සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ රාලහාමිගේ 115 වැනි ජන්ම දිනය අදට (29) යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

‘‘සඳලංකාවේ ගාන්ධි’’, ‘ලංකාවේ සමුපකාර රජා’ යන කීර්තිමත් නම්වලින් හඳුන්වනු ලබන සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ  රාලහාමි වර්ෂ 1906 මාර්තු මස 29 වැනිදා සඳලංකාවේ සුබසිංහ වලව්වේ දී උපත ලැබීය. සඳලංකාවේ ශාස්ත්‍රෝදය පරිවේනාස්ථ ගමේ පන්සලේ වරාදල ප්‍රවචන කීර්ති ශ්‍රී වරාදල රතනපාලාභිධාන වයඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වෙතින් අකුරු කියවූ වින්සන්ට් සුබසිංහ කුමරු සඳලංකාවේ හෙණ්ඩියගල ගමේ පාසලෙන් ද මීගමුවේ සෙන්ට් මේරිස් විදුහල සහ ඉක්බිති කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීය.

උප්පැන්න සහතිකයේ ‘විමලධර්ම’ නම් වූ සුබසිංහයන් මීගමුවේ සෙන්ට් මේරිස් විදුහලේ ඉංග්‍රීසි ජාතික විදුහල්පති බිටන් පියතුමා විසින් සිය ඇතුළත්වීමේ ලේඛනයට ගනු ලැබුවේ ‘වින්සන්ට්’ යන නමිනි. ඉක්බිති සමුපකාර ක්ෂේත්‍රයේත් මහජන බැංකු ව්‍යාපාරය ඇතුළු සෙසු සමාජ සේවා කටයුතු පිළිබඳ ඉතිහාසයේත් වින්සන්ට් සුබසිංහ නම් වූ මානව හිතවාදියා බිහිවෙයි.

වින්සන්ට් සුබසිංහ යනු 1940 ගණන්වල සිටම සිය ප්‍රබල සමාජ සේවා කටයුතු නිසා සඳලංකාව ගම්මානය ජාත්‍යන්තර කීර්තියට පත් කළ අසම සම සුධාරකයාය.

විසිවන සියවස  ආරම්භයත් සමඟ මෙලොව ජනිත වන වින්සන්ට් සුබසිංහයන් සියවසේ කීර්තිමත්ම සමාජ සේවකයකු ලෙස ලබා ඇති කිත් පැසසුම් බොහෝය. සුබසිංහ වලව්වේ කුමාර සැප සම්පත් පසෙකලා සඳලංකාවේ හා තදාසන්න ගම්වල දුප්පත් ගොවියා, කුඩා පොල් ඉඩම් හිමියා 1940 ගණන්වල මුහුණ පෑ ආර්ථික කම්කටොලු පිළිබඳ සංවේදී වෙමින් ඔවුනට උපකාර වන සේවාවක් සැපයීමේ අරමුණින් හෙතෙම ඉතා සුළුවෙන් සඳලංකාවේ පොල් නිපදවන්නන්ගේ සමුපකාරය ආරම්භ කළේය. ආරම්භක සාමාජිකයන් සංඛ්‍යාව 13 දෙනෙකි. සඳලංකාවේ සමුපකාරය ආරම්භ කළේ 1939 වර්ෂයේ දීය.

වින්සන්ට් සුබසිංහ රාලහාමි ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය හරහා එංගලන්තයට ගොස් ඉංජිනේරුවකු වීමේ සිහිනයෙන් මිදුණු ගතින් සහ සිතින් යුතුව තම ප්‍රදේශවාසීන් දෙස ඇස් හැර බැලුවේය. එමතුදු නොව තම ප්‍රදේශවාසී ගැමි ගොවි ජනතාවගේ දුක්බර ඉරණම් කතාව වෙනස්කර ඔවුන් ඉසුරින් පොහොසත්  කරන්නට මං පෙත සාදා- පාදා දී කෙළවර මුළු සත්කෝරළයේම ජනතා ප්‍රසාදය දිනා ගත්තේය.

ඔහුගේ කැපවීම හා අවංක බව ද නොපසුබස්නා උත්සාහය සමඟ බැඳුණු සුවිශේෂී හැකියාව ද නිසා සඳලංකාවේ සමුපකාර ව්‍යායාමය අතු ඉති ලියලා යෝධ වෘක්ෂයක් බවට පත්විය. මෙබඳු පුළුල් සංවර්ධනයක් සඳලංකාව විසින් අත්පත් කර ගැනීමෙහි ප්‍රමුඛ සහ එකම සාධකය වනුයේ ශ්‍රීධර වින්සන්ස් සුබසිංහ කෙරෙන් ප්‍රකට කෙරුණු අවංක පිවිතුරු අනුහසාත්මක ආධිපත්‍ය (Charisimatic Authority) බව නොවළහා කිව යුතුය. ජනතාව ඔහු හා ඔහුගේ සමුපකාර දර්ශනය සමඟ රොද බඳින්නේ එබැවිනි.

ඔහුගේ සමුපකාර සේවාව පිළිබඳ චින්තන බීජය මහා වනස්පතියක් සේ වැඩී යන්නට විය. සඳලංකාවාසී මතු නොව සමස්ත සත්කෝරළවාසී ජනතාවම ඔහු අගය කළේ සමුපකාර සේවාවේ සුබසාධන ප්‍රවේශය දිරිමත් කෙරෙන වින්සන්ට් සුබසිංහයන්ගේ අපූර්ව උසස් ව්‍යවසායකත්ව චරිත ලක්ෂණ සමඟ ක්‍රියාකාරීව බැඳෙමිනි. එහෙයින් සඳලංකාවේ යෝධ මහා සමුපකාරය ජාත්‍යන්තරයේ දී ‘ආසියාවේ විශාලතම සමුපකාරය’ යනුවෙන් අභිධානය සැලකුම් ලැබ, උත්කර්ෂයට පත්විය. සඳලංකාව කේන්ද්‍ර කර ගනිමින් මුළු සත්කෝරළයම එකම ගැමි ආර්ථික දර්ශනයකට කොටුකර ගන්නට වින්සන්ට් රාලහාමිගේ සමුපකාර ව්‍යායාමය සමත් විය. ලංකාවේ ආර්ථිකය සම්බන්ධ ප්‍රබල හැරවුම් ලක්ෂයක් වූයේ එදා ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ රාලහාමිගේ සමුපකාර සේවාවයි.

 සමුපකාරයේ පුරෝගාමි නායක වින්සන්ට් සුබසිංහ සිරිමතුන් සඳලංකාවේ සමුපකාර සමිතියේ සභාපති තනතුරට හිමි වැටුප සහ දීමනා සතයකුදු ලබා ගත්තේ නැත. දවසේ පැය 24න් 18ක්ම ඔහු තම දරුවකු වන් සඳලංකාවේ විවිධ සේවා සමුපකාර ව්‍යාපාරයේ උන්නතිය උදෙසා කැපවී වැඩ කළේ යැයි සත්කෝරළබද වැඩිහිටියන් අප සමග පවසා තිබේ.

වින්සන්ට් සුබසිංහ රාලහාමිගේ සමුපකාර සේවයෙන් ප්‍රභාමත් වූ සඳලංකාව වැනි කුරුණෑගල දිස්ත්‍රික්කයේ හද්දා පිටිසර ගමකට එදා 1940 දී තරම් ඈත කාලයේ දීම විදුලි බලය ලැබුණි. ඒ වනවිට අද ප්‍රධාන නගර බවට රූපාන්තරණය වී ඇති ගම්වලට පවා ජල විදුලි බලය ලැබී තිබුණේ නැති බව සිහිකළ යුතුය.

ඔහුගේ දැවැන්ත සමුපකාර ව්‍යායාමයට පින්සිදුවන්නට මහා පරිමාණ පොල් මෝලක්, කොප්පරා මැසි සමූහයක්, පොල්වලින් ඩී.සී. නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, පේෂ කර්මාන්ත ශාලාවක්, ලී පට්ටල් වැඩ, මුද්‍රණාලයක්, පරිභෝගික බඩු ජනතාවට සැපයීම සඳහා තොග හා සිල්ලර අංශය, සමුපකාර ප්‍රාදේශික, උසස් තත්ත්වයේ සමුපකාර සිනමා ශාලාවක්, නවීන පහසුකම්වලින් යුතු විධිමත් සමුපකාර ආරෝග්‍ය ශාලාවක් මෙන්ම ප්‍රදේශවාසී දූදරුවන්ට අධ්‍යාපනය සඳහා අංගසම්පූර්ණ මධ්‍ය විද්‍යාලයක් ද බිහි කෙරිණ.

මේ සියලු කටයුතු සිදුකිරීමේ දී එතුමාගේ පෞද්ගලික ඉඩම් සහ ධනය පරිත්‍යාග කෙරුණු බව කෘතවේදීව සිහි කළ යුතුය. ඒ අතර සමුපකාර ගොවිපොළ ක්‍රමය ආරම්භ කිරීමේ දී කාර්යයට ක්‍රියාකාරීව අත ගැසූ ප්‍රථම පුද්ගලයා වශයෙන් වින්සන්ට් සුබසිංහයන් කිත් පැසසුම් ලබයි. සඳලංකාවේ හා තදාසන්න ගම්වල දුප්පත් ගැමි තරුණ පිරිස් එක්රැස් කරවූ සුබසිංහ රාලහාමි නිකවැරටිය, බංගදෙණිය, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවල රජයේ කැලෑ ඉඩම් මිල දී ගෙන එම තරුණ පිරිස සමග එහි ගොස් විශාල කැලෑ හෙළි පෙහෙළි කර වී, පොල් සහ වෙනත් අතුරු බෝග වැවීය. පසුව සශ්‍රීක වූ එම  ඉඩම් වෙහෙස මහන්සි වූ එකී තරුණ පිරිස අතරේ සමසේ බෙදා දෙමින් ඔවුන්ගේ සමෘද්ධිය පිණිස ක්‍රියා කළේ අපූර්ව මානව  භක්තියක් විදහා දක්වමිනි.

 ඒ සියලු කටයුත්තේ වැය පස දැරුවේ සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ රාලහාමිය.

 1956 දී සමුපකාර තොග වෙළඳ ආයතනයේ (ස.තො.ස.) සභාපති පදවියට ඒ මහතාට ආරාධනා කෙරිණි. 1961 දී මහජන බැංකුවේ ආරම්භක සභාපති තනතුරට වින්සන්ට් සුබසිංහයන්ට ආරාධනා කෙරිණි.
එතුමා මේ සේවා කටයුතුවල තනතුරු වෙනුවෙන් ලැබෙන වැටුප සතයකුදු ලබා ගත්තේ නැත. මහජන බැංකුවේ සභාපති තනතුරේ වැටුප නොලබා සේවය කළ වින්සන්ට් රාලහාමි බැංකු පිළිබඳ අධ්‍යයනයක් කිරීමට ඉන්දියාවට ගියේ සිය පෞද්ගලික ධනය වැය කරමිනි.

වින්සන්ට් සුබසිංහ මහතාගේ සමාජ සේවය අගය කරනු පිණිස, සඳලංකා සමුපකාර සේවාවේ අග්‍රඵලයක් ලෙස බිහිවූ සඳලංකා මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ‘‘ලංකාදීප’’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ හා විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතාගේ මැදිහත්වීමෙන් කු/හෙණ්ඩියගල විද්‍යාලයේ විදුහල්පතිව සිටි අපගේ ගුරුදේවයකු වූ බී.ඩී. තිලකරත්න විදුහල්පතිතුමා විසින් ලියන ලද ‘‘සඳලංකා සඳ’’ වින්සන්ට් සුබසිංහ චරිතාපදානයේ 2018 මුද්‍රණය සරසවි ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත්විය. එය සතුටට කරුණකි. සමුපකාරය සහ වින්සන්ට් සුබසිංහ පිළිබඳ කියවන විද්‍යාර්ථින්ට උපකාරයකි.

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ සුධීමතුන් මානව භක්තියෙන් පිරුණු-සමාජ සේවාවේ නියැළුනු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. සමාජ සේවයෙන් පෙරළා කිසිවක්ම ඔහු බලාපොරොත්තු වූයේ නැත. එහෙත් ඔහුගේ අත්‍යුදාර සමුපකාර සේවය සමරනු පිණිස මුද්දරයක් නිකුත් කෙරෙන්නේ නම් එය වැදගත්ය. ‘මුද්දරය’ යනු මානව ඉතිහාසයේ සංක්ෂිප්ත ලේඛනයකි. රටක අපේක්ෂා, අවශ්‍යතා, විශ්වාස හා පරමාදර්ශ පිළිබඳ විචාරාත්මක පිළිඹිබුවකි. එය අතීතයේ කැඩපතකි. අනාගතයේ පෙරනිමිත්තකි. අන් අයුරකින් කියතහොත් ලෝකය සහ එහි වසන්නවුන්ගේ බහුවිධ ජයග්‍රහණ පිළිබඳ දිදුලන චිත්‍රයකි. මුද්දර පිළිබඳ ඒ අපූර්ව නිර්වචනය ඉදිරිපත් කරනු ලැබූ ඇමෙරිකානු ජාතික ෆ්‍රැන්සිස් ජෝසප් ස්පෙල්මන් කාදිනල්තුමාගේ එම සඳහනට සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ සිරිමතුන් සමීප අර්ථයක් ලබාදී ඇත. එහෙයින් ඔහු නමින් මුද්දරයක් නිකුත් කිරීම සිදුවිය යුතු දෙයකි.

සමුපකාරයේ පියා සැබෑ සමුපකාරියකු ලෙසම ඔහුගේ පුරෝගාමීත්වයෙන් සාදා නිම කළ සඳලංකාවේ සමුපකාර ආරෝග්‍යශාලාවේ වාට්ටුවක දීම 1985 අගෝස්තු මස 24 වැනිදා අවසන් ගමන් ගියේය. එතුමාට නිවන් සුව පතමු.


(***)
තුසිත් සාගර
පැල්මඩුල්ල