත්තු කළේය. වීරපුරන් අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩාට පසුව ඉංග‍්‍රීසිහු ඝාතනය කරන ලද සරදියෙල් ද ඔවුන් මෙන් ජාතික වීරවරයකු බවට පත් නොවන්නේ කුමන හේතුවකටදැයි සැක සිතෙන තරම්ය.
 
සරදියෙල් උපත ලැබුවේ 1832 මාර්තු 25 වැනි දින යැයි පැවසේ. සරදියෙල්ගේ පියා හලාවත - හාල්දඬුවන ගමේ පදිංචිකාරයකු වූ ආදාසි අප්පුය. උතුවන්කන්ද - මොලගොඩ පදිංචි පිචෝහාමි ඔහුගේ මවය. ආදාසි අප්පුගේ රැකියාව වූයේ කරත්ත බැදීමත් කරත්තයේ ගොස් කළ දුම්කොළ වෙළෙඳාමත්ය.

ජංගම වෙළෙඳාමේ කරත්තයෙන් ගොස් ආදාසි අප්පු නතර වූ තැනක් තිබුණි. ඒ පිචෝහාමිගේ කෝපි කඩයයි. එහිදී කෝපි කෝප්පයකින් සප්පායම් වූවාට අමතරව ආදාසි අප්පු පිචෝ හාමිගේ කඩයේ නවාතැන් ද ගත්තේය. මේ ඇයි හොඳයි බව දුරදිග ගොස් පසුව ආදාසි අප්පු පිචෝහාමි සහේට ගත්තේය.

මේ යුවළට දාව පළමුව උපන් දරුවා වූයේ සරදියෙල්ය. තවත් දරුවන් හතර දෙනකු පසුව උපන්නේය. කතෝලිකයකු වූ ආදාසි අප්පු තමන්ගේ බාලදරුවන් හතර දෙනා හලාවතට රැගෙන ගොස් පල්ලියේ දී බෞතිස්ම කළ අතර වැඩිමලා වූ සරදියෙල් අධ්‍යාපනය ලබන්නට ගමේ පංසලට බාර කළේය. ආදාසි අප්පුත්, පිචෝහාමිත් ගොස් සරදියෙල් පළමුව බාරදුන්නේ බෙලිගම්මන පන්සලටය. එහෙත් එකල දැනඋගත් හිමිනමක් වාසය කළේ මාවනැල්ල ඉලූක්ගොඩ පිහිටි ශෛලමස්ථාරාමයේය. මේ නිසා බෙලිගම්මන පන්සලේ සිට ඉලූක්ගොඩ පන්සලට සරදියෙල් අධ්‍යාපනය ලබන්නට පැමිණියේය.

ඉලූක්ගොඩ ගුණරත්න හා පළමුගෙදර ගුණරතන යන හිමිවරු ඒ වන විටත් විහාරස්ථානයේ පිරිවෙනක් පවත්වාගෙන ගියහ. ඒ මගින් අධ්‍යාපනය ලද්දේ කෝරාළවරුන්, රටේ රාළ, ගම්මුලා දැනීන් වැනි ප‍්‍රධානීන්ගේ දරුවන්ටය. ධනපති පන්තියේ දරුවන් සමග සරදියෙල් එකට වාඩි වී වැල්ලේ අකුරු ලිවීමත්, බණ මඩුවේ පැදුරුවල වාඩි වී පොත් කියවීමත් රටේ රාළලාට මෙන්ම ගම්මුලාදැනීන්ටත්, ඉවසුම් නොදුන්නේය. ඔවුහු ඒ සඳහා විරෝධය පෑහ. ඉන් පසුව බොහෝ විට අනෙක් දරුවන්ගේ ආවතේව කටයුතු හා බැලමෙහෙවරකම් කරන්නට ද සරදියෙල්ට සිදුවිය.

එපමණක් නොව ධනපති පන්තියේ දරුවන්ගේ නොයෙක් අවලාද හා ඇනුම් පදවලට ලක්වීමටද සරදියෙල්ට සිදුවිය. මේ නිසා එතැන එපාවන තැනක් බවට පත්විය. ඒ වන විටත් පාලි භාෂාව තරමක් දුරට ඉගෙනගෙන තිබුණු සරදියෙල් වැලිපිල්ලේ අකුරු ලියා වචන රැසක්ම ලියන්නට පුරුදුව සිටියේය. එහෙත් පන්ති භේදය මුල්තැනට දමා අනෙක් ශිෂ්‍ය පිරිසගේ රුදුරු ක‍්‍රියාකලාපය ඉවසාගත නොහැකිව දිනක් ආරච්චිල කෙනකුගේ පුත‍්‍රයාට හා තවත් කීප දෙනකුට දරුණු ලෙස පහර දුන්නේය.

මේ සිද්ධියෙන් ගම්මුලාදැනීහු රටේ රාළලා සහ කෝරාළවරු මහත් කළබලයට පත්වූහ. තම පන්තියට නොගැළපෙන මේ කොල්ලාට එරෙහිව ඔවුහු අමුතුම චෝදනාවක් ගෙනාහ. පන්සලේ පිහිටි පන්තියේ දී ගම්මුලාදෑනියකුගේ පුත‍්‍රයකුට අයත් වටිනා හවඩියක් සරදියෙල් විසින් සොරකම්කරන ලදැයි එම චෝදනාව විය. මේ අභූත චෝදනාව මත සරදියෙල් පොලිස් අත්අඩංගුවට පත්විය.

ගෝන්දිවෙල ආරච්චිල විසින් පොලිසිය කරන ලද මේ ව්‍යාජ පැමිණිල්ල නිසා සරදියෙල්ට දින ගණනාවක්ම පොලිස් කුඩුවේ ලගින්නට සිදුවිය.

පොලිසියෙන් නිදහස් වූ පසු සරදියෙල් කොලූ ගැටයා උතුවන්කන්දේ සිට කොළඹ බලා යන කරත්තයක ගෝනි පඩංගුවක සැඟවී කොළඹට ගියේය. තම මවගේ කෝපි කඩයේ හැදීවැඞී ඇති හුරුව නිසා සරදියෙල් කොළඹ පිහිටි තේ කඩයක සේවය කළේය. අනතුරුව ඔහු යුද හමුදා බැරැක්කයක සේවය කළ හමුදා නිළධාරීයකු ළඟ සේවයට එක්විය. පසුව ඔහු කාලයක්ම බැරැක්කයේ සේවය කළේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16 - 17 ක් පමණ විය.

මේ හමුදා බැරැක්කය පිහිටියේ කොළඹ කොටුවේය. සිවිල් කම්කරුවකු ලෙස එහි සේවය කරද්දී ඔහුට ඉංග‍්‍රීසි පාලනයේ ඇති රළු බව හා ඒ මගින් රටේ ජනතාව පෙළන පාලනය පිළිබඳවත්. ඒ පිළිබඳව සකස් කෙරෙන සැලසුම්, කථාබහ සහ ක‍්‍රියාකාරකම් ද දක්නට, ආසන්නට ලැබිණි. එංගලන්තයෙන් පැමිණි සුදු ජාතික නිළධාරීන්ට කත් අදින අපේම රටේ දීන පිරිස් ගැන සරදියෙල්ගේ ලේ කකියන්නට පටන් ගත්තේය.

එංගලන්තයේ සුද්දන්ගේ විස්කි සහ වයින් බෝතලයටත්, විවිධ වරප‍්‍රසාදවලටත් යට වෙමින් ඇතැම් සිංහල, මුස්ලිම් හා දමිලයන් රට පාවා දෙමින් සිටින බවට සරදියෙල් තේරුම්ගෙන සිටියේය. ඔවුන්ට යස පාඩමක් උගැන්වීමත්, ඔවුන්ගෙන් රට බේරා ගන්නටත් අධිෂ්ඨාන කරගත් සරදියෙල් හමුදා බැරක්කයෙන් පැනයාමට තීරණය කළේය.

හමුදා බැරැක්කයේ සාදයක් පැවැති අවස්ථාවක සරදියෙල් කළේ එහි ආයුධ ගබඩාවට පැන තුවක්කු කිහිපයක්, පිස්තෝලයක් සහ පතොරම් තොගයක්ද රැගෙන එම ස්ථානයෙන් පලායාමයි. පසුදින හමුදා නිළධාරීන් විසින් ආයුධ සමග සරදියෙල් අතුරුදන්වීම ගැන රජයේ ඉහළ තැන්වලට දැන්වීය.
ජනතා සහය නොඅඩුව තිබුණත් සරදියෙල් බොහෝවිට සිටියේ හුදකලාවය. කොළඹින් පැනවිත් උතුවන්කන්ද තම වාසස්ථානය කරගත් ඔහු තම දෑසට පෙනෙනතෙක් මානයේම තම අණසක පැතිරෙව්වේය. කොළඹ - නුවරපාරේ සිට සැතපුම් 04 ක් පමණ ගිය පසුව වම්පසින් අඩි 1410 ක් පමණ උසැති උතුවන් කන්ද දිස්වෙයි. එහි මුදුනත ඇති ගල්කුල සරදියෙල් ගලය. උතුවන්කන්දට වම්පසින් පිහිටියේ ඌරාගල කන්දයි. ඊට එහායින් දෙවනගල කඳු පන්තිය පිහිටා ඇත. මෙරට පළමුවරට තේ වගා කළ බව පැවැසෙන ලූල්කඳවල වත්ත ද පිහිටියේ මීට ආසන්නවය.

උතුවන්කන්ද පිහිටි ගම්මානය ‘‘උතුවන’’ ය. අවට ගම්මානවන්නේ මුවපිටිය, මොළගොඩ, මොළගම, කිරිවන්දෙණිය හා තොටගමයි. මේ ගම්මාන අවට වනරොදින් ගහණය. වනපෙත මැදින් උතුවන්කන්ද තරණය කරන අයකුට ඒ සඳහා විශාල වෙහෙසක් දරන්නට සිදුවේ. කඳු මුදුනට ආසන්නවීමට පෙර ඇති ගල්තලාව මත පිහිිටි ගල් ගුහාව සරදියෙල්ගේ වාසස්ථානය ලෙස සැලකේ. ගල්තලාව මත කිහිප දෙනෙකුට සිටිය හැකි නමුත් ඒ අසලින් ගල අභ්‍යන්තරයට විහිදෙන ගල් ගුහාව තුළට රිංගාගත හැක්කේ බඩගාගෙන ගොස්ය. අඩි 30 ක් පමණ ඇතුළට මෙම මාර්ගය පිහිටා ඇතැයි කියනු ලැබේ. සරදියෙල් මෙම මාර්ගය ඔස්සේ ගොස් ක්‍ෂණිකව ගල් ගුහාවට රිංගා ගැනීමට සමතෙකු බව පැවැසෙයි. වෙනත් අයෙකුට ඊට රිංගා ගැනීම දැඩි අසීරු කාර්යයකි.

කඳු මුදුනට නැගගත් පසුව කෑගල්ල ප‍්‍රදේශය පවා හොඳින් දර්ශනය වෙයි. සැතපුම් ගණනාවක් ඈතට හතර දිශාවම හොඳින් දර්ශනය වීම නිසා සරදියෙල්ට හොර රහසේ කන්ද මුදුනට ළඟාවීමට කිසිවකුට හෝ නොහැකි විය.

09-Rasa-p3-3

හුදකලාව සිටි සරදියෙල්ට, පසුව ඔහුගේ හොඳම මිතුරා බවට පත්වන මම්මලේ මරික්කාර් හමුවෙයි. ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නේද අහඹු ආකාරයටය. රාපොළකදී සප්පායම් වෙමින් සිටි මම්මලේට දක්නට ලැබුණේ තුවක්කු බටයක් අතින් ගත් තම වයසේම වූ තරුණයෙකි. තුවක්කුව අත දරා සිටියේ සරදියෙල්ය. ‘‘මේ තුවක්කුවෙන් මොනවද කරන්න පුළුවන්.  ඕකේ මුනිස්සම එළියට එනකොට එතන ඉන්න එකාට පැනල දුවන්නත් කාලය ඇති යැයි’’ මම්මලේ මරික්කාර් සරදියෙල්ට සරදමක් කළේය.

‘‘උඹට මොනවද කරල පෙන්වන්න  ඕනේ මේ තුවක්කුවෙන්’’ සරදියෙල් අභියෝගයක් කළේය.

‘‘හොඳයි උඹ කොකා ගස්සපන්, මම මේ ඇඟිල්ල මුනිස්සම එළියට එන්න කලිං අහකට ගන්නවා’’ මම්මලේ අභියෝගයට පිළිතුරු දුන්නේය.
තුවක්කුව බෙහෙත් කොටන එකක් බව සිතා මම්මලේ මරික්කාර් තුවක්කු බටයට ඇඟිල්ල තබාගත්තේය. සරදියෙල් කොකා ගැස්සුවේය. මම්මලේ මරික්කාර්ගේ ඇගිල්ලක් වෙන් කරමින් උණ්ඩය පිටවිය. මම්මලේගේ වෙරිමත සිදී ගියේය. වේදනාවෙන් කෑගැසුවේය. සරදියෙල් අත තිබුණේ හමුදා බැරැක්කයෙන් සොරාගත් තුවක්කුවක් බව පසුව මම්මලේ දැන ගත්තේය.

මේ සිදුවීමෙන් පසුව මම්මලේ මරික්කාර් සරදියෙල් සුසංයෝගය ඇතිවිය. සිංහල - මුස්ලිම් වශයෙන් ජාතින් දෙකකට අයත් වුවද මේ දෙදෙනා එදා ඇතිකරගත් මිතුදම පසුකාලීනව ඉංග‍්‍රීසි පාලකයන්ට මහා හිසරදයක් බවට පත්විණි. මම්මලේගේ සහෝදරියක වන තංගම්මා සමග සරදියෙල් පේ‍්‍රම සබඳතාවක් ඇති කරගත් බවත්, මේනකා වශයෙන් හඳුන්වන්නේ ද ඇයම බවත් පැවැසේ. මම්මලේට අමතරව සරදියෙල්ගේ යහළුවන් වූයේ සිරිමලා, හවඩියා, උක්කිඳා සහ කිරි හොඳාය.

saradiyel


කෑගල්ල ප‍්‍රදේශයේ සුදු ජාතිකයකුට අයත් තේ වත්තක් තිබිණි. එහි සේවකයෝ සියයක් පමණ සේවය කළහ. වත්තේ කංකානම ලෙස සේවය කළ සුදු ජාතිකයන්ට ගැතිකම් කරන කංකානම කළේ වත්තේ වැඩකළ සේවකයන්ට මත්පැන් හා සූදුවට පුරුදු කිරීමය. මාසික පඩියදාට මත්පැන් බොන්නටත්, සුදු කෙළින්නටත් කංකානම සියලූ පහසුකම් යොදා තිබුණි. ඇතැම් කම්කරුවෝ මාසය පුරා වැඩකර අතට ගත් වැටුප සූදු පළට පූජා කළහ. කංකානම මේ මගින් විශාල මුදලක් සොයා ගත්තේය. මේ සුදුපොළ පිළිබඳව ආරංචි වූ සරදියෙල් දිනක් මුදල් ද රැගෙන සූදුපලට පැමිණියේය. සරදියෙල් ද සූදුපළට ඒ මුදල් පැරදිණි. පසුව කංකානම සතු වූ මුදල් පොදිය ද කොල්ල කා සරදියෙල් පැන ගියේය.

පසුවදා උදෑසන එම මුදල් සියල්ල සරදියෙල් විසින් දුප්පතුන් අතර බෙදා දෙන ලද බව ද කියැවේ. තම දියණියගේ දෑවැද්ද සඳහා වසර ගණනක් තිස්සේ දුක්මහන්සි වී වැඩකරන රිදීකාසි 500ක් සොයාගත් මිනිසකු ඒ මුදලද රැගෙන කැලය මැදින් යනවිට සරදියෙල් එතැනට කඩා වැදුනේය ‘‘උඹ ළඟ මුදල් කීයක් තිබේදැයි’’ සරදියෙල් විමසුවේය.

මා ළඟ රිදීකාසි 500 ක් තියෙනවා. මම මේවා වතුවල වැඩකරලා අමාරුවෙන් හොයාගත් මුදල්. මගේ දුවගේ විවාහයට තමයි මේ මුදල් රැගෙන යන්නේ. අනේ පුතේ මේක නම් ගන්න එපා’’ යැයි අසරණ ගැමියා සරදියෙල් ගෙන් ඉල්ලා සිටියේය.

‘‘මට ඔය සල්ලි ටික දීපන්, හවසට මෙතනටම වරෙන්. මම උඹට සල්ලි ටික දෙන්නම්’’ කියමින් සරදියෙල් මුදල් මල්ලත් රැුගෙන ගිය පසුව ගැමියා විලාප තබමින් එම ස්ථානයේම රැුදී සිට තිබේ. නියමිත ලෙස හවස් කාලයේදී එතැනට පැමිණි සරදියෙල් ගැමියාට රිදීකාසි 500 ආපසු දී සරදියෙල්ගේ අතින්ද තවත් මුදලක් ලබාදුන් බව පැවැසෙන්නේ’’දුවගේ මඟුල හොඳට ගනින්’’ යනුවෙන් පවසමිනි.

පසුව හෙළිවූයේ කංකානම ගේ සුදුපළට ගොස් රිදීකාසි 500 පැරදීමෙන් පසුව එයින් පැහැරගත් මුදලින් ගැමියාට මුදල් ලබාදුන් බවය. උතුවන්කන්දට වී සිටින සරදියෙල්ට ආරක්ෂාව සපයන ලද්දේ ඔහුගේ මිතුරන් විසිනි. මම්මලේ මරික්කාර් ඒ අතර ප‍්‍රධාන විය.

කොළඹ නුවර මාර්ගයේ ගමන් ගන්නා බර කරත්ත පිළිබඳව ඔහු කඳු මුදුනේ සිට මහත් අවධානයෙන් සිටියේය. මුදල් යහමින් ඇති මුස්ලිම් වෙළෙඳුන් හා කෝපිවතු පාලනය කළ සුද්දන්ගේ කරත්ත සරදියෙල්ගේ කොල්ලයට හසුවිය. ඔවුන්ගේ දේපල, මුදල්වලට අමතරව සරදියෙල් ඔවුන් සතුව තිබුණු තුවක්කුද පැහැර ගත්තේය.

කෑගල්ල ඉංග‍්‍රීසි දිසාපතිවරයා වූ සෝන්ඩර්ස්ට සරදියෙල් ගැන දිනපතා එන පැමිණිලි වැඩිවන්නට විය. කෑගල්ල දිසාවේ තම අණසකට වඩා වැඩි වේගයෙන් සරදියෙල්ගේ අණ ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව දැනගත් දිසාපතිවරයා මේ සඳහා රහස් සැලසුමක් දියත් කළේය.


09-Rasa-P12


(ලබන සතියේ - සරදියෙල් වෙස්වලාගෙන මොරටුවට යයි )

 

ajith-madurapperuma